ක්‍රීඩා අමාත්‍යාංශයට පළමු කනේ පහර බැඩ්මින්ටන් පිත්තෙන්

108

ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ වැඩකටයුතු සඳහා සෘජුවම මැදිහත්වීම හේතුවෙන් ලෝක බැඩ්මින්ටන් සංගමය (BWF) විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනමට ලක්කර තිබේ.

පසුගිය ජුනි 21 වැනිදා ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට විද්‍යුත් ලිපියක් මගින් පෙන්වා දී තිබුණේ කරුණු 3ක් පිළිබඳව ඔවුන් අවධානය යොමු කර ඇති බවත්, එම කරුණු තුන ඉටුකරගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනමකට ලක්කිරීමට සිදුවන බවත්ය.

වසර 4ක් නිලතල දැරූ නිලධාරීන්ට යළිත් ඉදිරිපත් වීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩා පනතේ පෙන්වා දී ඇති වගන්තිය සංශෝධනය කිරීම, දේශපාලන මැදිහත්වීමකින් තොරව නිලවරණයක් පැවැත්වීම හා ක්‍රීඩා අමාත්‍යාංශයට පවරාගෙන ඇති බැඩ්මින්ටන් පරිපාලනය යළි පැරැණි නිලධාරීන් යටතට පත්කිරීම ඔවුන් පෙන්වා දී ඇති ප්‍රධාන කරුණු තුන බවට පත්වී තිබිණි.

එහෙත් මේ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශය එතරම් අවධානයක් යොමු නොකිරීම මෙවැනි තහනමකට ලක්වීමට ප්‍රධාන හේතුව බව පැවැසේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ස්වාධීනව තීරණ ගත හැකි මාර්ගයක් විවර කර සංගමයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය වුවහොත් පමණක් නිලවරණයකට යා හැකි බවද ලෝක බැඩ්මින්ටන් සම්මේලනය දන්වා ඇතැයිද පැවැසේ. එහෙත් එසේ නිලවරණයකට යා හැක්කේ ලෝක බැඩ්මින්ටන් සංගමයේ නියෝජිතයකුගේ මැදිහත්වීමෙන් බවද ඔවුන් විසින් පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම තහනම හේතුවෙන් ලෝක බැඩ්මින්ටන් සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන කිසිදු තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට සහභාගි වීමට නොහැකි වනු ඇති අතර කිසිදු සහයෝගයක් නොලැබෙනු ඇති බවද වාර්තා වේ.