යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ නව තරග වාර්තා 16ක්

561
Army Para Games 2016
යුද හමුදා පැරා ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීම අංශයෙන් වාර්තාවක් පිහිටවූ කේ.ඩබ්.එම්.අජිත්

15 වන ශ්‍රී ලංකා යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය අද (13) සාර්ථකව නිමාවට පත්විය. එහිදි නව තරගාවලි වාර්තා 16කින් වාර්තා පොත් අලුත් කරන්නට යුද හමුදා ක්‍රීඩකයින් අදත් සමත් වීම කැපි පෙනෙන සිදුවීමක් විය.

පසුගිය ලිපි: යුධ හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භය

ඊයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේදී යුධ හමුදා පැරා ක්‍රීඩා සංගමයේ ජේෂ්ඨතම ක්‍රීඩා භාර නිලධාරී බ්‍රිගේඩියර් පෙරමුණගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ආරම්භය සිදුවූ අතර ඉතා උෂ්ණාධික කාළගුණ තත්වයක් හා ක්‍රීඩාංගනයේ පවතින අපහසුතා මධ්‍යයේ පවා ක්‍රීඩකයින් ඉතා උදයෝගයකින් යුතුව තරග වදින ආකාරයත් ඒ සදහා තරගාවලියේ සංවිධායක කමිටුව විසින් මනා සහයක් ඔවුන් වෙත ලබා දෙනන ආකාරයත් දක්නට ලැබුනි.

තරගාවලිය තුල අද නව තරග වාර්තා 16ක් හා ඊයේ දිනයේදී නව තරග වාර්තා 10ක් පිහිටුවනු ලැබූ අතර ගතවූ දෙදින තුළ නව තරගාවලි වාර්තා 26කින් බිහිවූ යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය ලෙසින් මෙම තරගාවලිය වාර්තා පොත් අලුත් කරන්නට ද සමත් වීම විශේෂත්වයකි.

අද දිනය තුළදී දුර පැනීම, මීටර 100, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම, මීටර 200, උස පැනීම, මීටර 800, තුන්පිම්ම, හෙල්ල විසි කිරීම යන ඉසව් වලින් වාර්තා පොත් අලුත් කරන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූවා.

“ඇත්තටම මේ වගේ තරගාවලියක් කරන එක අපි වගේ ආබාධිත රණවිරුවන්ට ලොකු ධෛර්යයක්. මේ විදියට ක්‍රීඩා කරද්දී අපේ මනසට විශාල සැහැල්ලුවක් දැනෙනවා. අද මේ විදියට තරගාවලි වාර්තා දෙකක් අලුත් කරන්න ලැබුන එක ගැන මට සතුටුයි. මගේ එකම බලපොරොත්තුව ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වීම. මන් බලාපොරොත්තු වෙනවා කවපෙත්ත හා යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් රටට කීර්තියක් ගෙන ඒමට මට හැකියාවක් ලැබෙයි කියලා.” යැයි අද දින කවපෙත්ත හා යගුලිය විසිකිරීම ඉසව් තුළින් නව තරගාවලි වාර්තා තැබූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව නියෝජනය කළ ක්‍රීඩක සාමන්‍ය සෙබළ බණ්ඩාර විසින් ThePapare.com වෙත ප්‍රකාශ කරන ලදී.

“යුධ හමුදා රෝහලේ සිටි රණවිරුවන් හා රණවිරු සෙවණේ රණවිරුවන්ගේ මානසික හා කායික සුවය වර්ධනය කරවීම මේ තරගාවලිය තුළින් සිදු වෙනවා. මේ ආකාරයෙන් තරග වාර්තා බිහි වීම මගින් අපට මේ රණවිරුවන්ගේ, ක්‍රීඩකයින්ගේ චිත්ත  ධෛර්යය කොපමණ ආකරයකින් වර්ධනය වී ඇති දැයි දැනගන්න පුලුවන්. අලුත් ක්‍රීඩකයෝ ඉදිරිපත් වෙලා තියනවා. අපිට පේනවා ඒ තුලින් 2020 පැරා ඔලිම්පික් තරගාවලියේදී අපට ලබා ගන්න පුළුවන් වන සාර්ථකත්වය ගැන.” යැයි යුද හමුදා පැරා ක්‍රීඩා සංගමයේ සභාපතී බ්‍රිගේඩියර් රජීව වික්‍රමසිංහ මහතා සදහන් කරනු ලැබීය.

