ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

132

පසුගියදා පිලිපීනයේදී නිමා වූ ආසියානු රග්බි ශූරතා තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට ෆාසිල් මරිජාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සත්කාරක පිලිපීන කණ්ඩායම සමඟ පැවැති අවසාන මහා තරගයේදී ලකුණු 27 – 14ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය වාර්තා කළ අතර උත්සාහක දිනුම් 3ක් හා දඬුවම් පහර 4ක් මඟින් ශ්‍රී ලංකා අවසන් ලකුණු පුවරුව සටහන් වෙද්දී පිලිපීන කණ්ඩායම උත්සාහක දිනුම් 1ක හා දඬුවම් පහර 3ක ලකුණු ප්‍රමාණයෙන් නතර විය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමක් විසින් පළමු කොටසේ ආසියානු රග්බි ශූරතාවක් ජයගත් තුන්වැනි අවස්ථාව ලෙස වාර්තා වන අතර මින් පෙර 2010 හා 2013 වසර වලදීද මෙසේ ආසියානු පළමු කොටසේ ශූරයන් බවට පත්විය. කෙසේ වෙතත් කසකස්තානයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් දිස්වූ යම් දුර්වලතා පවා මඟහරවා ගනිමින් පිලිපීනයට එරෙහිව අවසන් තරගයේදී දක්ෂතා මතුවූ අතර ආසියානු තරගාවලියකට කෝඩුකාරයකු වන කාන්චන රාමනායකගේ දක්ෂතා අගනා මට්ටමක පැවැතීමද විශේෂත්වයකි.

රාමනායකගේ කුලුඳුල් ජාත්‍යන්තර උත්සාහක දිනුමත් නායක මරිජා හා ධනුෂ්ක රන්ජන් විසින් වාර්තා කරන ලද උත්සාහක දිනුම් 2ත් නිසා උත්සාහක දිනුම් 3ක් ශ්‍රී ලංකා පිලට එක්වෙද්දී රීසා මුබාරක් මනා ලෙස දඬුවම් පහර 4ක් සාර්ථක කර ගැනීම ශ්‍රී ලංකා පිලේ යහපත් ජයග්‍රහණයට පාදක විය.

කෙසේ වෙතත් පිලිපීන ක්‍රීඩක මැට් බෙලනි ලබාගත් දඬුවම් පහර මඟින් ඔවුන් ලකුණු ලබාගැනීම ආරම්භ කළද නායක ෆාසිල් මරිජා ලබාගත් උත්සාහක දිනුමක් මඟින් ලකුණු 5-3ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය. එහි ප්‍රවර්තනය මුබාරක්ට අසාර්ථක වුවද ඔහු ලබාගත් දඬුවම් පහරින් ලකුණු 8-3ක් ලෙස පරතරය වැඩිවිය.

නැවතත් ධනුෂ්ක රන්ජන්ගේ උත්සාහක දිනුමෙන් ලංකාව 13-3ක් ලෙස ඉදිරියට පැමිණි අතර පිලිපීනයට දඬුවම් පහරකින් තවත් ලකුණු ලබා ගැනීමෙන් පසු රීසා ලබාගත් දඬුවම් පහර ලකුණු හා කාන්චනගේ උත්සාහක දිනුමත් නිසා යළිත් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණි අතර ප්‍රථම භාගය අවසානයේ ලකුණු 21-11ක් ලෙස ලංකාව ඉදිරියෙන් සිටියේය.

තවද එම රිද්මය ඉදිරියටම ගෙනයමින් අවසානයේ ලකුණු 27-14ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත් අතර 3 වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී පිලිපීනය පරදා කසකස්තානය ලකුණු 35-12ක ජයක් ලැබීය.