සාලින්දගේ වැයම ගැස්සෙයි; තරගය සමව නිමා වේ

171

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ තරග සඳහා තවත් සති දෙකක කාලයක් පමණක් ඉතිරිව තිබිය දී තවත් එක් සති අන්තයක ආරම්භය අද දිනයේ දී (09) සනිටුහන් වූයේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී සත්කාරක යුධ හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර පැවැත්වූ තරගයත් සමඟින්ය.

කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වෙමින් ජයග්‍රහණය සොරා ගැනීමට වෑයම් කළ ද 24-24ක් ලෙසින් ලකුණු තත්වය සමවීම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

යොවුන් CR ක්‍රීඩකයින් හමුවේ මහනුවර ගෞරවය නූලෙන් බේරේ

ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ තවත් ඉතා වැදගත් තරගයක් අද (9) පැවැත්වුණේ ප්‍රබල මහනුවර ක්‍රීඩා…

මෙම කණ්ඩායම් ද්විත්වය පළමු වටයේ දී එකිනෙකා මුණ ගැසුණු අවස්ථාවේ දී සිය ආධිපත්‍යය පොලිස් පිටිය සිසාරා පතුරවාලූ සත්කාරක  පොලිස් කණ්ඩායමට එම තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට හැකි වූ අතර තමන්ට අත්කර දුන් වේදනාකාරී පරාජයේ වාඩුව කෙසේ හෝ යලි ලබා ගැනීමේ අරමුණින් සත්කාරක වාසිය ද සහිතව යුධ හමුදා පිල අද දිනයේ දී තරගයට පිවිසුණි.

වැහිබර කාලගුණ තත්වයක් යටතේ ප. ව. 4.00ට යුධ හමුදා ක්‍රීඩක ගයාන් සාලින්දගේ පා පහරින් ආරම්භ වූ තරගයේ මුල් මිනිත්තු 5ක් තුල දී යුධ හමුදා පිල ආක්‍රමණශීලී ක්‍රීඩා රාටාවක නියැලෙමින් පොලිස් කණ්ඩායම අස්ථාවර කිරීමට උත්සහයන් කිහිපයක්ම දැරූ අතර පොලිස් කණ්ඩායම යුධ උපක්‍රම හමුවේ තරමක පසුගාමී ක්‍රීඩා විලාශයකින් තරග වඳිනු දක්නට ලැබීය.

ඒ ඇවෑමෙන් පොලිස් ආරක්ෂක වළලු බිඳ දමමින් ඉදිරියට ඇඳුණු ෆීජී ජාතික සොස්විටා බොයිලා යුධ හමුදාව වෙනුවෙන් තරගයේ ප්‍රථම උත්සාහක දිනුම හිමිකර දීමට සමත් වූයේ යුධ හමුදාවේ ස්ථාවරය පිළිබඳ පොලිස් කණ්ඩායමට පැහැදිලි පණිවිඩයක් ලබා දෙමිනි. එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගැනීමට අත්දැකීම් බහුල ගායාන් සාලින්ද අපොහොසත් විය. (යුධ 05-00 පොලිස්)

යුධ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට වැඩි වේලාවක් නොගත් පොලිස් භටයින් ඔවුන්ගේ ලකුණු පුවරුවට ජීවය ලබා දුන්නේ ලහිරු පවිත්‍ර විසින් හිමිකර දුන් අලංකාර උත්සාහක දිනුමත් සමඟින්ය. එහි අමතර ලකුණු යුගලය පොලිස් ගිණුමට බැර කිරීමට සචිත් සිල්වා සමත් විය. (යුධ 05-07 පොලිස්)

රග්බි පිටියට වෙනසක් ගේන මොකක්ද මේ සුපිරි වටය?

සුවහසක් වූ ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාලෝලීන් මහත් උනන්දුවකින් සහ ඇල්මකින් සෑම වර්ෂයක් පාසාම දැඩි කුතුහලයකින් යුතුව නෙත් යොමා බලා සිටින ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලිය….

ඉන්පසු එළඹුණු කාලසීමාව තුල දී කණ්ඩායම් දෙකම ඉතා අලස ක්‍රීඩා රටාවක් දියත් කිරීම නිසාවෙන් කිසිදු කණ්ඩායමකට පන්දුවේ ග්‍රහණය නිසියාකාරව තම පාලනය යටතේ තබා ගැනීමට නොහැකි විය.