අද දිනයේ තරගාවලියේ ප්‍රතිඵල සටහන පහත පරිදි වේ.

දුර පැනීම –

  • රන් පදක්කම -එන්. එච්. අරුණ දිනේශ් (ශ්‍රී ලංකා පාබල හමුදාව) – නව තරගාවලි වාර්තා (මීටර 5.07)
  • රිදී පදක්කම – ඒ. එම්. ගුණරත්න (ගජබා රෙජිමේන්තුව)
  • ලෝකඩ පදක්කම – ඒ. පී .එල්. වසන්ත (ගැමුණු හේවා බළකාය)

මීටර 100

  • රන් පදක්කම – ලාන්ස් කෝප්‍රල් එම්. ජී. ඩබ්. අබේදාස (විජයබා රෙජිමේන්තුව ) නව තරග වාර්තා (තත්.12.00)
  • රිදී පදක්කම -සාමාන්‍ය සෙබළ කේ. එම්. එස්. උදය කුමාර (විජයබා රෙජිමේන්තුව)
  • ලෝකඩ පදක්කම – සාමාන්‍ය සෙබළ ඩී. එම්. අජිත් (ගැමුණු හේවා බලකාය)

යගුලිය විසිකිරීම

  • රන් පදක්කම – සාමාන්‍ය සෙබළ එච්. බණ්ඩාර (ශ්‍රී ලංකා ජාතික ආරක්ශක බළකාය) නව තරග වාර්තා (මීටර 10.44)
  • රිදී පදක්කම – රයිෆල් සෙබළ එච්. එම්. පී. පුශ්ප කුමාර (සිංහ රෙජිමේන්තුව)
  • ලෝකඩ පදක්කම – රයිෆල් සෙබල ආර්. ඩ්බ්. පී. බණ්ඩාර (සිංහ රෙජිමේන්තුව)

මීටර 200

  • රන් පදක්කම – කෝප්‍රල් ජේ. ඊ. එම්. ටී. ජයකොඩි (විශේෂ බලකාය)
  • රිදී පදක්කම -ලාන්ස් කෝප්‍රල් ආර්. එම්. ජී. ආර්. රත්නායක (ශ්‍රී ලංකා පාබළ හමුදාව)
  • ලෝකඩ පදක්කම – කෝප්‍රල් එම්. ආර්. රත්නායක (විශේෂ බලකාය)

උස පැනීම

  • රන් පදක්කම – සාජන් එස්. එන්. සෙනෙවිරත්න (ගජබා රෙජිමේන්තුව)
  • රිදී පදක්කම – සාජන් ඩී. එස්. ජයසිංහ (ශ්‍රී ලංකා පාබල හමුදාව)
  • ලෝකඩ පදක්කම – කෝප්‍රල් එස්. එස්. බී. සමරසේකර (විජයබා බළකාය)

මීටර 800

  • රන් පදක්කම – කෝප්‍රල් ආර්. ඒ. ඩී. සී. සෝමසිරි (ශ්‍රී ලංකා පාබළ හමුදාව)
  • රිදී පදක්කම -බලලත් නිලධාරී ඩබ්. එම්. ජයතිලක බණ්ඩා (ගජබා රෙජිමේන්තුව)
  • ලෝකඩ පදක්කම -කෝප්‍රල් එච්. එම්. රත්නායක (ගජබා රෙජිමේන්තුව)

හෙල්ල විසිකිරීම

  • රන් පදක්කම – සාමාන්‍ය සෙබළ කේ. ඩබ්. එම්. අජිත් (ශ්‍රී ලංකා ජාතික ආරක්ශක බලකාය)
  • රිදී පදක්කම -සාජන් ප්‍රියන්කර (ශ්‍රී ලංකා පාබල හමුදාව)
  • ලෝකඩ පදක්කම – සාමාන්‍ය සෙබළ එච්. එම්. ටී. ගුණසේකර (ගජබා රෙජිමේන්තුව)

තරගාවලියේ තෙවන හා අවසාන දිනය හෙටයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට