රාජකීයයන් බ්‍රැඩ්බි සටන ජය ගනී!

79th Bradby Shield 2025

47

79 වැනි බ්‍රැඩ්බි පලිහ සටනේ දෙවැනි තරග අදියර ඊයේ (06) ක්‍රියාත්මක වුනා.  

මෙම බ්‍රැඩ්බි සටනේ පළමු අදියර තුළ රාජකීය ක්‍රීඩකයින් විසින් ලකුණු 10ක පරතරයක් නිර්මාණය කර ගැනීමට සමත් වූ අතර, මේ නිසා මෙවර බ්‍රැඩ්බි ශූරතාව තමන්ගේ කර ගැනීමට නම් ත්‍රිත්ව ක්‍රීඩකයින් එම ලකුණු 10 පරතරය ඉවත් කිරීම සිදු කළ යුතුව තිබුණා. 

ඒ වෙනුවෙන් ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර, අචින්ත ජයසේන විසින් උත්සාහ දිනුමක් සාර්ථක කර ගනිමින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පළමු ලකුණු 05 ලබා දුන්නා. කෙසේ වෙතත් එතැන් පටන් තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින්ට ලබා ගැනීමට හැකියාව තිබූ ලකුණු කිහිපයක් ම මග හැරී ගිය අතර, මේ නිසා තරගයේ පළමු අර්ධය 5-0ක් ලෙසින් නිමාවට පත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් සිය ග්‍රහණය තවත් ඉහළ දැමීමට සමත් වූ නමුත්, ත්‍රිත්ව ක්‍රීඩක ශාන් අල්තාෆ් විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 8-0ක් බවට පත් කිරීමට සමත් වුනා. 

කෙසේ නමුත් ඊට සුළු මොහොතකට පසුව ක්‍රියාත්මක වූ ඉඩ්‍රිස් ෆාරුක් විසින් රාජකීය විද්‍යාලය වෙනුවෙන් පළමු සහ එකම දඬුවම් පහර සාර්ථක කර ගනිමින්  ලකුණු පුවරුවට ලකුණු 03ක් එකතු කළා. ඉන් පසුව දෙපිළෙන් ම ලකුණු වාර්තා වුනේ නැහැ. මේ අනුව තරගයේ ජය ත්‍රිත්ව විද්‍යාලයට හිමි වූ නමුත්, සමස්ත ලකුණු අනුව මෙවර බ්‍රැඩ්බි ශූරතාව රාජකීයයන් සතු වුනා. 

  • දෙවැනි අදියර: ත්‍රිත්ව විද්‍යාලය 08 (1T,1P) – රාජකීය විද්‍යාලය 03 (1P) 
  • සමස්ත ලකුණු: රාජකීය විද්‍යාලය 18ත්‍රිත්ව විද්‍යාලය 13 

තරගයේ වීරයා යුවාන් පතිරණ (රාජකීය විද්‍යාලය) 

දේශීය පාසල් රග්බි පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<