තියුණු තරගයක් දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය අවසන් කරයි

113

20 වැනි ආසියානු ජ්‍යේෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ 14 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සමත් විය. ඒ 13 වැනි හා 14 වැනි ස්ථාන සඳහා ඕමානය සමඟ පැවති තරගය තරග වට 3-2ක් ලෙස පරාජය වීමත් සමඟිනි.

තුන්වැනි වටයේ දී ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේ දී කුවේටය පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් තරගය සඳහා පිවිසීමට සමත් වූයේ ඊයේ (19) දිනයේ දීයි.

කුවේට් පරාජය කරමින් ශ්‍රී ලංකාව තුන්වන වටයේ අවසන් තරගයට

20 වැනි ආසියානු පිරිමි ජ්‍යේෂ්ඨ වොලිබෝල් තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම…

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුල් වටයේ සියලු තරග පරාජය වූ අතර දෙවන වටයේ දී ඔවුන් කසකස්තානය හා ඕමානය පරාජය කිරීමට සමත් විය. තුන්වැනි වටයේ දී 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා වන ශ්‍රේණිගත කිරීම් සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකාව 13 වැනි හා 14 වැනි ස්ථාන සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තේ තුන්වැනි වටයේ අවසන් පූර්ව තරගයේ දී කුවේට් කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පරාජය කරමිනි.

අද ඕමානය සමඟින් පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු තරගයක් වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළ අතර එයට හේතුව වී තිබුණේ දෙවන වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕමාන කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමයි. එහි ලකුණු තත්ත්වය දැක්වූයේ තරග වට 3-1ක් ලෙසිනි.

මෙම තරගයේ දී පළමු තරග වටය තියුණු තරගයක් වූ අතර ශ්‍රී ලංකාව ප්‍රබල තරගයකින් අනතුරුව ලකුණු 26-24ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

තරග වට 1-0ක් ලෙස පෙරමුණ ගනිමින් දෙවැනි තරග වටය ආරම්භ කළ ශ්‍රී ලංකාව එම වටයේ දී යම් පසුබෑමක් පෙන්නුම් කළ අතර ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා රටාවෙන් මනා ප්‍රයෝජනය ලබා ගත් ඕමානය එම වටය ලකුණු 16-25ක් ලෙස අවසන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාවට පිට පිට දෙවන ජයග්‍රහණයත්

20 වැනි ආසියානු ජ්‍යේෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ දෙවන වටයට අදාලව ශ්‍රී ලංකා කණ්ඩායම…

තුන්වැනි ‍තරග වටය වන විට කණ්ඩායම් දෙකම එක් වටය බැගින් ජයග්‍රහණය කරමින් සම තත්ත්වයේ පසු වූ අතර තුන්වැනි වටයේ දී තම අඩුපාඩු මනාව සකසා ගනිමින් ඕමානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ඔවුන් ජයග්‍රාහී ලකුණු 25 වාර්තා කළේ ඕමානයට ලකුණු 18ක් පමණක් ලබා දෙමිනි.

එක් තරග වටයක වාසියක් සමඟින් සිව්වැනි වටය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් පෙර දුර්වලතා නැවතත් දක්නට ලැබුණු අතර දෙවැනි වටයේ දී මෙන්ම ඕමාන කණ්ඩායම එහි උපරිම ප්‍රයෝජනය ලබා ගත්තේ එම වටය ජයග්‍රහණය කරමිනි. එහි ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 18-25ක් ලෙසිනි.

පස්වැනි හා අවසන් වටය වන විට කණ්ඩායම් දෙකම වට දෙක බැගින් ජයග්‍රහණය කරමින් සම තත්වයක පසු වූ අතර අවසන් තරග වටයේ ජයග්‍රහණය සඳහා කණ්ඩායමකට අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාව 15කි.

ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව දණ නමයි

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවන තරගයේ දී ඕස්ට්‍රේලියාව…

ශ්‍රී ලංකාව මෙම වටයේ දී ද යම් දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්වූ අතර ඕමාන කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 15 වාර්තා කළේ ශ්‍රී ලංකාව ලකුණු 12කට සීමා කරමිනි.

ඒ සමඟින් තරගයේ ජයග්‍රහණය ඕමාන කණ්ඩායම සතු වූයේ තරග වට 3-2ක් ලෙසිනි.

  • පළමු තරග වටය: ශ්‍රී ලංකාව 26 – 24 ඕමානය
  • දෙවන තරග වටය: ශ්‍රී ලංකාව 16 – 25 ඕමානය
  • තෙවැනි තරග වටය: ශ්‍රී ලංකාව 25 – 17 ඕමානය
  • සිව්වැනි තරග වටය: ශ්‍රී ලංකාව 18 – 25 ඕමානය
  • පස්වැනි තරග වටය: ශ්‍රී ලංකාව 12 – 15 ඕමානය

එම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ 13 වැනි ස්ථානය දිනා ගැනීමට ඕමාන කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ 14 වැනි ස්ථානයයි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<