පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් කණ්ඩායම් 04 තහවුරුයි

Dialog Schools Rugby Knockout 2026

3

Dialog  2026 පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග නිමා වූ සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. 

සාන්ත පීතර විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය  

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ආරම්භය ලබා දෙමින් තරග බිමට පිවිසුණු මෙම පාසල් ද්විත්වය ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතරම, තරගයේ පළමු අර්ධය තුළ පාසල් දෙකම කරට කර සටනක යෙදුණා. 

තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට සාන්ත පීතර කණ්ඩාය ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් වෙස්ලි විද්‍යාලය ද ලකුණු 22ක් ලබමින් පීතර විද්‍යාලයට හොඳ සටනක් ලබා දීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධයේ අරම්භයත් සමඟ එතෙක් වෙලා තරගයේ පිටු පසින් රැඳුණු වෙස්ලි ක්‍රීඩකයින් තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වූ අතරසමස්ත තරගය තුළ උත්සාහක දිනුම් 04ක් වාර්තා කළ වෙස්ලි කණ්ඩායම මුළු ලකුණු 36ක් කරා යාමට සමත් වුනා. 

කෙසේ වෙතත් දෙවැනි අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි. කෙසේ වෙතත් සමස්ත තරගය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් පහක් වාර්තා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්. 

මේ අනුව තරගයේ ජය වෙස්ලි විද්‍යාලය සතු වුනා. 

  • වෙස්ලි විද්‍යාලය 36 (4T, 2C, 3P, 1DG) – සාන්ත පීතර විද්‍යාලය 29 (5T, 2C) 

තරගයේ වීරයා – පවන් තිරාණගම (වෙස්ලි විද්‍යාලය) 

රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය 

මෙම තරගයත් ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් ක්‍රියාත්මක වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් විසින් ලකුණු 07ක් ලබාගනිද්දී, සාන්ත තෝමසුවන් විසින් රාජකීය ක්‍රීඩකයින්ට නොදෙවෙනි ලෙස තරග කරමින් ලකුණු 05ක් ලබා ගත්තා. 

කෙසේ වෙතත් රාජකීයයන් විසින් තරගයේ දෙවැනි අර්ධයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට සමත් වූ අතර, එම කාලසීමාව තුළ තෝමසුවන්ට තවත් එකදු ලකුණක් හෝ ලබාගැනීමට ඉඩ ලැබුණේ නැහැ. 

කෙසේ වෙතත් මෙම කාලය තුළ රාජකීයයන් විසින් තවත් ලකුණු 18ක් වාර්තා කිරීමට සමත් වූ අතර, සම්පූර්ණ තරගය තුළ ඔවුන් උත්සාහක දිනුම් 04ක් වාර්තා කිරීමට සමත් වුනා. 

රාජකීය විද්‍යාලය 25 (4T, 1C, 1P) – සාන්ත තෝමස් විද්‍යාලය 05 (1T) 

ඉසිපතන විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය  

මෙම තරගයත් ඉතා හොඳ ඇරඹුමක් ලබමින් ක්‍රියාත්මක වුනා. තරගයේ පළමු අර්ධය තුළ පාසල් දෙකම සිය උපරිමය යොදමින් එකිනෙකා හා සටන් වැදුණු අතර, පළමු අර්ධය නිමා වන විට ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබා ගනිද්දී, සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 03ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පසු පාදයට ඇද දැමීමට සමත් වූ ඉසිපතන ක්‍රීඩකයින් එම අර්ධය තුළ ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනා. සමස්ත තරගය තුළ ඉසිපතන ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 22ක් වාර්තා කරන අතර තුරේ දී, සාන්ත ජෝසප් කණ්ඩායම ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. 

  • ඉසිපතන විද්‍යාලය 22 (3T, 2C, 1P) – සාන්ත ජෝසප් විද්‍යාලය 10 (1T, 1C, 1P) 

තරගයේ වීරයා – නිමන්ත සන්දීප (ඉසිපතන විද්‍යාලය) 

ත්‍රිත්ව විද්‍යාලය සහ සහිරා විද්‍යාලය 

අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය ලෙස තවත් පාසල් රග්බි ප්‍රබලයින් දෙදෙනෙකු වන සහිරා විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය තරග බිමට පිවිසුණා. 

තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම ඉතා තියුණු සටනක නිරත වූ අතර, මෙහි දී ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 10ක් වාර්තා කරන විට, සහිරා කණ්ඩායම ලකුණු 11ක් වාර්තා කරමින් සිය ආධිපත්‍යය විදහා දැක්වීමට සමත් වුනා. 

කෙසේ වෙතත් පළමු අර්ධය තුළ තමන් ලැබූ එක් ලකුණක පසුබෑම වෙනුවෙන් සිය වාඩුව ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේ දී සමත් වුනා. 

මෙහි දී ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුනේ සමස්ත තරගය තුළ උත්සාහක දිනුම් 05ක් රැස් කර ගැනීමට සමත් වෙමිනුයි. 

කෙසේ වෙතත් මෙම අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි. මේ අනුව තරගයේ ජය ත්‍රිත්ව විද්‍යාලයට හිමි වුනා. 

  • ත්‍රිත්ව විද්‍යාලය 32 (5T, 2C, 1P) – සහිරා විද්‍යාලය 23 (3T, 1C, 2P) 

තරගයේ වීරයා – සදීශ වීරවංශ (ත්‍රිත්ව විද්‍යාලය) 

ඒ අනුව පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග නිමාවට පත් වූ අතර, පාසල් 04ක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා. 

අවසන් පූර්ව වටය; 

  • වෙස්ලි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය – මාර්තු 28  
  • ඉසිපතන විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය – මාර්තු 29 

මෙම තරග විස්තර ද ඇතුළුව දේශීය රග්බි පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<