තරිඳු අතින් බිඳුණු කඩුලු 5 නිසාලංකාවට වැඩි වාසි

121

පී.සරා (ඕවල්) ක්‍රීඩාංගණයේදී ඊයේ (25දා) ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගාවලියේ 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට වැඩි වාසිය අත්කර ගත් ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය. ඒ අනුව පාකිස්තාන පළමු ඉනිම පසුකිරීමට ශ්‍රී ලංකාව තවත් ලකණු 68ක් ලබා ගත යුතුවේ.

ඊයේ දිනයේදී කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත්වූ 22 හැවිරිදි පිට දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් ලකුණු 42 කට කඩුලු පහක් බිඳ දමමින් දිනයේ වීරයා බවට පත්විය. පසුගිය දෙසැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ තරිඳු කෞෂාල්ගේ දෙවැනි ටෙස්ට් තරගයද මෙය විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 138ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න දිනය අවසාන කිරීමට මොහොතකට පෙර ලකුණු 28කට දැවීගිය අතර දිනය නිමා වනවිට කෞෂාල් සිල්වා ලකුණු 21ක් හා කුමාර් සංගක්කාර ලකුණු 18 ලෙස ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

සරා ඕවල් ක්‍රීඩාංගණයේ තණ තීරුව පළමු දිනයේදී පිතිකරුවන්ට වාසි සහගත යැයි විශ්වාසය තැබූ පාකිස්තාන් නායක මිස්බා උල් හක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළද තරිඳු කෞෂාල් සහ ධම්මික ප්‍රසාද් එකතුව ලකුණු 85 කට ඔවුන්ගේ කඩුලු 8 ක් බිඳ දැමූහ. ඔවුන් දෙදෙනා දක්ෂ ලෙස පාකිස්තාන් පිතිකරුවන්ට පීඩනය එල්ල කිරීම හේතුවෙන් කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නා වු රංගන හේරත්ට එකදු පන්දුවාරයක් හෝ යැවීමට අවස්ථාවක් නොලැබිණි. රංගන එසේ ටෙස්ට් තරගයකදී පළමු ඉනිමේ පන්දු නොයවාම ක්‍රීඩාගාරය වෙත ගිය පළමු අවස්ථාවද මෙය විය.
පාකිස්තාන ආරම්භක පිතිකරු යුගලය වූ මොහොමඩ් හෆීස් සහ අහමඩ් ශෙෂාඩ් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබාදීමට ඉඩනොදුන් ධම්මික ප්‍රසාද් පාකිස්තාන ඉනිමේ තුන්වැනි පන්දුවාරයේදීම එක් ලකුණක් ලබාසිටි අහමඩ් ශෙෂාඩ් දවාගැනීමට සමත් විය.

එහෙත් පළමු කඩුල්ල දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි අසාර් අලී, මොහොමඩ් හෆීස් සමග එක්වී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවක් ගොඩ නැඟීමට සමත්වූ අතර එම සබඳතාවට නැවතවරක් හරස්වූ ධම්මික ප්‍රසාද් තම දෙවැනි කඩුල්ලත් බිඳ හෙළමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබාසිටි අසාර් අලී දවාගත්තේය. අනතුරුව තම සියවැනි ටෙස්ට් තරගයේ පිතිකරණය සඳහා පිටියට පිවිසි යුනිස් ඛාන් ලකුණු 6කට සීමා කිරීමට ධම්මික ප්‍රසාද් සමත් විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් මිනිත්තු 147ක් කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු මොහොමඩ් හෆීස් පකිස්තානු ඉනිමේ හතරවැනි කඩුල්ල ලෙස ලකුණු 42කට දවාගත් තරිඳු කෞෂාල් පසුගිය තරගයේදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ අසාද් සෆික් (2) හා සර්ෆ්‍රාස් අහමඩ් (14) දෙදෙනාද අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීම පාකිස්තානු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට විශාල පිටිවහලක් විය.
මේ අතර මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක චමීර දුෂ්මන්ත තම මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ජුනයිඩ් ඛාන්ගේ විකට්ටුව දවාගත් අතර චමීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 129 වැනි ක්‍රීඩකයා බවටද පත්විය.

ලකුණු පුවරුව
පාකිස්තාන් පළමු ඉනිම
මොහොමඩ් හෆීස් ප. තරිඳු 42
අහමඩ් ශෙෂාඩ් ඇ.සංගක්කාර ප. ප්‍රසාද් 01
අසාර් අලී ඇ.චන්දිමාල් ප. ප්‍රසාද් 26
යුනිස් ඛාන් ඇ.චන්දිමාල් ප. ප්‍රසාද් 06
මිස්බා උල් හක් දු.දැ. මැතිව්ස් 07
අසාද් සෆික් ක.මු. ප. තරිඳු 02
සර්ෆ්‍රාස් අහමඩ් ඇ.මැතිව්ස් ප. තරිඳු 14
වහබ් රියාස් ක.මු ප. තරිඳු 04
යසීර් ශා ඇ.සංගක්කාර ප. තරිඳු 15
සුල්ෆිකර් බාබර් ප.චමීර 05
ජුනයිඩ් ඛාන් නොදැවී 02
අතිරේක 14
එකතුව (පන්දුවාර 42.5කදී
සියලු දෙනා දැවී) 138
පන්දු යැවීම
ධම්මික ප්‍රසාද් 13-2-43-3
දුෂ්මන්ත චමීර 10-0-33-1
තරිඳු කෞෂාල් 10.5-0-42-5
ශ්‍රී ලංකා පළමු ඉනිම
දිමුත් කරුණාරත්න ඇ. සර්ෆරාස්
ප. ජුනයිඩ් 28
කෞෂාල් සිල්වා නොදැවී නොදැවී 21
කුමාර් සංගක්කාර නොදැවී 18
අතිරේක 03
එකතුව (පන්දුවාර 32කදී
එක් කඩුල්ලකට) 70
පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 10-3-26-1