8 වැනි රග්බි ලෝක ශුරතාව ඩැහැගන්නට හෙට සිට කණ්ඩායම් 20ක් සටනට

152

අට වැනි ලෝක කුසලාන රග්බි තරගාවලිය හෙට (18දා) සිට ඔක්තෝබර් මස 31 දක්වා එංගලන්තයේදී පැවැත්වෙන අතර හෙට රාත්‍රියේදී විකන්හැම් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව ෆීජි කණ්ඩායම හමුවන තරගයෙන් මෙවර තරගාවලිය ආරම්භ වනු ඇත.

මෙම ලෝක කුසලාන රග්බි තරගාවලිය (එක් පිලකට පහළොස් දෙනකු සහභාගි වන) සඳහා ඔස්ට්‍රේලියාව, එංගලන්තය, වේල්ස්, ෆීජි උරුගුවේ යන කණ්ඩායම් “ඒ” කාණ්ඩය යටතේ සහභාගි වන අතර, දකුණු අප්‍රිකාව, සැමෝවා, ජපානය, ස්කොට්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය තරග වදින්නේ “බී” කාණ්ඩය යටතේය. නවසීලන්තය, ආජන්ටිනාව, ටොංගා, ජෝර්ජියා, නැම්බියා “සී” කාණ්ඩය යටතේ තරග වදී. ප්‍රංශය අයර්ලන්තය, ඉතාලිය, කැනඩාව, රොමේනියාව යන රටවල් තරග වදින්නේ “ඩී” කාණ්ඩය යටතේය.

රටවල් 20ක් නියෝජනය කරමින් පැවැත්වෙන මෙවර තරගාවලියේ ප්‍රථම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට මධ්‍යම රාත්‍රි 12.30ට ආරම්භ වීමට නියමිත අතර 1987න් පටන් ගන්නා රග්බි ලෝක කුසලාන ඉතිහාසය තුළ මෙවර එංගලන්තය සත්කාරකත්වය උසුලන්නේ දෙවැනි වතාවටය. තවද මින් පෙර පැවැති ලෝක කුසලාන තරගාවලියන් හත සැලකූ විට ඕස්ට්‍රේලියා, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව යන රටවල් දෙවරක් බැගින් ශූරයන් වන්නට සමත් වූ අතර එංගලන්තය එක් වරක් ලෝක ශූරතාව දිනාගෙන ඇත.