පාසල් රග්බි ලීගය ඇරඹෙයි

Dialog Schools Rugby League 2025

19

2025 Dialog පාසල් රග්බි ලීගය ගෙවුණු සති අන්තයේ දී ආරම්භ වුනා.  

ගෙවුණු සතිය තුළ දිවයිනේ ප්‍රමුඛතම රග්බි පාසල් 16ක් තරග 08ක් වෙනුවෙන් ක්‍රීඩා පිටියට පිවිසුණු අතර, එම තරග විස්තර පහතින් දැක්වෙනවා. 

තර්ස්ටන් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය 

මෙවර පාසල් රග්බි ලීගයේ ආරම්භක තරගය වූ මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම රාජකීය ක්‍රීඩකයින් තරගය තමන්ගේ එකක් බවට පත් කර ගනිමින් ක්‍රීඩාවේ යෙදුණා. මේ හේතුවෙන් පළමු අර්ධය නිමා වන විට රාජකීයයන් විසින් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ අතරවාරයේ තර්ස්ටන් විද්‍යාලයට ලබා දුන්නේ ලකුණු 07ක් පමණයි. 

මෙතැනින් නොනැවතුණු රාජකීයයන් විසින් නියමිත කාල සීමාව අවසන් වන විට උත්සාහක දිනුම් එකොළහක් සමඟ ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනා. මේ කාලය තුළ තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් රැස් කිරීමට සමත් වුනේ ලකුණු 15ක් පමණයි. 

මෙහි දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් දිදුල ජයසූරිය උත්සාහක දිනුම් 06ක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

  • රාජකීය විද්‍යාලය 74 (11T, 8C, 1P) – තර්ස්ටන් විද්‍යාලය 15 (2T, 1C, 1P) 

තරගයේ වීරයා දිදුල ජයසූරිය (රාජකීය විද්‍යාලය) 

සහිරා විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය 

මෙම තරගය ද පෙර තරගය මෙන්ම ඉහළ ලකුණු වාර්තා වූ තරගයක් ලෙස ක්‍රියාත්මක වුනා. තරගයේ පළමු අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් ලකුණු 15ක් ලබා ගනිද්දී, ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. උණුසුම් පළමු අර්ධයකින් අනතුරුව දෙවැනි අර්ධය ක්‍රියාත්මක වූ අතර, මෙහි දී සහිරා ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ ලබා ගනිමින් ඉතා ක්‍රියාශීලී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වුනා. 

ඒ අනුව තරගය නිමා වන විට සහිරා විද්‍යාලය උත්සාහක දිනුම් 10ක් සමඟ ලකුණු 56ක් රැස් කිරීමට සමත් වී සිටියා. නමුත් ධර්මරාජ ක්‍රීඩකයින් මේ කාලය තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 19ක් පමණයි. 

  • සහිරා විද්‍යාලය 56 (10T, 3C) – ධර්මරාජ විද්‍යාලය 19 (3T, 2C) 

තරගයේ වීරයා සයින් සහීම් (සහිරා විද්‍යාලය) 

ත්‍රිත්ව විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාල්‍ය  

පසුගිය දා නිමා වූ පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේ අනුශූරතාව දිනාගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් මෙම තරගය ජය ගැනීමට සමත් වුනා. කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය නම් දෙපිළ අතර තියුණු සටනක් නිර්මාණය කළ අතර, පළමු අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගනිද්දී, සුමංගල ක්‍රීඩකයින් ලකුණු 15ක් ලබා ගත්තා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනේ උත්සාහක දිනුම් 08ක් සමඟ සමස්ත ලකුණු 49ක් ලබා ගනිමිනුයි.  

  • ත්‍රිත්ව විද්‍යාලය 49 (8T, 3C, 1P) – 15 (2T, 1C, 1P) 

තරගයේ වීරයා මනුශ සිල්වා (ත්‍රිත්ව විද්‍යාලය) 

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය 

තරමක් උණුසුම් සටනක් නිර්මාණය වූ තරගයක් ලෙස මෙම තරගය හඳුන්වාදිය හැකි. තරගයේ පළමු අර්ධය තුළ ඩී එස් ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වන අතරේ, සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් දෙවැනි අර්ධය තුළ ඩී එස් ක්‍රීඩකයින් තවත් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වූ අතර, සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි. 

