ලෝක සරසවි රග්බි කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව 8 වන තැනට

1939

2018 වසර සඳහා පැවැත්වූ 8 වන ලෝක විශ්ව විද්‍යාල සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(16) දින දිවයිනට පැමිණියේය. එහිදී ශ්‍රී ලංකාව ඉහළ දස්කම් දක්වමින් සමස්ත තරගාවලියේ 8 වන ස්ථානය දිනා ගත් අතර මේ සඳහා ලොව පුරා ප්‍රබල රටවල් 16ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වීම විශේෂත්වයකි.

ආසියානු 20න් පහල රග්බි තරගාවලිය අගෝස්තුවේ

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි කණ්ඩායම නැවත වරක් ශූරයින් වීමේ බලාපොරොත්තුවෙන් එළඹෙන අගෝස්තු 10දා……

මෙම තරගාවලියේ පිරිමි ශූරතාවය ඕස්ට්‍රේලියාව පරාජය කරමින් දකුණු අප්‍රිකාව දිනාගත් අතර කාන්තා ශුරතාවය ලබා ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියාව පරාජය කළ ප්‍රංශය සමත් වුණේය. එහිදී අර්ධ අවසන් පූර්ව වටයේ නැමීබියාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ තරගාවලියේ 8 වන ස්ථානයයි.

දින 3ක් පුරාවට නැමීබියාවේ සුන්දර “ස්වාකප්මුන්ඩ්” අගනුවර දී පැවැත්වුණු මෙම තරගාවලියට ශ්‍රී ලංකාව A කාණ්ඩය නියෝජන කරමින් සහභාගී විය. සත්කාරක නැමීබියාව සහ මැලේසියා (34-00) කණ්ඩායම් වෙත දැඩි තරගකාරිත්වයක් පෙන්නුම් කළ ද එම තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ පිළිවෙලින් ලකුණු 52-00 හා 34-00ක් වශයෙනි. නමුත් ඉන්පසුව ප්‍රබල කොලොම්බියාව සමඟ පැවති තරගය ලකුණු 15-10ක් ලෙස ඔවුන්ව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

එහිදී නැවතත් තමන්ට පෙර තරගයක දී කටුක පරාජයක් අත්කර දුන් නැමීබියාවම මුණ ගැසීම නිසා තරමක් අපහසුකාරී තත්වයකට මුහුණ පෑ බවක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් දිස් වූ අතර එම පීඩනය නිසාවෙන් දෝ ලකුණු 50-07 ක් වශයෙන් ශ්‍රී ලංකාව අර්ධ අවසාන් පූර්ව තරගය පරාජයට පත්විය.

මරීජාගේ නායකත්වයෙන් 20න් පහල කණ්ඩායම අධීක්ෂණයට නව කමිටුවක්

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා රග්බි පාලක……

සමස්ත තරගාවලිය දෙස හැරි බලන කළ ශ්‍රී ලංකා පිළේ දක්ෂතා සම්බන්ධයෙන් වචනයක් කිව යුතුවම තිබේ. ඉතිහාසයේ තමන් සහභාගී වූ පළමු තරගාවලියේදීම මෙවැනි දස්කමක් දැක්වීම සතුටට කරුණකි. එමෙන්ම තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට උත්සාහක දිනුම් 4ක් දිනා ගැනීමට හැකි විය. ඒ අතරින් කෝසල පහළගම උත්සාහක දිනුම් ත්‍රිත්වයක්ම වාර්තා කළ අතර ඉන් උත්සාහක දිනුම් දෙකක් කොලොම්බියා තරගයේ දීද අනෙක් උත්සාහක දිනුම අර්ධ අවසන් පූර්ව වටයේ නැමීබියා තරගයේ දීද වාර්තා කිරීමට සමත් විය. මීට අමතරව කණ්ඩායමේ අංක 9 ස්ථානයේ ක්‍රීඩා කළ හංස ධනංජය ද එක් උත්සාහක දිනුමක් වාර්තා කළේය. කොලොම්බියාව සමග පැවති තරගයේ දී ඔහු මෙම දස්කම සිදු කළ අතර ජය පරාජය කෙසේ වෙතත් තරගාවලිය මුළුල්ලේ මෙම සියලු ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවති බව විචාරකයන් ගේ මතයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බී. ඒකනායක Thepapare.com සමඟින් තරගාවලියේ අත්දැකීම මෙසේ පැහැදිලි කළේය.

“අපිට හොඳ අවස්ථාවක් ලැබුණේ මේ ලෝක තරගයට සහභාගී වෙන්න, අපේ කණ්ඩායම හොඳින්ම ක්‍රීඩා කළා. අනෙක් කණ්ඩායම් වල ජාතික මට්ටමේ ක්‍රීඩකයෝත් හිටපු නිසා අපිට ගොඩක් අමාරු වුණා. කොහොම වුණත් අර්ධ අවසන් පූර්ව වටයට එන්න ලැබුණු එක ගැන සතුටුයි.

විශේෂයෙන් ම මතක් කරන්න ඕනේ අනුජ ගුරු පියාණන්  අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මෙන්ඩිස් සර්, වයිපර් සර්,  ඒ වගේම පවිත්‍ර රඹුක්කනආරච්චි සර්, ඒ වගේම අපේ පිටිපස්සෙන් හිටපු අනෙක් හැමෝවවමයි මේ වෙලාවේ මතක් කරනවා.”

