T20 කිරුල දිනා 6 වැනි සංවත්සරය සමරද්දී මාලිංග කියපු කතාව

311
ICC T20 World Cup Final

ක්‍රිකට් ක්‍රීඩාව හරහා ලොව ප්‍රසිද්ධියට පත් රටවල් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ශ්‍රී ලංකාව බවට සැකයක් නොමැත. විජයග්‍රාහී 96 ලෝක කුසලානය සහ 2014 විස්සයි විස්ස ලෝක කුසලානය අප රටේ ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සංධිස්ථාන දෙකකට උදාහරණය. 

“අපේ ක්‍රිකට් වඩාත් ශක්තිමත්ව නැවත පැමිණේවි”

ලොව පුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා මෙරට මෙන්ම ලොව පුරා

නොසිතූ මොහොතක කණ්ඩායමේ නායකත්වයට පත් වූ ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්, 1996 වසරට පසුව ක්‍රිකට් ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වූයේ, 2014 අප්‍රේල් 6 වැනිදායි. 

එම විජයග්‍රහණයේ 6 වැනි සංවත්සරය සමරණ මේ අවස්ථාවේ, එවකට කණ්ඩායම මෙහෙය වූ ලසිත් මාලිංග ලෝක කුසලාන අවසන් මහා තරගය පැවති දිනය ගත කළ ආකාරය සහ අවසන් 24 පැයේ අත්දැකීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කණ්ඩායම සමඟ මෙසේ පවසා තිබුණි. 

Sri Lanka Cricket
2014 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

“ඇත්තටම ඒ මතකය ගැන කියනවා නම් මේ දේ ටිකක් කලින් වුන සිදුවීමක්. දවසක් මම පුහුණුකරුවන් සහ තවත් කීපදෙනෙක් ඉන්න තැනක දී කිව්වා බය වෙන්න එපා 2014 වර්ල්ඩ් කප් එක මං කැප්ටන් කරලා දිනාගෙන එනවා කියලා. මං දන්නේ නෑ මොන හේතුවක් නිසා එදා මම ඒ දේ කිව්ව ද කියලා. එතකොට මං කැප්ටන් වෙන්න හිතලවත් නැහැ. කොහොම හරි නවසීලන්තය එක්ක තිබුණ තරගය ජය ගත්තට පස්සේ තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ සනත් අයියා (ජයසූරිය) ඇවිල්ලා මට කිව්වා දිගටම කැප්ටන් කරන්නේ මම කියලා”.

“මේ ජයග්‍රහණයේ දී මුලින්ම කියන්න ඕන අපිට ලෝක කුසලානය දිනන අඩිතාලම දාල දුන්නේ රංගන (හේරත්) අයියා. ඒ තරගෙදි (සුපිරි 10 වටයේ නවසීලන්තය සමඟ පැවති තරගය) අපි ගැහුවේ ලකුණු 120ක් වගේ අඩු ලකුණු සංඛ්‍යාවක්. ඒත් රංගන අයියා තනියම මැච් එක දිනෙව්වා. ඒ දේ වුනේ නැත්නම් අපිට මේ ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න වෙන්නේ නෑ. මේ ජයග්‍රහණයේ පළමු ගෞරවය හිමි විය යුත්තේ රංගන අයියට කියන එක මම කියන්න ඕන. එයා තමයි ඒ තරගයේ දී කඩුලු 6ක් අරගෙන අපිට නොසිතූ ජයග්‍රහණයකට පාර කැපුවේ” යැයි මාලිංග පවසා තිබුණි. 

Rangana Herath
සුපිරි 10 වටයේ තීරණාත්මක නවසීලන්ත තරගයේ වීරයා වුනු රංගන හේරත්

1996 දී වර්ෂයේ දී ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්නේ අර්ජුණ රණතුංගගේ නායකත්වය යටතේයි. එම ජයග්‍රහණයට පසුව එක්දින සහ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි හතරක දී (2007, 2009, 2011 සහ 2012) ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පැමිණි නමුත් එම සෑම අවස්ථාවක දී ම අනුශූරයින් ලෙස සෑහීමට පත්වන්නට ශ්‍රී ලංකාවට සිදු වූයේ ඉතාමත් අවාසනාවන්ත ලෙසයි.

2014 දී බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේ දී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය විජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඊයේ දිනට (06) ශ්‍රී ලංකාව එම හපන්කම පෙන්වා වසර 6ක් ගත විය. 

එලෙස ලබා ගත් විජයග්‍රහණයේ ඇතුලාන්තය පිළිබඳව සාකච්ඡා කිරීමට සුදුසුම පුද්ගලයා වන්නේ අදටත් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්ව වගකීම් දරණ ලසිත් මාලිංගය. එහි රස මුසු තැන් බොහෝයි.

“තරග පාවාදෙන්නන් එල්ලා මැරිය යුතුයි” – ජාවෙඩ් මියැන්ඩාඩ්

ක්‍රිකට් තරග පාවා දෙන ක්‍රීඩකයින් එල්ලා මැරිය යුතු බව හිටපු පාකිස්තාන

මෙම ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට විවිධාකාරයේ ගැටලුවලට මුහුණ දීමට සිදු වූ අතර එහි ඉදිරියෙන්ම පසුවූයේ කණ්ඩායමේ නායකත්ව ගැටලුවයි. එම ලෝක කුසලානය සඳහා දිවයිනෙන් පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා වූයේ දිනේෂ් චන්දිමාල්ය. නමුත් තරගාවලියේ සුපිරි 10 වටයේ එංගලන්තය සමඟ පැවති තරගයේ දී, නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට නොහැකි වීම නිසාවෙන් චන්දිමාල් තරග තහනමකට ලක්විය.

චන්දිමාල්ට තහනම් වන්නේ එක් තරගයක් (සුපිරි 10 වටයේ නවසීලන්ත තරගය) පමණි. නමුත් චන්දිමාල් වෙනුවට, කණ්ඩායමේ අවසන් 11ට තේරී පත්වූ ලහිරු තිරිමාන්න දක්ෂතා අතරට පැමිණීමත්, එතෙක් උපනායකයා ලෙස කටයුතු කළ මාලිංග නායකත්ව වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සමත් වීමත් නිසාවෙන් අවසන් පූර්ව සහ අවසන් මහා තරගවල දී අකමැත්තෙන් වුවද චන්දිමාල්ට සිදු වූයේ බංකුවේ සිට තරග නැරඹීමටය. 

සැබැවින්ම එම ලෝක කුසලාන ගමනේ අවසන් කණ්ඩායම් 4ට පිවිසීම සඳහා සුපිරි කණ්ඩායම් 10 යටතේ පැවති නවසීලන්තය සමඟ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තීරණාත්මක විය. 

එම වැදගත් තරගයේ දී ශ්‍රී ලංකාවට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 119ක් පමණි. නමුත් සුපිරි පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් සිය කර මත ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියේ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට දොරටු විවර කරමිනි.

මාලිංග පවසා තිබෙන අන්දමට ශූරතාව කරා යෑමට අවශ්‍ය අධිෂ්ඨානය සහ විශ්වාසය ගොඩනැගෙන්නේ එකි ජයග්‍රහණයෙන් පසුවයි. ලෝක කුසලානය ජය ගැනීම සඳහා සියලු පිඹුරු පත් සැකසී තිබෙන්නේ ද අවසන් මහා සටනට පෙර දින රාත්‍රියේ එනම් 2104 වසරේ අප්‍රේල් 5 වැනිදා රාත්‍රියෙයි. එම අවසන් මෙහෙයුම සැලසුම් කර තිබුණේ මාලිංග ලැගුම් ගත් හෝටල් කාමරයයි.

“මට මතකයි තරගයට කලින් දවසේ රෑ අපේ සංචිතයේ ඔක්කොම පන්දු යවන්නන් සියලුම දෙනා මගේ කාමරයේ හිටියා. කොච්චර ජ්‍යෙෂ්ඨයෙක් වුනත් රංගන අයියත් (හේරත්) ඒ අතර හිටියා. එතැන දී අපි බැලුවේ ප්‍රතිවාදී කණ්ඩායම පීඩනයකට ලක් කරනවාට වඩා අපේ හැකියා‍වෙන් කොහොමද පන්දු යවන්නේ කියන එක. විශේෂයෙන්ම පීඩනයක් ආවොත් කවුද ඒ වෙලාවට පන්දු යවන්න ගේන්නේ, මොන වගේ තැන්වලට ද අපි පන්දු යැවිය යුත්තේ වගේ දේවල්. ඒ වගේම අපි අවස්ථානුකූලව හැසිරෙන්න කොහොමද කියන එක ගැනත් ගොඩක් කතා කළා”.

“විශේෂයෙන්ම අපි උත්සාහ කළේ ඒ ඒ ක්‍රීඩකයන්ට පැවරෙන වගකීම මොකද්ද කියන එක ගැන ඒ ක්‍රීඩකයින්ට අවබෝධයක් ලබා දෙන්න. ඒ දේ ගොඩක් සාර්ථක වුනා කියලා මම හිතනවා. ඒ තරගෙදි අපි යැව්ව අවසන් පන්දුවාර 4 කොහොමද දැම්මේ කියන එක ගැන අදටත් ලෝකයා කතා කරනවා. එක පාරටම ඒ දේවල් කරන්නත් බැහැ. නමුත් කළ යුතු දේ අපි වටහා ගත්තා. අපේ දක්ෂතාවය ඕන වෙලාවක අපිට යොදා ගන්න පුළුවන් කියන මානසිකත්වයේ අපි හිටියා. ඒත් දක්ෂතා ඒකාකාරීව පවත්වා ගෙන යන එකයි අමාරු. අපි අවධානය යොමු කළේ අන්න ඒ දේවල් ගැන” යැයි මාලිංග මෙහි දී පවසා තිබුණි.

ක්‍රිකට් ක්‍රීඩකයෝ ගෙවතු වැඩවලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිය නිවාස තුලම රැඳී සිටිමින් ඵලදායීව කාලය ගත කරමින් #HomeGardenChallenge

ඉන්දීය කණ්ඩායම යනු IPL නිසාවෙන් එකවර විස්සයි විස්ස තරග රටාව තුල සිය අත්දැකීම් දෙගුණයකින් තෙගුණයකින් පමණ වර්ධනය කර ගත් කණ්ඩායමක් බව මුළු ලොවම දන්නා කරුණකි. එම නිසාවෙන් එවකට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ භයානකම පිතිකරණ බලඇණිය ඉන්දීය පිතිකරණ බල ඇණිය යැයි කීමේ කිසිම වැරැද්දක් නැත. 

මාලිංග පවසා ඇති පරිදී ශ්‍රී ලංකාව යැවූ එම අවසන් පන්දුවාර 4 සඳහා මුහුණ දුන්නේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් තිදෙනෙකු වන, 2011 ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් යුවරාජ් සිං, වත්මන් කණ්ඩායම් නායක විරාත් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනි ය. 

ඔවුන් පිතිකරුවන් අතර දැවැන්තයින් වුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඔවුන්ට අවසන් පන්දු 24 තුළ දී ලබා දුන්නේ ලකුණු 19ක් පමණි. මෙහි 18 සහ 20 වැනි පන්දුවාර යැවීම සිදු කළේ මාලිංග විසින් වන අතර මෙම ලෝක කුසලානයේ වැඩි වගකීමක් ඉටු කළ පන්දු යවන්නා බවට පත් වෙමින් ඔහු විසින් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ පිළිවෙළින් ලකුණු 4ක් සහ 7ක් පමණි.

“ගොඩක්ම බැලුවේ හයේ, හතරේ ඒවා නොදී ඉන්න. ඒ අරමුණින් පන්දු යැව්වොත් අපිට කඩුලු ලබාගන්න අවස්ථාවක් නැති බව අපි දැනගෙන හිටියා. හැබැයි අපිට වෙන ඩැමේජ් එක අඩුයි කියන විශ්වාසෙන් අපි හිටියා. අවසානයේ අපි ඒ දේ කළා. කොච්චර දක්ෂ පිතිකරුවන් හිටියත් ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක දී ලකුණු 130කට සීමා කරන්න අපිට එදා පුළුවන් වුනා. අන්න ඒකයි මං කලිනුත් කිව්වේ ඔවුන්ගේ දක්ෂතා ගැන හිතනවාට වඩා අවධානය යොමු කළ යුත්තේ අපේ දක්ෂතා ගැනයි කියලා”.

ඉන්දීය කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු අවසන් මහා තරගයට පෙර දින රාත්‍රියේ හෝ තරගය පැවති දින උදෑසන හෝ මුණ නොගැසුණු බව පවසන මාලිංග, කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම ද අපූරු සිදුවීමක් බව පවසා තිබුණි.

“මට මතකයි කවුරු හරි මට කිව්වා දෝනි එක්ක ටොස් එක දිනන එක හරි අමාරුයි කියලා. එයා කවදාවත් මේ වගේ ලොකු තරගවල දී ටොස් එක පරාද වෙන්නෙ නෑ කියලා. ඒ වෙලාවෙදි ඒ කියපු කෙනාට මං කිව්වා ‘රයිට් OK. මෙදා පාර බලන්න ටොස් එක අනිවාර්යයෙන්ම මම දිනනවා කියලා. ඒ වෙලාවේ මාත් එක්ක නිරෝෂන් කියලා අපේ ඇනලයිසර් කෙනෙකුත් මගේ එහා පැත්තේ හිටියා. කිව්ව විදියටම මගේ වාසනාවට එදා මම ටොස් එක ජයග්‍රහණය කළා. ඒකත් මේ ලෝක කුසලානයේ පොඩි පොඩි සුන්දර මතකයන් අතරට එකතු වුන කරුණක්”.

