අෆ්රිඩි – මාලිංග සටනේ අත්පුඩිය කාටද?

109

ටෙස්ට් හා එක්දින ක්‍රිකට් තරග මාලාවක නිමාවෙන් පසුව ශ්‍රී ලංකාව හා පාකිස්තානය අද සිට විස්සයි – 20 තරග මාලාවක් සඳහා කොළඹදී සටන් අරඹන අතර දෙරට අතර 13 වැනි විස්සයි – 20 තරගය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙදී ඇරැඹීමට නියමිතය.

තරග දෙකකින් යුත් මෙම තරග මාලාවෙන් ජය ගැනීම කණ්ඩායම් දෙකටම වැදගත් වුවද ටෙස්ට් හා එක් දින තරග මාලා දෙකෙන්ම ජය ගෙන වසර 9කට පසුව ශ්‍රී ලංකාව තුළදී කෙළින් සිටගත් පාකිස්තාන් කණ්ඩායම ඉදිරියේ තවදුරටත් දණ නොගැසීමට නම් අදින් ඇරැඹෙන විස්සයි – 20 තරග දෙකෙන්වත් ශ්‍රී ලංකාව වැඩි ගෞරව ලබා ගත යුතුය.

මෙතෙක් දෙරට අතර පවත්වා ඇති විස්සයි – 20 තරග 12න් 7කම ජය හිමි කරගෙන ඒ අතින් තවමත් පාකිස්තාන් පිල ඉදිරියෙන් සිටියද ශ්‍රී ලංකාව තුළදී ක්‍රීඩා කොට අති තරග 4න් තරග 2 බැගින් දෙපිලටම ජයග්‍රහණ ලැබී ඇත. ඒ අතින් බලන විට අද තරගයේදීත් ශ්‍රී ලංකා පිලට යම් මානසික වාසියක් තිබුණද එම වාසිය ලබා ගැනීමට නම් පාකිස්තානයට සාපේක්ෂව වැඩි නවකයන්ගෙන් ගහන ශ්‍රී ලංකා පිලට දැඩි මහන්සියක් ගන්නට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර 9 වැනි විස්සයි – 20 තරගාවලිය පැවැත්වෙන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා පිල නවකයන් පස් දෙනකු ඇතුළත් සංයුතියෙන් ප්‍රේමදාස පිටියට පිවිසෙන අතර පාකිස්තානය පැත්තෙන් එක්කරගෙන ඇති එකම විස්සේ කෝඩුකාරයා වන්නේ සියා උල්-හක් පමණි. ඒ නිසා පිත්තේ බලයට වැඩි තැනක් ලැබෙන මෙම තරගාවලියේදී වැඩිම තරගවලට සහභාගි වී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලංකාව පැත්තේ සිටින ඩිල්ෂාන් හා මැතිව්ස් යන පිතිකරුවන් දෙදෙනාට ප්‍රතිවාදීන් අතර සිටින නායක අෆ්රිඩි ඇතුළු හෆීස්, මලික් හා ශේෂාඩ් සමඟ දැඩි තරගයක යෙදෙන්නට සිදුවනු ඇත. එම තරගය තුළින් වැඩි වාසි ලැබෙන පිලට වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිවන අතර මේ දිනවල නැඟී සිටිමින් ඉදිරියට එන කුසල් පාලනය කිරීමට අෆ්රිඩිට හෝ යසීර් ෂාට නොහැකි වුවහොත් එය ශ්‍රී ලංකා පිලේ වාසියට වනු ඇත.

කෙසේ වෙතත් නායක සයිඩ් අෆ්රිඩි මෙන්ම ෂොයිබ් මලික් හා මොහොමඩ් හෆීස් වැනි තම විස්සයි – 20 ඉහළම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කර ඇති පිතිකරුවන්ට තවදුරටත් මාලිංග ප්‍රමුඛ පන්දු යවන්නන් ඉඩ ලබා නොදුනහොත් අෆ්රිඩිගේ පහරවලට ලැබෙන අප්පුඩි අඩු කරගත හැකිය.