  • ඩී.එස්.සේනානායක විද්‍යාලය 26 (4T, 3C) – සාන්ත අන්තෝනි විද්‍යාලය 19 (3T, 2C) 

තරගයේ වීරයා ප්‍රවීන් ලක්මාල් (ඩී.එස්.සේනානායක විද්‍යාලය) 

සාන්ත පීතර විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය 

මෙම තරගයේ ජය සාන්ත පීතර විද්‍යාලය සතු වූ නමුත්, ආනන්ද විද්‍යාලය විසින් තම ප්‍රතිවාදීන්ට සැලකිය යුතු සටනක් ලබා දීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 28ක් ලබා ගනිද්දී, ආනන්ද විද්‍යාලය ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් දෙවැනි අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් තම ග්‍රහණය දැඩි කරමින් තරගයට අවතීර්ණ වීම නිසා ජයග්‍රහණය තහවුරු කර ගැනීම වඩාත් පහසු වුනා. 

  • සාන්ත පීතර විද්‍යාලය 38 (6T, 4C) – ආනන්ද විද්‍යාලය 22 (3T, 2C, 1P) 

තරගයේ වීරයා සෙනුත් දින්සර (සාන්ත පීතර විද්‍යාලය) 

සාන්ත තෝමස් විද්‍යාලය සහ කිංස්වුඩ් විද්‍යාලය 

මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ වඩාත් තියුණු ම සටන මෙය වූ බව නොරහසක්. තරගයේ ආරම්භයේ පටන් දෙපිළම ඉතා උණුසුම් තරග රටාවටක අවතීර්ණ වූ අතර, මේ නිසාම පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම ලකුණු 14 බැගින් ලබා ගැනීමට සමත් වී සිටියා. 

තරගයේ දෙවැනි අර්ධය ද පෙර ලෙසින් ම ක්‍රියාත්මක වූ අතර, තරගයේ අවසන් ලකුණු සටහන 29-28ක් ලෙස දිස් වෙමින් සාන්ත තෝමසුවන් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

  • සාන්ත තෝමස් විද්‍යාලය 29 (4T, 3C, 1P) – කිංස්වුඩ් විද්‍යාලය 28 (4T, 3C) 

තරගයේ වීරයා – Mckyle Karunarathne (සාන්ත තෝමස් විද්‍යාලය) 

වෙස්ලි විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය 

මෙම තරගයෙන් වෙස්ලි විද්‍යාලය පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා. තරගයේ පළමු අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වූ අතර, විද්‍යා විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් තවත් ලකුණු 28ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

  • වෙස්ලි විද්‍යාලය 63 (9T, 9C) – විද්‍යා විද්‍යාලය 15 (2T, 1C, 1P) 

තරගයේ වීරයා හම්දාන් සෆ්‍රාස් (වෙස්ලි විද්‍යාලය) 

විද්‍යාර්ථ විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය 

ගෙවුණු සති අන්තයේ පැවැත්වුණු අනෙක් උණුසුම් තරගය ලෙස මෙම තරගය සැකයකින් තොරව හඳුන්වා දිය හැකි. 

තරගයේ පළමු අර්ධය තුළ විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වූ අතර, සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධයේ දී දෙපිළම තවත් ක්‍රියාශීලී වෙමින් එකිනෙකා අබිබවා යෑමට උත්සාහ කළ නමුත්, එහි අවසානයේ දී දෙපිළම ලකුණු 24 බැගින් ලබමින් සම මට්ටමින් තරගය නිමාවට පත් වුනා. 

  • විද්‍යාර්ථ විද්‍යාලය 24 (4T, 2C) – සාන්ත ජෝසප් විද්‍යාලය 24 (4T, 2C) 

තරගයේ වීරයා විහඟ සත්සිඳු (විද්‍යාර්ථ විද්‍යාලය) 

දේශීය පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<