තරගාවලිය පුරා ම උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළ කෝසල පහළගම ද Thepapare.com වෙත අදහස් දක්වන්නට අමතක කළේ නැත.

අදහස් දැක්වූ කෝසල,

“ඇත්තටම අපිට හොඳ අවස්ථාවක් මේක, ලොකු අත්දැකීමක් ලැබුවා. අපි ලෑස්ති වෙලා ගියපු කාලගුණයට අපිට මුහුණ දෙන්න බැරි වුණා. සෙල්සියස් අංශක 10ක පමණ ඌෂ්ණත්වයක් තිබුණ නිසා ඇත්තටම දැඩි සීතලක් තිබුණා. ඇත්තම කිව්වොත් අපි warmup කරන්න හැදුවත් දහඩිය බින්දුවක් වත් නෑ. ඒ නිසා මැලේසියා තරගයේ අපි කරන්න හිටපු කිසිදෙයක් කරන්න වුණේ නෑ. සතුටුයි උත්සාහක දිනුම් 3ක් වාර්තා කරන්න ලැබුණ එක ගැන.

ලබන වසරේ දී තවත් හොඳින් ලෑස්ති වෙලා රට වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. 2020 පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් දැන්ම ඉඳන් plan එකක් එක්ක ගියොත් අපිට පුළුවන් මීටත් වඩා ලොකු ජයග්‍රහණයකට යන්න. ඒ හින්දා බලධාරීන් මේ වෙනුවෙන් පොඩ්ඩක් හැරිලා බැලුවොත් අපි ගොඩක් සතුටු වෙනවා.

තරග සාරාංශය

ශ්‍රී ලංකාව 00 – 34 මැලේසියාව

ශ්‍රී ලංකාව 00 – 52 නැමීබියාව

ශ්‍රී ලංකාව 15 – 10   කොලොම්බියාව

ශ්‍රී ලංකාව 07 – 50  නැමීබියාව (අර්ධ අවසන් පූර්ව)  

විශ්ව විද්‍යාල සිසුන් කොලොම්බියාව පරාජය කරයි

8 වන ලෝක ශූරතා විශ්ව විද්‍යාල සත් සාමාජික රග්බි තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකාව ඊයේ (13) සමත් වුනේ ප්‍රබල……

කණ්ඩායමේ උප නායක උවින් ආරියරත්න ද අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නැමීබියාව වැනි රටවල් වසර දෙකක පමණ සිට තරගාවලියට සුදානම් වෙමින් සිට තරග කළ ද මාස දෙකකින් සුදානම් වී අප ලබාගත් ජයග්‍රහණය ගැන සෑහීමකට පත්වන බවයි. වැඩිදුරටත් Thepapare.com වෙනුවෙන් අදහස් දැක්වූ  උවින්,

“මුලින්ම ස්තුති කරන්න ඕනේ අපේ අනුජ සර් ට, මෙන්ඩිස් සර් ට , පවිත්‍ර සර් ට. ඒගොල්ලෝ නිසා තමා අපිට මෙච්චර තැනකට එන්න පුළුවන් වුණේ. කණ්ඩායම ගැන කිව්වොත් ඒ ගොල්ලෝ උපරිමෙන් ම හොඳට කළා. කාලගුණය ගැන ප්‍රශ්න තිබුණත් මතක් කරන්න ඕනේ නැමීබියාවේදී අපිට හොඳ සත්කාර ලැබුණා. සතුටුයි ලැබුණු අවස්ථාව ගැන. තරගාවලිය ආරම්භ කරද්දීම අපිට තරග අත්දැකීම් අඩු එක ගැන ගොඩක් දැනුණා. මේ වගේ තරගාවලි අපේ රටෙනුත් සිදු කළොත් අපේ අයට තවත් දක්ෂතා අතරට එන්න පුළුවන් වෙයි. අපිට උදව් කරපු සහ අනුග්‍රහය දක්වපු හැමෝටම ස්තුති වන්ත වෙනවා.”

Fisu.net

සාර්ථක තරගාවලියක් සඳහා සහභාගී වූ මේ සියලු ක්‍රීඩකයන් පිටුපස සිටි අනුජ මල්ලවාරච්චි ගුරු පියාණන් ද Thepapare.com වෙත අදහස් දැක්වුයේ සතුටිනි.

“අපේ දරුවෝ දක්ෂයි. නැත්තන් ලෝකේ ප්‍රබල රටවල් එක්ක මෙම තරග කරන්නේ නෑ. ඒ ගොල්ලෝ අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. නමුත් ලෝකේ ජාතික සංචිත වල ක්‍රීඩකයින් එක්ක අපේ අය කරට කර සෙල්ලම් කළා. කොලොම්බියාවත් පැරද්දුවා. ඒ ගැන සතුටුයි. ඒ වගේම ඉස්සරහටත් විශ්ව විද්‍යාල රග්බි දියුණු කරන්න  ඕන වෙලාවක මහන්සි වෙනවා.”

අවසන් වශයෙන් ලෝක විශ්ව විද්‍යාල සත් සාමාජික තරගාවලියකට සහභාගී වෙමින් සුපිරි කාණ්ඩයම් 8 අතරට පිවිසීමෙන් අපේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබූ සියලු ක්‍රීඩකයන් වෙනුවෙන් Thepapare.com අප හෘදයංගම ස්තුතිය පුද කරන අතර අනාගතයටත් රට වෙනුවෙන් තම දක්ෂතා පිළිබිඹු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි එක සිතින් ප්‍රර්ථනා කරන්නෙමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<