MAS යුනිචෙලා අපරාජිත වාර්තාව රැකගනියි

1149
Mercantile Cricket

24 වැනි සිංගර් වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරග වලදී ජයග්‍රහණ අත්පත් කරගන්නට MAS යුනිචෙලා සහ ජෝන් කීල්ස් කණ්ඩායම් සමත් විය. එහිදී ධනුෂ්ක ගුණතිලක, ජීවන් මෙන්ඩිස්, විකුම් බණ්ඩාර සහ ලහිරු මිලන්ත යන ක්‍රීඩකයින්ගේ දස්කම් කැපී පෙනුණි.

පසුගිය ලිපි: පන්දු යවන්නන්ගේ දිනයේදී ඩිමෝ, කොමර්ෂල් ක්‍රෙඩිට් ජය ලබයි!

MAS යුනිචෙලා සහ සම්පත් බැංකු කණ්ඩායම අතර තරගය

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද ආරම්භක පිතිකරුවෙකු වන ධනුෂ්ක ගුණතිලකගේ මනරම් ශතකය හේතුවෙන් කටුනාය‍ක දී පැවැත්වුනු MAS යුනිචෙලා සහ සම්පත් බැංකු කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 26ක ජයක් ලබන්නට MAS යුනිචෙලා කණ්ඩායම සමත් විය. එසේම ඔහුගේ මෙම ශතකය  නිසා ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කල දක්ෂ ක්‍රීඩකයෙකු වන ජීවන් මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතාවන් යම්‍තාක් දුරකට වැසී ගිය බව කිවහොත් නිවැරදිය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද ඔහු අද දින දැක්වූ දක්ෂතා අති විශිෂ්ට මට්ටමක තිබුණි.

කාසියේ වාසිය ජයගත් සම්පත් බැංකු ක්‍රීඩකයින් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 253ක් ලබාගන්නට සමත් විය. අතිවිශිෂ්ට ඉනිමක නියැලුණු නායක ජීවන් මෙන්ඩිස් සම්පත් බැංකු ඉනිම එකට බැඳ තබා ගනිමින් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය. පන්දු 65ක් තුල වාර්තා වූ ඔහුගේ ලකුණු 80, හයේ පහර 6කින් වර්ණවත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් හසන්ත ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න පිළිවෙලින් ලකුණු 37ක් සහ 26ක් බැඟින් ලබමින් සම්පත් බැංකු ඉනිම ගොඩ නැංවූහ. පන්දු යැවීමේදී MAS යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් ඉන් කඩුලු 3 බැගින් බිඳ හෙලන්නට දිල්රුවන් පෙරේරා සහ මාලිංග බණ්ඩාර සමත්කම් දැක්වීය.

ලකුණු 254ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි යුනිචෙලා කණ්ඩායම සතු පිතිකරණ ගැඹුර ගැන සලකා බැලීමේදී මෙම අභියෝගය ඔවුන්ට එතරම් තර්ජනයක් නොවන බව පෙනෙන්නට තිබුණි. එය තවදුරටත් තහවුරු කරගනිමින් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් සමගින් පන්දු 103ක් තුල ලකුණු 109ක් ලබා ගනිමින් ජයග්‍රහණය සඳහා සවිමත් අඩිතාලමක් දමා දුන්නේය. තිලකරත්න ඩිල්ශාන් ද ලකුණු 52කින් යුනිචෙලා ඉනිම සඳහා දායකත්වය දැක්වූ අතර අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට යුනිචෙලා ක්‍රීඩකයින් කඩුලු 7කට ලකුණු 236ක් ලබා සිටියහ. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව යුනිචෙලා ක්‍රීඩකයින් එම අවස්ථාව වන විට ලකුණු 26ක් ඉදිරියෙන් පසු වූ බැවින් තරග ජය ඔවුන් සතු විය.

මෙම ජයග්‍රහණයත් සමගින් ගිය වර ශූරයන් බවට පත් වූ MAS යුනිචෙලා කණ්ඩායම මෙවර ද ඔවුන් මේ වනතෙක් සහභාගි වූ තරග තුනම ජයගනිමින් ප්‍රසද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් විය.

සම්පත් බැංකුව කඩුලු 9ක් දැවී ලකුණු 253 (පන්දුවාර 50) ජීවන් මෙන්ඩිස් 80, හසන්ත ෆර්නෑන්ඩු 37, චාමික කරුණාරත්න 26, කෞෂාල් සිල්වා 23, දිල්රුවන් පෙරේරා 3/49, මාලිංග බණ්ඩාර 3/55.

MAS යුනිචෙලා කඩුලු 7ක් දැවී ලකුණු  236 (පන්දුවාර 40.5) ධනුෂ්ක ගුණතිලක 109, තිලකරත්න ඩිල්ශාන් 52, මහේල උඩවත්ත 22, චාමර සිල්වා 20, කසුන් රාජිත 2/38, ජීවන් මෙන්ඩිස් 2/40.


ජෝන් කීල්ස් සහ HNB කණ්ඩායම අතර තරගය

කලක සිට ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන ක්‍රීඩකයෙකු ලෙස සැලකිය හැකි දක්ෂ පිතිකරුවෙකු වන ලහිරු මිලන්ත සහ දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක විකුම් බණ්ඩාරගේ සුපිරි දක්ෂතා හේතුවෙන්, කඩුලු 8ක පහසු ජයක් හිමිකර ගන්නට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය. තරගය HNB කණ්ඩායමට එරෙහිව මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය ජයගත් ජෝන් කීල්ස් පිළේ ඇරයුමින් පිතිකරණය සඳහා පිවිසි HNB ක්‍රීඩකයින්ට පිත්තෙන් සාර්ථකවන්නට විකුම් බණ්ඩාර ප්‍රමුඛ ජෝන් කීල්ස් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. බණ්ඩාර ලකුණු 30ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් බිඳ හෙලද්දී ඔහුට සහාය දක්වමින් මදූක ලියනපතිරණගේ සහ ජනක ගුණරත්න කඩුලු 2 බැඟින් ඔවුන් අතරේ බෙදා ගන්නට සමත් විය.

පිලිතුරු ඉනිමේ ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 100කටත් වැඩි සම්බන්ධතාවක් පවත්වමින් HNB ක්‍රීඩකයින්ගේ සියලු බලාපොරොත්තු බොඳ කරන්නට ලහිරු මිලන්ත සහ දිමුත් කරුණාරත්න සමත් විය. මිලන්ත ඉනිම අවසානය දක්වාම පිටියේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 84ක් රැස් කරද්දී දිමුත් ලකුණු 40ක් රැස් කිරීමට සමත් විය. ඉනිමේ අවසන් භාගයේදී මිලන්ත සමගින් එක්වුනු රොෂේන් සිල්වා නොදැවී ලකුණු 27ක් රැස් කරමින් ජෝන් කීල්ස් කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා ගෙන ගියේය. මෙය මෙවර තරගාවලියේ HNB කණ්ඩායම පිට පිටම ලැබූ තෙවන පරාජයයි.

HNB සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 47.3) යොහාන් ෆර්නෑන්ඩු 63, හෂාන් ගුණතිලක 20, විකුම් බණ්ඩාර 5/30, මධූක ලියනපතිරණගේ 2/27, ජනක ගුණරත්න 2/23.

ජෝන් කීල්ස් කඩුලු 2ක් දැවී ලකුණු 162 (පන්දුවාර 17.1) ලහිරු මිලන්ත 84*, දිමුත් කරුණාරත්න 40, රොෂේන් සිල්වා 27*.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට