ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඉඳුනිල් සහ ගයන්තිකාගෙන් දස්කම්

271

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ (23) දිනයේ දී ජවන හා පිටිය තරග ඉසව් යටතේ උදෑසන වරුවේ දී අවසන් තරග අවසන් තරග 10ක්ද, සවස් වරුවේ අවසන් තරග 04ක්ද පැවැත්විය.

ජාතික වාර්තාවක් අලුත් වෙමින් මලල ක්‍රීඩා ඉසව් ඇරඹේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ඉහළින්ම පැවැත්වෙන උත්කර්ෂවත් තරගාවලියක් වන, ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද (22) ආරම්භ..

මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද දිනය (24) වන අතර ඒ අනුව අද දිනය අවසානයේ තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

පසුගිය දා තුර්කිමේනිස්ථානයේ අෂ්ගබාත් හිදී පැවති ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ ගයන්තිකා අබේරත්න සහ ඉඳුනිල් හේරත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඔවුන්ගේ පළාත් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

පසුගිය 22 වන දින ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ, එදිනම මාතරට පැමිණියත් ඔවුන්ගේ ඉසව්වල විශිෂ්ටතමයන් තමන් බව ඔවුන් නැවතත් සනාථ කිරීමට සමත් වූයේ එම ඉසව්වල රන් පදක්කම් ඔවුන් පහසුවෙන් ජයග්‍රහණය කරමිනි.

දකුණු පළාත නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වූ ගයන්තිකා එහි දී සිය ඉසව්වේ දී මිනිත්තු 2:07.47 ක කාලයක් වාර්තා කර ගනිමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර දකුණු පළාතම නියෝජනය කළ නදීෂා රාමනායක එහි දී දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. තුන්වන ස්ථානය දිනා ගනු ලැබුවේ වයඹ පළාත නියෝජනය කරමින් සහභාගී වූ චම්පිකා දිල්රුක්‍ෂි ය.

ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියේ දී මීටර 800 ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා ජාතික වාර්තාව තෙවරක් බිඳ දැමූ ඉඳුනිල් හේරත් මෙහි දී ද ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් මිනිත්තු 1:52.47කින් කාලයකින් තරග අවසන් කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය. එහි දී දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් බස්නාහිර පළාත නියෝජනය කළ ඒ. ඩී. කුමාර සහ ඌව පළාත නියෝජනය කළ කුපුන් කුෂාන්ත විසින් දිනා ගන්නා ලදි.

දිනයේ පැවති ප්‍රථම ජවන ඉසව්ව වූ මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ කාන්තා හා පිරිමි තරග අංශ දෙකේම අවසන් තරග උදෑසන වරුවේ දී පවත්වන ලදි. එහි දී පිරිමි තරග අංශයේ පළමු ස්ථානය සබරගමුව පළාත නියෝජනය කළ අසංක රත්නසේන විසින් දිනාගත් අතර දෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ ඌව පළාත නියෝජනය කළ අරවින්ද චතුරංග විසිනි. සබරගමුව පළාත නියෝජනය කළ අසිත රත්නසේන එහි දී තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය. එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම වයඹ පළාත නියෝජනය කළ කෞෂල්‍යා මදුෂානිත්, රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙළින් දකුණු පළාත නියෝජනය කළ ශයමා දුලානි සහ එන්. ලක්මාලිත් දිනා ගන්නා ලදි.

මීළඟට පැවති මීටර 200 අවසන් තරගය එතරම් ජවසම්පන්න ස්වරූපයක් ගත්තේ නැත. මීටර 200 කාන්තා අවසන් තරගය සඳහා එම ඉසව්වේ දක්‍ෂතම ක්‍රීඩිකාව වන රුමේෂිකා රත්නායක සහභාගී නොවූ අතර එහි දී තත්පර 25.16ක කාලයක් වාර්තා කර ගත් ඌව පළාත නියෝජනය කළ ශහිකා විදුරන්ගේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඌව පළාතම නියෝජනය කළ තත්පර 25.52ක කාලයක් වාර්තා කර ගත් ඕ. උදයංගනී දෙවන ස්ථානය දිනාගත් අතර දකුණු පළාත නියෝජනය කළ තත්පර 25.51ක කාලයක් වාර්තා කර ගත් ඉවන්ති ඉමේෂිකා තුන්වන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

එහි පිරිමි ඉසව්වේ දී සබරගමුව පළාතේ ඩී. විජේරත්න තත්පර 22.08 ක කාලයකින් තරගය අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගත් අතර තත්පර 22.16ක කාලයක් වාර්තා කර ගත් නැගෙනහිර පළාතේ මොහොමඩ් උදයර් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. එහි තෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ තත්පර 22.20 ක කාලයක් වාර්තා කර ගත් බස්නාහිර පළාතේ කේ. එච්. ඒ. චමෝද් ය.

  • ඉෂාර රන් පදක්කම ජයග්‍රහණය කළත් දස්කම්වල පසුබෑමක්

පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකාව අංක එකේ ක්‍රීඩකයා වන ඉෂාර සඳරුවන් පසුගිය වසරේ තරගාවලියේ දී ඔහු ජයග්‍රහණය කළ රන් පදක්කම මෙවරත් ආරක්ෂා කර ගැනීමට සමත් විය.

මීටර 5.11ක දක්ෂතාවයක් සහිතව ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන ඔහු මෙහි දී සමත් වූයේ මීටර 4.60 ක් වූ ආරම්භක උස ප්‍රමාණය සාර්ථක කර ගැනීමට පමණි. ක්‍රීඩාංගණය තුළ පැවති සුළඟ අධික කාලගුණ තත්වය ඊයේ දිනයේ දී ආසියානු තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමේ උස ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීමේ බලාපොරොත්තුව සහිතව එහි කාන්තා ඉසව්ව සඳහා සහභාගී වූ අනිතා ජෙගතීශ්වරන්ට මෙන් ඉෂාරට ද බාධා එල්ල කරන්නට විය.

