යුද ප්‍රහාරයෙන් ගුවන් බලඝණය වැලිසර දී අනතුරට

187

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සති අන්තයේ තවත් තරගයක් ඊයේ (2) යුධ හමුදා ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වුනා. පෙරළිකාර යුධ හමුදාවට තවත් ජයක් හිමි කර දෙමින් තරගය අවසන් වුණේ ලකුණු 27-15ක් ලෙසයි. තරගය පැවැත්වුණේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දීයි.

මහනුවර අභිමානය නැවතත් බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ පස්වැනි…

යුධ හමුදාව පසුගිය සති අන්තයේ දී CR&FC ක්‍රීඩා සමාජය හමුවේ දරුණු ලෙස පරාජයට පත් වූ අතර ගුවන් හමුදාව සුපුරුදු පරාජිත රිද්මය පවත්වා ගනිමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත්විය.

යුධ හමුදාව පළමු අර්ධයේ දී ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර පළමු මිනිත්තු 26 තුල දී ඔවුන් ලකුණු 17ක්ම රැස්කර ගත්තේ තරගයට හොඳ ආරම්භයක් ලබා ගනිමින්.

ගයාන් සාලින්ද හට ආරම්භයේ දී ම ලැබුණු දඬුවම් පහරක් මග හැරුණු නමුත් ඊට මිනිත්තු කිහිපයකට පසු දිලීප නිරෝෂන තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ ගුවන් ආරක්ෂක වළලු බිඳ හෙලමිනි. ගයාන් ඉතා ඉක්මනින් තම වරද නිවැරදි කර ගනිමින් අමතර ලකුණු එකතු කිරීමට සමත් වුනා. (යුධ 07-00 ගුවන්)

ගයාන් සාලින්ද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් වූ අතර ඊට මිනිත්තු 10කට පසු රසික අබේනායක දෙවන යුධ හමුදා උත්සාහක දිනුම වාර්තා කළේ ගුවන් හමුදා අතපසුවීමකින් උපරිම ප්‍රයෝජන ගනිමින්. ගයාන් සාලින්ද අලංකාර ලෙස අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ ගුවන් හමුදාවට ගැටලු රැසකට ඇද දමමින්. (යුධ 17-00 ගුවන්)

ගුවන් හමුදාව පළමු උත්සාහක දිනුම වාර්තා කළේ සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ ප්‍රබල උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. පරාක්‍රම රත්නායක Rolling Maul අවස්ථාවක සිට ඉදිරියට යමින් ලකුණු රැස් කළ අතර ගයන්ත ඉද්දමල්ගොඩ හට අමතර ලකුණු එකතු කිරීමට හැකියාවක් ලැබුණේ නැත. (යුධ 17-05 ගුවන්)

තරග ආරම්භයෙන් මිනිත්තු තිහක් ගත වෙද්දී ධනුෂ්ක තල්වත්ත ලකුණු රැස් කළේ ගුවන් හමුදා ආරක්ෂක වළලු බිඳ හෙළමින්. ගයාන් අමතර ලකුණු ද එකතු කළේ යුධ හමුදා පෙරමුණ තවත් ඉදිරියට රැගෙන යමින්. (යුධ 24-05 ගුවන්)

පළමු අර්ධය අවසානයට පෙර ක්‍රියාත්මක වූ නිරෝෂන් රත්නායක ගුවන් සෙබළු වෙනුවෙන් තවත් එක් උත්සාහක දිනුමක් වාර්තා කළේ ඔවුන් පත්ව සිටි අර්බුදයෙන් යම්තාක් කණ්ඩායම ගොඩ ගනිමින්.

තරින්ද රත්වත්ත නැවත වතාවක් නාවික හමුදාවට හිසරදයක් වෙයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත්…..

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 24 (3T, 3C, 1P) – 10 (2T) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයට ගුවන් හමුදා ක්‍රීඩකයින් සුපිරි ආරම්භයක් ලබා ගත්තේ පරාක්‍රම රත්නායක සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කිරීම සමඟයි. ඉද්දමල්ගොඩගේ පා පහරවල් දිනය පුරා එතරම් සාර්ථක නොවුණු අතර එහි ප්‍රවර්තනයත් අපතේ ගියේ අවාසනාවන්ත ලෙසයි. (යුධ 24-15 ගුවන්)

තමන්ට ලැබුණු අවස්ථා 6න් පා පහරවල් 5ක්ම සාර්ථක කර ගනිමින් ගයාන් සාලින්ද යුධ හමුදාවේ පෙරමුණ තවත් ඉදිරියට ගෙන ගියේ ගුවන් ක්‍රීඩකයින්ට කිසිදු අවස්ථාවක් නොදෙමින්. (යුධ 27-15 ගුවන්)

අවසන් මිනිත්තු කිහිපයේ දී ගුවන් ක්‍රීඩකයින් සිය ගෞරවය වෙනුවෙන් සටනක නිරත වුනත් යුධ හමුදා ප්‍රතිරෝධය හමුවේ ඔවුන්ට හිස් අතින් යලි රත්මලානට යෑමට සිදු විය.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 27 (3T, 3C, 2P) – 15 (3T) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – අශාන් බණ්ඩාර (යුධ හමුදා)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – දිලීප නිරෝෂන් (1T), රසික අබේනායක (1T), ධනුෂ්ක තල්වත්ත (1T), ගයාන් සාලින්ද (3C, 2P)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – පරාක්‍රම රත්නායක (2T), නිරෝෂන් රත්නායක (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<