කොරෝනා තවත් තරගාවලියකට බාධා කරයි

116

ලෝක මැරතන් පිටියේ තවත් ප්‍රමුඛ පෙළේ තරගාවලියක් වන සුප්‍රකට ටෝකියෝ මැරතන් තරගයේ මෙවර අදියර කොරෝනා වසංගතය නිසා ලබන වසරේ මාර්තු මාස​ය දක්වා කල් දැමීමට එහි සංවිධායකයින් පසුගිය දා තීරණය කළා.

ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම මැරතන් තරගය ලබන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වෙනු ඇති අතර එම නිසාවෙන් ලබන වසරේ තරගාවලිය අවලංගු කිරීමට ද ඔවුන් තීරණය කර ඇත.

තරගාවලිය 2022 මාර්තු 06 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කළ බව දැනුවත් කරමින් එහි ප්‍රධාන අධ්‍යක්ෂක Tadaaki Hayano ප්‍රකාශ කළේ,

“තරගකරුවන්, ස්වේච්ඡා සේවකයන් ඇතුළු තරගයට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගෙන් පමණක් නොව, මේ තරගය පැවැත්වෙනතුරු බලා සිටි සැමගෙන්ම මම සමාව ඉල්ලා සිටිනවා. මෙයට සම්බන්ධ වන සියලූම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් අපිට මේ තීරණය ගන්න වෙනවා”.

කොරෝනා වසංගතය නිසාවෙන් ටෝකියෝ මැරතන් තරගයට බලපෑම් එල්ල වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේ අදියර ද කොරෝනා වසංගතය නිසාවෙන් සුපිරි කාණ්ඩයේ ක්‍රීඩකයන්ට පමණක් සීමා කර පැවැත්වීමට ඔවුන්ට සිදු වුනා.

ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍ර කරමින් කොරෝනා වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම නිසා නගරය තුළ හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට බලධාරීන් කටයුතු කළ අතර වසංගත තත්වය යටතේ පැවැත්වූ ඔලිම්පික් උළෙලට ද එරට ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වුනා.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<