“ඉන්දීය කණ්ඩායම ගත්තහම අපි දන්නවා එයාලා හඹා යන්න ගොඩක් කැමති කට්ටියක්. නමුත් වර්ල්ඩ් කප් ෆයිනල් එකක් වගේ ගත්තොත් ලකුණු පුවරුවේ ලොකු ස්කෝර් එකක් තිබුනොත් ඕනෑම කණ්ඩායමක් පීඩනයට පත්වෙනවා. අපේ වාසනාවට ටොස් එක දිනුවා. ඒ තීරණය ගොඩක් සාර්ථක වුනා” යැයි වචන අතරින් වූ මුවඟ රැඳී සිනහවත් සමඟ මාලිංග පවසා තිබුණි.

“මට මතක විදියට ෆයිනල් එක දවසේ අපිට එච්චරම පීඩනයක් තිබුණේ නෑ. ගොඩක්ම සෙමි ෆයිනල් මැච් එකේ තමයි පීඩනය තිබුණේ. මොකද ඊට කලින් අවුරුද්දේ අපි පැරදුණ කොදෙව් කණ්ඩායම අපේ ප්‍රතිවාදීන් බවට පත්වෙලා තිබුණ නිසා. තරගය දවසේ කිසිම දෙයක් මම මගේ ක්‍රීඩකයන්ට කිව්වේ නෑ. මොකද කියන්න තියෙන දේවල් ඔක්කොම කලින් දවසේ රෑ කියලා තිබුණ නිසා. ඒ තරමටම මට ඔවුන් ගැන විශ්වාසයක් තිබුණා. මට තිබුණේ ඔවුන්ට සුබ පතන එක විතරයි” යැයි තරගයේ පීඩනය සම්බන්ධයෙන් මාලිංග අදහස් දක්වා තිබුණි.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරු දෙකක් සහ මෙරට පහළ වූ අග්‍රගණ්‍ය ක්‍රීඩකයින් දෙදෙනෙකු වන හිටපු නායක මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ දශක දෙකකට ආසන්න ක්‍රිකට් දිවියේ සමුගැනීම සටහන් වුණු මෙම ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඔවුන්ගෙන් ලැබුණු සේවය කියා නිම කළ නොහැකි බව ද මාලිංග පවසා තිබුණි.

මහේල සහ සංගක්කාර 2014 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණයට පසුව

“මං පන්දු රකින තැනේ හැටියට ෆීල්ඩර් කෙනෙක් දැම්මොත් ඒ ඈන්ගල් එක හරි ද කියලා බැලුවේ කුමාර් අයියා. එයා විකට් කීපර් නිසා ඒක එයාට හොඳට පේනවා. ඒ වගේම මම පන්දු රකින්නන් යොදවන්නේ කොහොමද කියන එක මහේල අයියා හොඳට දන්නවා. ඒක නිසා මං ගත්ත ගොඩක් තීරණ එයත් එක්ක ගැළපුණා. සීනියර්ස්ලා හිටියා කියලා කැප්ටන්ලා හිටියා කියලා කිසිම කරදරයක් මට තිබුණේ නෑ. ඒක තමයි මේ ජයග්‍රහණයේ රහස” යැයි මාලිංග පවසි තිබුණි.

මෙම තරගයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා (ලකුණු 77) බවට පත්වූ විරාත් කෝලි ලකුණු 11ක් ලබා සිටිය දී, හේරත්ගේ පන්දුවකට ලබා දුන් උඩ පන්දුවක් මාලිංග අතින් ගිලිහී නොයන්නට මෙම ලකුණු සංඛ්‍යාව මීට වඩා අඩු වීමට ඉඩ තිබුණි. නමුත් ඒ පිළිබඳව මාලිංග දරන්නේ හාත්පසින්ම වෙනස් අදහසකි.

දුකට පත් ජනතාවට වනිඳු, අකිල, මලින්ද සහ ශානකගෙන් සහනයක්

COVID-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන

“නෑ. අපි හැම තිස්සෙම බැලුවේ ලකුණු නවත්තන විදිය ගැන. කෝලි 77ක් ගැහුවත් අපිට පුළුවන් වුනා ඔවුන්ව ලකුණු 130කට නවත්වන්න. එක පිතිකරුවෙක් කොච්චර ලකුණු ගැහුවත් එයාට අන්තය නොදී අනිත් අයව පීඩනයකට පත් කරන එකයි අපේ සැලසුම වෙලා තිබුණේ. විරාත් කියන්නේ හොඳ පිතිකරුවෙක්. ඒත් ඒ ටීම් එක ගත්තහම ඒ වගේ අය ගොඩක් හිටියා. ඉතිං අපිට එයා අවුට් කරගත්තා කියලා නිදහස් වෙන්න බැහැ. ඒ කැච් එක අත ඇරුණු එක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද එහෙම නැතුව (සුරේෂ්) රයිනා වගේ ඇවිල්ලා පහර එල්ල කරලා ලොකු ලකුණු සංඛ්‍යාවක් රැස් කළා නම් මේ තත්ත්වය එහෙම් පිටින්ම වෙනස් වෙන්න තිබුණා” යැයි මාලිංග පවසා තිබුණි.

තිසර පෙරේරා එල්ල කළ හයේ පහරත් සමඟ ශ්‍රී ලංකාව ඉදිරියේ කඩුලු 6ක ජයග්‍රහණයක් සනිටුහන් විය. ඒ වන විටත් අනෙක් අන්තයේ සිටි කුමාර් සංගක්කාර ලකුණු 52ක් ලබා සිටියේය. ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ එම ජයග්‍රහණය, තමන් ඇතුළු කණ්ඩායමට අත්‍යාවශ්‍යව තිබූ ජයග්‍රහණයක් බව මාලිංග පවසා තිබුණි. ඒ පිළිබඳව මාලිංග සිය මතක අවධි කර තිබුණේ මෙසේයි.

“ක්‍රීඩකයින්ගේ ඉඳලා සපෝර්ට් ස්ටාෆ් එක වෙනකම් හැමෝටම ආසාවක් තිබුණා ලෝක කුසලානයක ජයග්‍රහණය සෙලිබ්‍රේට් කරන හැඟීම ගන්න. මොකද, ඒ කණ්ඩායමේ හිටපු කිසිම කෙනෙක් ඒ වෙනකොට ලෝක කුසලානයක් දිනපු අත්දැකීමක් ලබාගෙන නොතිබුණු නිසා. ඒ සතුට මම වැඩියෙන්ම දැක්කේ කුමාර් සහ මහේල අයියලාගෙන්. මොකද අපි දිනුවට පස්සේ අපිට මෙඩ්ල් එකක් පැලැන්ඳුවා. ෆයිනල් මැච් එක ඉවර වුනේ රෑ 10ට 11ට විතර. මැච් එකෙන් පස්සේ ටීම් එකේ අයට තිබුණ පාටියෙදි ඒ මෙඩ්ල් එක මහේල අයියා ගැලෙව්වේ උදේ 7ට”.

“අවුරුදු 20කට වැඩිය රටට ක්‍රීඩා කරලා එයාලට තිබුණ ඒ සතුට එහෙම නම්, අනිත් අය ගැන තව කියන්න දෙයක් නෑ. ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනවා කියන්නේ අමුතුම හැඟීමක්. ඒ හැඟීම ආයේ වචනවලට පෙරළන්න අමාරුයි. මට මතකයි ජයග්‍රහණය වෙනුවෙන් තිසර එල්ල කරපු හයේ පහරත් එක්ක අපි ග්‍රවුන්ඩ් එකට ගිය විදිය. අපි කරපු කියපුවා ගැන ඒ වෙලාවේ කිසි ගානක් තිබුණේ නෑ. ඒත් පස්සේ ටී. වී. එකෙන් පෙන්නනකොට තමයි දැක්කේ කවුරුවත් ඒ දේවල් කළේ හිතලා නොවන බව” යැයි කට කොනකට ආ සිනහවක් ද සමඟින් ලෝක කුසලාන ජයග්‍රහණයක වූ සුන්දර මතක පෙළ මාලිංග අවසන් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය වෙනුවෙන් චමිල කරවිට ලියූ “විස්සයි-20 ලෝක කුසලාන දිනා අදට වසර 6 යි | සටනේ අවසන් පැය 24 ගැන මාලිංග මතක් කරයි” යන ලිපියේ දෙබස් රැගෙන මේ ලිපිය සකස් කරන ලදි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<