කවුරු හොඳ පන්දු යවන්නෙක් වුණත් කණ්ඩායමෙන් යා යුතු නම් යා යුතුයි – ඇන්ජිලෝ මැතිව්ස්

113

ශ්‍රී ලංකාව සූරියවැව ක්‍රීඩාංගණයේදී සහභාගි වූ 16 වැනි ජාත්‍යන්තර එක් දින තරගයෙන් පෙරේදා රාත්‍රියේදී පාකිස්තානය පරදා ලකුණ 165ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ අතර යොවුන් ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා මතින් ගොඩනැඟුණු මෙම ජයග්‍රහණය ඉතා වැදගත් එකක් ලෙස සැලකිය හැකි අතර ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස්ද තරගය අවසානයේ ඒ බව සනාථ කරමින් අදහස් දැක්වීය.

එසේ අවසන් හා 5 වැනි එක් දින තරගයේ ජයග්‍රහණයෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ තරගය ගැන විස්තර කළ ශ්‍රී ලංකා නායකයා, තරගාවලිය ඒ වන විටත් පරාජයට පත්වී සිටි බැවින් තවත් නැතිවෙන්නට දෙයක් නොතිබූ නිසා අවසන් වශයෙන් රටේ කීර්තිනාමය වෙනුවෙන් කරන්නට තිබූ හැම තීරණයක්ම ක්‍රියාත්මක කළ බවද කීය. ඒ නිසා මෙම ජයග්‍රහණයෙන් ලැබූ පන්නරය ඉදිරියේදී මෙම ප්‍රතිවාදීන්ටම එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇතැයි කී මැතිව්ස් කුසල් ජනිත් හා තිලකරත්න ඩිල්ෂාන් දැමූ යහපත් අත්තිවාරම මෙම ජයග්‍රහණයට මඟපෑදුණු බවත් පැවැසීය.

මෙම අවසන් එක් දින තරගයේදී තම කණ්ඩායම පන්දු රැකීමෙන් විශාල ප්‍රගතියක් පෙන්වූ බව කී නායක මැතිව්ස් මේ ආකාරයෙන් ක්‍රීඩා කළේ නම් තරගාවලියේ ප්‍රතිඵලය වෙනස් වන්නට ඉඩ තිබූ බවද පැවැසූ අතර කදිම ඉනිමක් ක්‍රීඩා කළ මිලින්ද ගැන අවංකවම සතුටු වන බවත් ඔහු අනාගතයේදී අපේ කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත්වන බවත් කීය. තරගාවලිය පුරා ඉතා ඉහළ මට්ටමෙන් පාකිස්තාන පිල ක්‍රීඩා කළ බව කී ශ්‍රී ලංකා නායකයා ඉන් පරාජයට පත්වීම ගැන කනගාටු වන බවද පැවැසූ අතර මහේල හා සංගක්කාර නොමැතිව ක්‍රීඩා කළ පළමු අවස්ථාවේදී තිරිමාන්න හා චන්දිමාල් වගකීම කරට ගෙන ක්‍රීඩා කළ ආකාරයද අගය කරමින් අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය දරද්දීත් ලසිත් මාලිංග මෙම එක්දින තරගයෙන් ඉවත් කළේ ඇයි දැයි “මව්බිම” ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මැතිව්ස් කියා සිටියේ නායකයෙක් වුවත් ඕනෑම ක්‍රීඩකයකුට කණ්ඩායමෙන් එළියට යෑමට අවස්ථා තිබිය හැකි බවයි. විස්සයි-20 නායකයා ඉතාමත් හොඳ පන්දු යවන්නෙක් බවද පැවැසූ මැතිව්ස් “තමන් සෑම විටම ක්‍රීඩා කළ යුතුයි කියල කවුරුවත් හිතන්න ඕන නැහැ. එම වෙනස් කිරීම කළේ අනෙක් පන්දු යවන්නන් ගැන බලන්නත් ඕන නිසයි. ඒ තීරණය හරි බව නවකයන් හොඳින් පන්දු යැව්ව නිසාම සනාථ වුණා. හැබැයි ඉතින් ඉතාම හොඳ පන්දු යවන්නෙක් වුණත් සමහර අවස්ථා වලදී කණ්ඩායමෙන් එළියට යා යුතු නම් යා යුතුයි” යනුවෙන් පැවැසීය.