පන්දුව දිනා ගැනීම සඳහා මධ්‍ය රේඛාව අසල බොහෝ වේලාවක් සටන් වැඳී දෙපිලේම ක්‍රීඩකයින් අතින් තරගයේ පාලනය තමන් සතු කරගැනීම සඳහා පහසු අවස්ථාවන් කිහිපයක්ම උදා වූවත් සිදු වූ අතපසු වීම් නිසා ඒ සෑම ලකුණු රැස් කිරීමේ අවස්ථාවක්ම අවාසනාවන්ත ලෙස ඔවුන් අතින් ගිලිහි යනු දක්නට ලැබුණි.

ඒ අතරින් යුධ හමුදා පිල පොලිස් අර්ධය තුල බොහෝ වේලාවක් පන්දුව රඳවා ගනිමින් ලකුණු රැස්කිරීම සඳහා දැඩි වෙහෙසක් ගත් නමුත් නිවැරදි රිද්මයක් නොමැති වීම නිසාවෙන් ඔවුන්ට එයින් නිසි ඵල නෙලා ගැනීමට නොහැකි විය.

තත්වය එසේ පැවතිය දී පළමු අර්ධය නිමා වීමට මිනිත්තු 3ක පමණ කාලයක් ඉතිරිව තිබිය දී කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක උත්සාහක දිනුමක් සිය නමින් සටහන් කර ගැනීමට පොලිස් ක්‍රීඩක උදය සංජුල සමත් වීම කැපී පෙනුණි. සිය අලංකාර පාද චලනයන් යොදා ගනිමින් යුධ ආරක්ෂක සෙබළුන් දෙදෙනෙකු මඟ හරිමින් සිදු කළ වේගවත් ධාවනය සංජුල හට ධවල රේඛාව ඉක්මවා යාමට ප්‍රමාණවත් විය. එහි ප්‍රවර්තන ගෝලය නිසි අයුරින් ගෝල කණු අතරින් යොමු කිරීමට සචිත් සිල්වා අසමත් විය. (යුධ 05-12 පොලිස්)

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 05 (1T) – 12 (2T,1C) පොලිස් ක්‍රීඩා සමාජය

පළමු අර්ධයට සාපේක්ෂව දෙවන අර්ධය අතිශය තරගකාරී උණුසුම් මුහුණුවරක් ගනු ලැබූ අතර තරගය ආරම්භ වී විනාඩි දෙකක් සටහන් වීමටත් මත්තෙන් යළි ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩකයින් අපූර්ව උත්සාහක දිනුමක් පිටියේ වම්පස අන්තයෙන් වාර්තා කළේ ඉදිරි පෙළ ක්‍රීඩකයින්ගේ මනා පන්දු පාලනය උපයෝගී කරගනිමිනි. උත්සාහක දිනුම වාර්තා කිරීමේ ගෞරවය පොලිස් ක්‍රීඩක උදය සංජුල වෙත හිමි වූ අතර දෙවන වතාවටත් සචිත් සිල්වා හට ප්‍රවර්තන ගෝලය මඟහැරී යාම කැපී පෙණුනි. (යුධ 05-පොලිස් 17)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අධිෂ්ඨානශීලී යුධ හමුදා ක්‍රීඩකයින් නැවත වතාවක් සිය සුපුරුදු ආක්‍රමණශීලී තරග රටාවට අවතීර්ණ වූයේ ඔවුන් විසින් තරගය තුල වාර්තා කළ දෙවන උත්සාහක දිනුමට මඟ පාදමිනි. අශාන් බණ්ඩාර පොලිස් ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් සම්පූර්ණයෙන් මුලා කරමින් ඉදිරියට ඇඳුණු අතර ඔහු විසින් යොමු කළ පන්දුව සුරක්ෂිතව රැකගත් අශෝක ජයලාල් ගෝල කණු අතරින් උත්සාහක දිනුම් රේඛාව පසුකර යාමට සමත් විය. ලැබුණු පහසු ප්‍රවර්තන උත්සහය ගෝල කණු අතරින් පා කර හැරීමට ගයාන් සාලින්ද වගබලා ගත්තේය. (යුධ 12-17 පොලිස්)

51 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩක වගීෂ වීරසිංහ සහ යුධ හමුදා ක්‍රීඩක සුධාරක දික්කුඹුර අතර ඇතිවූ බහින් බස් වීමක් නිසාවෙන් දෙදෙනාටම කහ කඩ්පතක් ලබා දීමට විනිසුරු ප්‍රියන්ත ගුණරත්න මහතා කටයුතු කළේය.

