ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට දින නියම වේ

109

පවතින කොරෝනා වයිරස තත්වය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ගිම්හාන ඔලිම්පික් තරගාවලිය ලබන වසර (2021) තෙක් කල් දැමීමට තීරණය කළ අතර එම නිසාවෙන් 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය තීරණය කරන ලදි.

ගිම්හානය මලල ක්‍රීඩාවට වෙන්වන ලකුණු

මලල ක්‍රීඩාවේ ස්වර්ණමය වසරක් වේ යැයි සැලකූ 2020 වසර මේ වන විට මලල…..

එලෙස කල් දැමූ තරගාවලියේ නව දිනවකවානු පසුගිය දා අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය මගින් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව තරගාවලිය 2022 වසරේ ජූලි මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. 

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කළේ එම කාලසීමාව තුල පැවැත්වීමට නියමිතව ඇති අනෙකුත් ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩා තරගාලි දෙකෙහි සංවිධායකයින් සමඟ කෙරූ සාකච්ඡාවලින් අනතුරුව නව දිනවකවානු සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කර බවයි.  

“ජූලි මාසයේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සහ අගෝස්තු මාසයේ ජර්මනියේ දී පැවැත්වීමට නියමිත යුරෝපානු මලල ක්‍රීඩා තරගාවලියේ සංවිධායකයින් ඇතුළු මෙයට සම්බන්ධ සියලුම පාර්ශව සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම දිනයන් අනුමත කරගැනීමට සමත් වුනා.”

“මෙම ප්‍රධාන පෙළේ තරගාවලිවලට මෙම තරග කාලසටහන නිසා බාධා නොවන නිසා සියලුම ක්‍රීඩකයන්ට මෙම තරගාවලි තුනම නියෝජනය කළ හැකි” යන්න ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ඒ අනුව මෙම තරගාවලිය නිල වශයෙන් 2022 වසරේ ජූලි මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය එම මස ජූලි 27 වැනිදා සිට අගෝස්තු මස 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

එම තරගාවලියේ නිමාවත් සමඟ යුරෝපානු මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු මස 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම වසරේ මුළු ගිම්හානයම මලල ක්‍රීඩාවෙන් වැසී යාමට නියමිතව පවතී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<