රාජකීයයෝ දෙවන අර්ධයේ දී සත්කාරකයින් අසරණ කරති

861

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අටවැනි තරගය අද (18) මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති අතර ලකුණු 13-55ක් ලෙස පහසුවෙන් තරගය ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.

තියුණු තරගයක පෙරනිමිති පෙන්වමින් තරගයේ දෙවන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට රාජකීය විද්‍යාලයේ දුලාන් ගුණවර්ධන සමත් විය. (රාජකීය 03-00 අන්තෝනි)

අනතුරුව කණ්ඩයම් දෙකම කරට කර සටනකට අවතීර්ණ වූ අතර සාන්ත අන්තෝනි විද්‍යාලයේ පසුපෙළ බිඳ දමමින් රාජකීය විද්‍යාලයේ නායක ෆෙරෝස් සාබිත් 10 වැනි මිනිත්තුවේ දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය ද අලංකාර ලෙස සාර්ථක කර ගැනීමට සමත් විය. (රාජකීය 10-00 අන්තෝනි)

රාජකීය කණ්ඩයමේ ප්‍රධානතම ආයුධය වූ ඔවුන්ගේ ඉදිරිපෙළ යොදා ගනිමින් අන්තෝනි ඉදිරිපෙළ මර්දනය කරමින් 22 වැනි මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් විය. කෞශල්‍ය එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර දුලාන් ගුණවර්ධන හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (රාජකීය 15-00 අන්තෝනි)

සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් 24 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට මොහොමඩ් මකාරීම් සමත් විය. (රාජකීය 15-03 අන්තෝනි)

ඒ සමඟ නව ජීවයක් ලද සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ රාජකීය අර්ධය ආක්‍රමණය කරමින් ප්‍රබල ක්‍රීඩා රටාවකට අවතීර්ණ වූ අතර ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරමින් 32 වැනි මිනිත්තුවේ දී සාන්ත අන්තෝනි නායක කාවින්ද අමරකෝන් සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මොහොමඩ් මකාරීම් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (රාජකීය 15-10 අන්තෝනි)

දිගින් දිගටම රාජකීයයන්ට දැඩි පීඩනයක් එල්ල කළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ පළමු අර්ධයේ අවසාන මිනිත්තුවේ වාර්තා කළ දඬුවම් පහරක් මගින් ලකුණු පරතරය අවම කිරීමට සමත් විය. මොහොමඩ් මකාරීම් එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් විය. (රාජකීය 15-13 අන්තෝනි)

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 15-13 සාන්ත අන්තෝනි විද්‍යාලය

තරගය සම්පූර්ණයෙන්ම තමන්ගේ ග්‍රහණයට ගනිමින් රාජකීය ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ දී උත්සාහක දිනුම් 6ක් වාර්තා කිරීමට සමත් වූ අතර සාන්ත අන්තෝනි විද්‍යාලයට එකදු ලකුණක් හෝ රැස්කර ගැනීමට රාජකීය ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැත.

තරගයේ 37 හා 41 වැනි මිනිත්තුවල දී රාජකීය ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් වූ අතර ජනිදු දිල්ශාන් (රාජකීය 22-13 අන්තෝනි) හා නායක සාබිත් ෆෙරෝස් (රාජකීය 29-13 අන්තෝනි) පිළිවෙළින් එම උත්සාහක දිනුම්වලට හිමිකම් කියන ලදි. දුලාන් ගුණවර්ධන එම උත්සාහක දිනුම් ද්විත්වයම සාර්ථකව ප්‍රවර්තනය කිරීමට සමත් විය.

කන්ද උඩරට ක්‍රීඩකයෝ විලියම් ගොපල්ලව පළිහ ගෙදර රැගෙන යති

විලියම් ගොපල්ලව අනුස්මරණ පළිහ වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයත්, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයත්

අනතුරුව ක්‍රියාත්මක වූ රාජකීය ඉදිරිපෙළ, 51 වැනි මිනිත්තුවේ දී සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් මර්දනය කරමින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (රාජකීය 36-13 අන්තෝනි).

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට කිසිදු විවේකයක් නොදුන් රාජකීය ක්‍රීඩකයෝ 56 වැනි මිනිත්තුවේ දී හා 61 වැනි මිනිත්තුවේ දී නැවතත් උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් විය. කෙටි කාලපරාසයක් තුල දී වාර්තා වූ එම උත්සාහක දිනුම් දෙකට පිළිවෙළින් තුලේයිබ් හසන් (රාජකීය 43-13 අන්තෝනි) හා ජනිදු දිල්ෂාන් (රාජකීය 48-13 අන්තෝනි) හිමිකම් කියන ලදි. දුලාන් ගුණවර්ධන එයින් පළමු උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට සමත්වුවද, අනෙක් උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට සමත් වූයේ නැත.

ලකුණු පනහේ සීමාව ඉක්මවා යාමට දැඩි උවමනාවක් පෙන්නුම් කළ රාජකීය ක්‍රීඩකයෝ තරගයේ 70 වැනි මිනිත්තුවේ දී සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් විය. දිනය පුරා විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ රාජකීය කණ්ඩයමේ ’Hooker’ ස්ථානයේ ක්‍රීඩා කරන කෞශල්‍ය එම උත්සාහක දිනුම හිමි කර ගත් අතර මලීෂ පෙරේරා එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (රාජකීය 55-13 අන්තෝනි)

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 55 (8T,6C,1P) -13 (1T,1C,2P) සාන්ත අන්තෝනි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: රාජකීය විද්‍යාලයේ ජනිදු දිල්ශාන්

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්:

කොළඹ රාජකීය විද්‍යාලය: දුලාන් ගුණවර්ධන (5C), මලීෂ පෙරේරා (1C), තුලේයිබ් හසන් (1T), ජනිදු දිල්ශාන් (2T), ෆෙරෝස් සාබිත් (2T), කෞශල්‍ය (2T)

සාන්ත අන්තෝනී විද්‍යාලය: මොහොමඩ් මකාරීම් (2P,1C), කාවින්ද අමරකෝන් (1T)

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<