තරගය පෙනී පෙනී ආචර්ට වැඩ වරදියි

1255

බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර අද (16) ආරම්භ වීමට නියමිතව තිබෙන දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන එංගලන්ත සංචිතයෙන්, වේගපන්දු යවන ක්‍රීඩක ජෝෆ්රා ආචර්ව ඉවත් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. ඒ ඔහු නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිනොපැදීම නිසාවෙනි.

දුම් වැටියේ බලෙන් සන්සුන් වූ අවසන් තරගයේ වීරයා

ඒ අනුව ඔහු අද සිට දින පහක් පුරාවට ස්වයං නිරෝධායනය සඳහා යොමු කරනු ලබන අතර පසුව PCR පරීක්ෂණ දෙකක් සිදු කර එම පරීක්ෂණ දෙකේම ප්‍රතිඵල සාමාන්‍ය නම් ඔහුගේ ස්වයං නිරෝධායන කාල සීමාව අවසන් වෙනු ඇත.

“මම කළ දේ ගැන මට අතිශයින් කනගාටුයි. මම පමණක් නොව, සමස්ත කණ්ඩායම හා කළමනාකාරිත්වයම මේ දේ නිසා අනතුරට ලක් කළා වගේ හැඟීමක් මට එනවා. මගේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක මම සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. නැවත වතාවක් මම මේ සෑම කෙනෙක්ගෙන්ම අවංකවම සමාව අයැද සිටිනවා. ටෙස්ට් තරගය මඟ හැරීම මට මහත් වේදනාවක් ගෙන දෙනවා”  ආචර් පැවසීය

ආචර් පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කඩුලු රහිතව ඉදිරියට ගිය නමුත් දෙවන ඉනිමේ දී කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. කෙසේ නමුත් එම තරගය එංගලන්තය කඩුලු 4කින් පරාජයට පත් විය. තීරණාත්මක දෙවන ටෙස්ට් තරගය සඳහා ජේම්ස් ඇන්ඩර්සන් සහ මාක් වුඩ් විවේක ගැනීමත් සමඟ 25 හැවිරිදි ආචර් දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබුණි. 

අද (16) මැන්චෙස්ටර් හිදී ආරම්භ වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම තෝරා ගැනීමට පෙර ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරා ගැනීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (15) පියවර ගත්තේය.

දෙවන ටෙස්ට් තරගය වෙනුවෙන් නම් කළ මූලික එංගලන්ත ටෙස්ට් සංචිතය,

ජෝ රූට් (නායක), ඩොමිනික් බෙස්, ස්ටුවර්ඩ් බ්‍රෝඩ්, ජොස් බට්ලර්, සැක් ක්‍රොව්ලි, සෑම් කුරාන්, ඔලී පොප්, ඔලී රොබින්සන්, ඩොම් සිබ්ලි, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, ජෝෆ්රා ආර්චර් (සෞඛ්‍යආරක්ෂක උපදෙස් පිළිනොපැදීම නිසා ඉවතට)

මීට පෙර එනම් පළමු ටෙස්ට් තරගයට පෙර ඔහුගේ පවුලේ සාමාජිකයෙක් හට හදිසි අසනීප තත්වයක් වැලඳුණ නිසාවෙන් ඒ සාමාජිකයින් දෙදෙනාටම PCR පරීක්ෂණ සිදු කළ අතර එහි පරීක්ෂණ වාර්තා සාමාන්‍ය වූ නමුත් ආචර් හට එංගලන්ත කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා අවසර ලැබුණේ PCR පරීක්ෂණ දෙකක් සිදු කිරීමෙන් අනතුරුවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<