එහි දී ඉෂාර හට බාධාවක් වූයේ සුළං අධික තත්වය පමණක් නොවේ. කැඳවීමේ කාමරයට ඔවුන්ව උදෑසන 8ට කැඳවනු ලැබුවත් ඔවුන්ට තරගයේ පළමු උත්සාහය ලබා ගන්නට අවස්ථාව ලැබුණේ උදෑසන 11ත් පසුවීමෙන් අනතුරුව ය. එහි දී දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් ජයග්‍රහණය කළ බස්නාහිර පළාතේ ඒ. ඩී. කුමාර සහ සබරගමුව පළාතේ ආර්. එස්. කුමාර ඒ වන විටත් තරගයෙන් ඉවත් වී තිබුණි. ඒ අනුව පසුගිය තරගාවලි කිහිපය පුරාවටම මෙම තත්වය දැක ගැනීමට ලැබුණු අතර ඉෂාර හට අභියෝගයක් නොමැති වීම ඔහු වැඩි උස ප්‍රමාණයක් සාර්ථක කර ගැනීමට අපොහොසත් වීම කෙරෙහි ඉවහල් වී ඇත.

මිටිය විසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන ඌව පළාත නියෝජනය කළ අයේෂා මදුවන්ති කාන්තා කවපෙත්ත විසිකිරීමේ අවසන් තරගයේ දී මීටර 41.05ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර වයඹ පළාත නියෝජනය කළ මීටර 38.19 ක දක්ෂතාවයක් දැක්වූ වී. වී. ලක්මාලි දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. එහි තුන්වන ස්ථානය දිනා ගනු ලැබුවේ මීටර 36.13 ක දක්ෂතාවයක් දැක්වූ බස්නාහිර පළාතේ අයි. එම්. පෙරේරා ය.

කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ දී මීටර 50 ක දුර ප්‍රමාණය පසුකරන්නට සමත් වූ එකම ක්‍රීඩිකාව වූයේ ආසියානු ශූරතාවලියේ දී පදක්කමක් ජයග්‍රහණය කරනු ලැබූ ඌව පළාතේ දිල්හානි ලේකම්ගේ ය. ඒ අනුව මීටර 56.19 ක දක්ෂතාවයක් සමඟින් ඇය එහි දී රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම දිනා ගනු ලැබුවේ මීටර 46.47 ක දක්ෂතාවයක් දැක්වූ ඌව පළාතේම ඈන් මහේෂි විසිනි. ඌව පළාතේම ඩී. එච්. මදුවන්ති එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

  • නැගෙනහිර පළාතට සිය පළමු සහාය දිවීමේ රන් පදක්කම

දිනයේ අවසන් ඉසව්ව කොටවිල ක්‍රීඩාංගණයට රැස්ව සිටි සියලුම ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට ලක්වූ ඉසව්වක් විය. ඒ මීටර 100×4 සහාය දිවීමේ ඉසව්ව යි. එහි කාන්තා තරගයේ අංශයේ පළමු ස්ථානය දිනා ගැනීමට තත්පර 40.91ක කාලයක් වාර්තා කර ගත් මධ්‍යම පළාත් කණ්ඩායම සමත් වූ අතර දෙවන ස්ථානය දිනාගනු ලැබුවේ තත්පර 41.51 ක කාලයක් වාර්තා කර ගත් දකුණු පළාත් කණ්ඩායමයි. තෙවන ස්ථානය තත්පර 42.53 ක කාලයක් වාර්තා කර ගත් වයඹ පළාත් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

එහි පිරිමි තරග අංශය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. ඒ අනුව තරගය ආරම්භයේ සිට අවසන් වටය දක්වාම තරගයේ ඉදිරියෙන් රැඳෙන්නට සමත් වූයේ නැගෙනහිර පළාත් කණ්ඩායමයි. කෙසේ නමුත් අවසන් වටයේ දී නැගෙනහිර පළාත් කණ්ඩායමේ ඩබ්. ඉල්හාම්ව පසුකර යමින් තරගයේ පළමු ස්ථානයේ රැඳෙමින් තරගය අවසන් කරන්නට බස්නාහිර පළාත් කණ්ඩායමේ හිමාෂ ඒශාන් සමත් විය.

කෙසේ නමුත් ඔවුන්ගේ ජයග්‍රහණයේ සතුට රැඳුණේ ඉතා සුළු වේලාවකි. ඒ එහි දී ඔවුන් යෂ්ටි හුවමාරු කලාපයෙන් බැහැරව යෂ්ටිය හුවමාරු කර ගැනීමේ වරදට හසුවීම නිසා ඔවුන්ව තරගයෙන් ඉවත් කිරීම නිසායි.

ඒ අනුව දෙවන ස්ථානයේ රැඳෙමින් තරගය අවසන් කළ නැගෙනහිර පළාත් කණ්ඩායම තරගයේ ජයග්‍රාහකයින් ලෙස නම් කෙරුණු අතර ඒ ඔවුන් ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ජයග්‍රහණය කරනු ලැබූ පළමු සහාය දිවීමේ රන් පදක්කම විය. තරගයේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් දකුණු පළාත් කණ්ඩායම සහ වයඹ පළාත් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි. එහි දී බස්නාහිර පළාත් කණ්ඩායම ලබා දුන් තීරණය වර්ජනය කරනු ලැබුවත් එම තීරණය ඒ ආකාරයටම රඳවා තබන්නට ජූරිය තීරණය කළේය.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට