පෙරළිකාර යුධ හමුදාවට CR&FC අර්ධ ශතකයකින් සංග්‍රහ කරයි

495

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් විශේෂ තරගයක් අද (26) CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ පෙරළිකාර යුධ හමුදා ක්‍රීඩා සමාජය හා CR&FC කණ්ඩායම අතරයි. එහි දී තියුණු සටනකට පසු ලකුණු 53-33ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට CR&FC ක්‍රීඩා සමාජ සමත් විය.

පෙරළිකාර යුධ හමුදාව නාවික හමුදාවත් බිම හෙළයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් ….

යුධ හමුදා ක්‍රීඩා සමාජය මෙවර තරගවාරයේ පෙරළිකාරම කණ්ඩායම බවට පත් වී සිටියේ මහනුවර ක්‍රීඩා සමාජය, CH&FC ක්‍රීඩා සමාජය මෙන්ම නාවික හමුදා කණ්ඩායම ද පරාජය කරමින් වුවත් ඔවුන්ට මතක හිටින පරාජයක් උරුම කර දෙන්නට පරාජයන් හා අර්බුද ගොන්න මැදින් නැවත නැගී සිටි CR&FC ක්‍රීඩකයෝ සමත් වූහ.

CR&FC ක්‍රීඩක සිවරාජ්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර තරගයේ පළමු මිනිත්තුවේ දී ම සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රීසා රෆයිඩීන් සමත් වූයේ යුධ හමුදා ක්‍රීඩකයින් අන්දමන්ද කරමිනි. Scrum අවස්ථාවක සිට පන්දුව ලබාගත් CR ක්‍රීඩකයින්ගේ අනගි පන්දු හුවමාරු වීම් කිහිපයකට පසුව එම උත්සාහක දිනුම වාර්තා විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නම් ඔහුට හැකියාව ලැබුණේ නැත. (CR 05-00 යුධ)

CR ප්‍රහාරයෙන් මිනිත්තු පහක් ගතවෙද්දී යුධ හමුදා ක්‍රීඩකයින් ක්‍රියාත්මක වූයේ Scrum අවස්ථාවකින් පන්දුව ලබාගෙන මිනිත්තු කිහිපයක අනගි උත්සහයකින් පසුවයි. යුධ හමුදා ක්‍රීඩක සුධාරක දික්කුඹුර ඒ අවස්ථාවේ දී ක්‍රියාත්මක වූයේ පිටියේ කොනෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමි‍නි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැත. (CR 05-00 යුධ)

ද්වන්ද සටනක් ආරම්භ කරමින් චමෝද් ප්‍රනාන්දු 12 වැනි මිනිත්තුවේ දී CR&FC වෙනුවෙන් නැවතත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ නැවත වරක් යුධ හමුදා ආරක්ෂක වළලු බිඳ හෙලමිනි. CR Wing ක්‍රීඩකයා යුධ හමුදාවේ සිය ප්‍රතිවාදියා බිම හෙළා ඉදිරියට දිවගොස් පන්දුව චමෝද් වෙත භාර කරද්දී ඔහු ලකුණු රැස් කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනයත් රීසා සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (CR 10-05 යුධ)

රග්බි ක්‍රීඩකයෙකුට සහ භෞත චිකිත්සක වරයෙකුට වැඩ වරදී

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු ඉෂාන් කරුණාතිලක සහ මහනුවර ක්‍රීඩා…..

මිනිත්තු කිහිපයක් තුළ තරගය තමන් දෙසට හරවා ගනිමින් 12 වැනි මිනිත්තුවේ දී හා 17 වන මිනිත්තුවේ දී CR ක්‍රීඩකයින් දෙවරක්ම උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ තරගයේ පෙරමුණ ගනිමිනි. පළමුව චමෝද් ප්‍රනාන්දු අනර්ඝ උත්සාහක දිනුමක් සඳහා ධවල රේඛාව ඉක්මවා ගිය අතර රීසා රෆයිඩීන් සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ යුධ හමුදා ක්‍රීඩකයන් සිව් දෙනෙක් බිම හෙලා දිව යමිනි. ඉන් පළමු ප්‍රවර්තනය අසාර්ථක වුනත් දෙවැන්න සාර්ථක කර ගැනීමට සිවරාජ් සමත් වුණේ CR කණ්ඩායම ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ කරමින්. (CR 17-05 යුධ)

පෙර තරගවල මෙන් නොව මේ තරගයේ දී සිය පසුපෙළ මනා ලෙස භාවිතා කළ CR&FC කණ්ඩායම 25 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූයේ කෙවින් ඩික්සන්ගේ දක්ෂ ධාවනයක් සමඟිනි. අලංකාර පාද චලනයන් කිහිපයකින් යුද හමුදා ක්‍රීඩකයින් මුලා කළ ඔහු ලකුණු රැස් කරද්දී සිවරාජ් පහසුවෙන් අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (CR 24-05 යුධ)

ඩික්සන්ගේ පාද චලනයන්ට අනර්ඝ පිළිතුරක් ලබා දුන් සුධාරක දික්කුඹුර එවැනිම දක්ෂ පාද චලනයන් කිහිපයක් සමඟින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ CR පසුපෙළ සම්පූර්ණයෙන් නොමඟ යවමිනි. ඉසුරු මැදගෙදර මෙවර අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ යුධ හමුදා ක්‍රීඩකයින් දිගටම තරගයේ රඳවා  ගනිමිනි. (CR 24-12 යුධ)

විදුලි වේගයෙන් ඇදී ගිය තරගය ප්‍රේක්ෂකයින්ට කිසිදු විරාමයක් ලබා නොදුන් අතර 34 වැනි මිනිත්තුවේ දී ධනුෂ්ක තලවත්ත තවත් දක්ෂ පාද චලනයන් කිහිපයක් සමඟින් ධවල රේඛාව ඉක්මවා ගියේ CR කණ්ඩායමට යළි සංවිධාන වීමට වත් ඉඩ ඉතිරි නොකරමිනි. ඉසුරු මැදගෙදර පහසුවෙන් පන්දුව ගෝල කණු අතරින් යවන්නට සමත් විය. (CR 24-19 යුධ)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

CR කණ්ඩායම වෙනුවෙන් මෙවර ප්‍රහාරයට පිවිසුණේ ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් ය. පළමු අර්ධයේ අවසානයට පෙර ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් පසුපෙළ ක්‍රීඩකයින් මෙන්ම පන්දුව සමඟ දක්ෂ ධාවනයක නිරත වූ අතර ජොඑල් පෙරේරා අවසන් මිනිත්තුවේදීත් තවත් ලකුණු එකතු කළේ CR කණ්ඩායම ලකුණු 30 සීමාවට ආසන්න කරමිනි. සිවරාජ් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (CR 31-19 යුධ)

පළමු අර්ධය: CR&FC කණ්ඩායම 31 (5T, 3C) – 19 (3T, 2C) යුධ හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ ආරම්භයත් සමඟින් තරගය තරමක් මන්දගාමී වූ අතර දෙවන අර්ධයේ පළමුවෙන් ලකුණු රැස් කළේ CR&FC ක්‍රීඩා සමාජයයි. ඔමල්ක ගුණරත්න දෙවන අර්ධයේ පළමු වෙඩි මුරය තැබූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (CR 36-19 යුධ)

59 වැනි මිනිත්තුවේ දී CR&FC කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර සුපුරුදු ලෙස තරින්ද රත්වත්ත අලංකාර ලෙස ලකුණු රැස් කළේ මීටර 40ක පමණ දුර සිටයි. (CR 39-19 යුධ)

CH එල්ල කළ අභියෝගය හමුවේ CR නිරුත්තර වෙයි

2018/19 ඩයලොග්’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ…..

තරමක් මන්දගාමී වූ තරගය ක්‍රම ක්‍රමයෙන් තමන් සතු කර ගැනීමට CR ක්‍රීඩකයින් සමත් වූයේ යුධ හමුදා අතපසුවීම් වලින් මනා ප්‍රයෝජන ගනිමිනි.

61 වැනි මිනිත්තුවේ දී ගැමුණු චේතිය සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළේ කෙවින් ඩික්සන්ගේ දක්ෂ පන්දු යොමු කිරීමක් උපයෝගී කර ගනිමිනි. වේගවත් ධාවනයක් සමඟින් ගැමුණු දක්ෂ ලෙස උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර තරින්ද අපහසු ප්‍රවර්තනයක් දක්ෂ ලෙස සාර්ථක කර ගැනීමට සමත් විය. (CR 46-19 යුධ)

සිය ගෞරවය බේරා ගැනීමේ සටනක නිරත වූ යුධ හමුදා ක්‍රීඩකයින් 19 වැනි මිනිත්තුවේ දී සිය ඉදිරිපෙළ යොදා ගනිමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එම උත්සාහක දිනුම වාර්තා කළේ නලාන් ප්‍රේමනාත් විසිනි. ගයාන් සාලින්ද අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (CR 46-26 යුධ)

76 වැනි මිනිත්තුවේ දී චමීර සිල්වා යුධ හමුදාව වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ගයාන් සාලින්ද එම අවස්ථාවත් ප්‍රවර්තනය කිරීමට සමත් විය. (CR 46-33 යුධ)

පළමු මිනිත්තුවේ සිටම සාර්ථක වූ තරගය අතිසාර්ථකව අවසන් කරමින් තරින්ද රත්වත්ත 80 වැනි මිනිත්තුවේ දී රීසා රෆයිඩීන්ගේ අලංකාර ධාවනයක් උපයෝගී කර ගනිමින් CR කණ්ඩායම ලකුණු 50 සීමාවෙන් එපිටට රැගෙන ගියේ යුධ හමුදා ක්‍රීඩකයින් අසරණ කරමිනි. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදි.

අවසන් ලකුණු තත්වය: CR&FC කණ්ඩායම 53 (8T, 5C, 1P) – 33 (5T, 4C) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – කෙවින් ඩික්සන් (CR)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

CR&FC – රීසා රෆයිඩීන් (2T), කෙවින් ඩික්සන් (1T), තරින්ද රත්වත්ත (1T, 2C, 1P), ගැමුණු චේතිය (1T), චමෝද් ප්‍රනාන්දු (1T), ඔමල්ක ගුණරත්න (1T), සිවරාජ් (3C)

යුධ හමුදාව – සුධාරක දික්කුඹුර (2T), ඉසුරු මැදගෙදර (2C),  ධනුෂ්ක තලවත්ත (1T), චමීර සිල්වා (1T), නලාන් ප්‍රේමනාත් (1T), ගයාන් සාලින්ද (2T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<