ඕස්ට්‍රේලියානු කාන්තාවෝ අවසන් සටන් බිමට

325
CRICKET-WT20-2016-ENG-AUS-WOMENS

ලෝක කුසලාන කාන්තා T20 තරඟයේ පළමු අවසන් පූර්ව වටයේ තරඟය ඊයේ (30) ඉන්දියාවේ දිල්ලි නුවර දී ලෝක ශූරී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ඇරයුම් කරන ලදි. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි එලයිසා හේලි හා එලයිසා විලනි ලකුණු 41 ක සාර්ථක ආරම්භක සබඳතාවක් ගොඩනැගු අතර පළමු කඩුල්ල ලෙස එලයිසා විලනි දැවී යන විට පන්දු 20 කදී 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 19 ක් ලබා සිටියදී දැවී යන ලදි. තවත් ලකුණු 9ක් ලකුණු පුවරුවට එක් වෙද්දී එලයිසා හෙලි දැවී යන ලදි. ඒවන විට ඇය පන්දු 15 කදී අලංකාරවත් 4 පහරවල් 5 ක් සමඟ වේගවත් ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පිවිසි මැග් ලැනින් හා එලයිසා පෙරී ලකුණු 36 ක සබඳතාවක් එක් කරමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව යම් ස්ථාවර මටිටමකට රැගෙන එන ලදි. 3 වන කඩුල්ල ලෙස එලයිසා පෙරී ලකුණු 10 කට දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි ඇලෙක්ස් බ්ලැක්වෙල් 4 වන කඩුල්ල සදහා මැග් ලැනින් සමඟ එකතුව ලකුණු 37 ක සබඳතාවක් ගොඩනංවන ලදි. ඇලෙක්ස් බ්ලැක්වෙල් ලකුණු 11කට දැවී යන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 123 කට කඩුළු 4 ක් ලෙස දැක්විණි. ඔවුන්ගේ ලකුණු පුවරුව ඉහළ දැමීමට ක්‍රියා කල මැග් ලැනින් මැද පෙළ සවිමත් කරමින් පන්දු 50 කට මුහුණ දෙමින් 4 පහරවල් 6 ක් සමඟ වේගවත් ලකුණු  55ක් සටහන් කරන ලදි. ඇය 5 වන කඩුල්ල ලෙස දැවී යන ලදි. 6 වන කඩුල්ල ලෙස ජෙසී ජොන්සන් ලකුණු 4 කට දැවී යන ලදි. පන්දුවාර 20ක් අවසානයේ කඩුළු 6 ක් දැවී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලකුණු 132 ක කාන්තා තරඟයක ලබාගැනීමට අපහසු දැවැන්ත ලකුණකට ගෙන ඒමට ඕස්ට්‍රේලියානු පිතිකාරිනියන්ට හැකිවිය.

පන්දු යැවීමේදී එංගලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් නතාලියා ස්කයිවර් පන්දුවාර 3 කදී  ලකුණු 22 කට කඩුළු  2 ක්ද, ලවුරා මාෂ් ලකුණු 18 කට එක් කඩුල්ලක්ද, ජෙනීගන් ලකුණු 22 කට එක් කඩුල්ලක්ද දවාලීමට සමත් විය.

ලකුණු 133 ක තරඟකාරී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ආරම්භක පිතිකාරිනියන් යුගල වන චාල්ට් එඩ්වර්ඩ් හා ටැමී බියුමන්ට් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භක ලකුණු ප්‍රමාණයක් ලබා දෙන ලදි. එහිදී චාල්ට් එඩ්වර්ඩ් පන්දු 29 කට මුහුණ දී ලකුණු 31 ක් ලබා ගැනීමට  4 පහරවල් 4 ක් එල්ල කරන ලදි. ඇයගේ දැවී යාමත් සමඟ පිටියට පිවිසි සාරා ටේලර් හා ටැමී බියුමන්ට් ලකුණු 22 ක සබඳතාවක් 2 වන කඩුල්ලට එක් කරන ලදි. දෙවන කඩුල්ල ලෙස ටැමී බියුමන්ට් පන්දු 40 කදී එක් 4 පහරක් හා 6 පහරක් සමඟ ලකුණු 32 ක් ලබා ගන්නා ලදි. නතාලියා ස්කයිවර් ලකුණු නොලබා පිටියෙන් ඉවතට යද්දී ලකුණු පුවරුව ලකුණු 91 ක් විය. හිතර් නයිට්ට ද සාර්ථක වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන් අතර ඇය එක් ලකුණකට දැවී යන ලදි. මැද පෙළ තරමක් දුරට සාර්ථක වූ සාරා ටේලර් එක් 6 පහරක් සමඟ ලකුණු 21 කට දැවී යන ලදි. කැතරින් බර්න්ට් එක් 4 පහරක් හා එක් 6 පහරක් සමඟ එංගලන්ත බලාපොරොත්තු සුන් කරමින් ලකුණු 11 කට දැවී යන ලදි. ජෙනී ගන් එක් ලකුණකට 7 වන කඩුල්ල ලෙස දැවී ගිය අතර අවසාන පන්දුවාරයට එංගලන්ත කාන්තා කණ්ඩායමේ ලකුණු 13 ක් පමණක් තරඟය ජයග්‍රහණයට අවශ්‍ය වුවද එය ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ඒත් සමඟම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලෝක ශූරියන් ලෙස අවසාන තරඟයට යාමට ලකුණු 5 කින් තරඟය ජයග්‍රහණය කරන ලදි.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් මෙගන් ෂට් ලකුණු 15 කට කඩුළු 2 ක්ද, එරින් ඔස්බොන් හා එලයිසා පෙරී එක් කඩුල්ලක් බැගින් දවාලීමට සමත් විය.

තරඟයේ වීරයා ලෙස මැග් ලැනින් සම්මාන දිනාගත් අතර මීළඟ අවසාන පූර්ව තරඟය අද (31) ඉන්දියාවේ මුම්බායි හිදී නවසීලන්ත කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.