රග්බි පිටියට වෙනසක් ගේන මොකක්ද මේ සුපිරි වටය?

සුවහසක් වූ ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාලෝලීන් මහත් උනන්දුවකින් සහ ඇල්මකින් සෑම වර්ෂයක් පාසාම දැඩි කුතුහලයකින් යුතුව නෙත් යොමා බලා සිටින ඩයලොග්…

එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් උපායශීලී පොලිස් ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමකින් යුධ සෙබළුන් හට සංග්‍රහ කළේ පහරට නිසි ප්‍රතිපහර එල්ල කරන සැටි යුධ සෙබළුන් හට මතක් කරදෙමිනි. එවර පොලිස් පිල වෙනුවෙන් ක්‍රියාත්මක වූයේ සිල්වා සහෝදර සුසංයෝගය වන අතර බාල සොහොයුරු සචිත් සිල්වා උත්සාහක දිනුමේ අයිතිකරුවා බවට පත් විය. එහි අමතර ලකුණු එකතු කිරීමේ කාර්‍ය යොහාන් පීරිස් විසින් නිසි පරිදි ඉටු කළේය. (යුධ 12-24 පොලිස්)

තරගයේ දිශානතිය පොලිස් පිල වෙත යොමුව තිබූ මොහොතක සියල්ල උඩු යටිකුරු කරමිනි යළිත් වතාවක් නැඟී සිටි යුධ සෙබළුන් පොලිස් ආරක්ෂක බැමිවලට දැඩි තර්ජනයක් එල්ල කරමින් තීරණාත්මක උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළේ උණුසුම් අවසානයක ආශ්වාදය ප්‍රේක්ෂකයන් හට ළංකර දෙමිනි.

එයින් පළමු උත්සාහක දිනුම වාර්තා වූයේ යුධ සෙබළ මනෝජ් බණ්ඩාරගේ සුරතින් වන අතර ගයාන් සාලින්ද එහි ප්‍රවර්තන කාර්‍යභාරය ඉටු කරන ලදි. (යුධ 19-24 පොලිස්)

තරගය නිමා වීමට තත්පර කිහිපයක් ඉතිරිව තිබිය දී යුධ ක්‍රීඩක සමීර බුලත්සිංහල පොලිස් උත්සාහක දිනුම පෙදෙස ආක්‍රමණය කළේ පැමිණ සිටි ආධාරකරුවන්ගේ ඔල්වරසන් නද මධ්‍යයේය. ඒ අනුව කණ්ඩායම් දෙකේම ලකුණු තත්වය සම වූ අතර තරගයේ ඉරණම සම්පූර්ණයෙන් රැඳී තිබුණේ ගයාන් සාලින්ද වෙත ලැබුණු ප්‍රවර්තන උත්සහය මතයි. පිටියේ වම්පස කෙළවරින් ලැබුණු එම අසීරු අවස්ථාව සාර්ථක කර ගැනීමට ගයාන් සාලින්දගේ උත්සහය ප්‍රමාණවත් නොවූ නිසාවෙන් දෙපිලටම ජය පරාජයෙන් තොරව නිමා වූ තරගයකින් සෑහීමකට පත් වීමට සිදු විය. (යුධ 24 – 24 පොලිස්)

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 24 (4T,2C) – 24 (4T,2C) පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – සචිත් සිල්වා(පොලිස් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

පොලිස් ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – ලහිරු පවිත්‍ර 1, උදය සංජුල 2, සචිත් සිල්වා 1
  • ප්‍රවර්තන ගෝල – සචිත් සිල්වා 1, යොහාන් පීරිස් 1

යුධ හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – සොසිවිටා බොයිලා 1, අශෝක ජයලාල් 1, කසුන් මධුරංග 1, සමීර බුලත්සිංහල 1
  • ප්‍රවර්තන ගෝල – ගයාන් සාලින්ද 2

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<