මයිලෝ කුසලාන වයස අවුරුදු 18න් පහළ ලීග් රග්බි තරගාවලියේ අවසන් පූර්ව අදියර පැවැත්වූයේ රාජගිරියේ පිහිටි ආනන්ද විදුහල් රග්බි පිටියේදීයි. එහිදී හිටපු ශූරයන් වන කොළඹ ඉසිපතන විද්‍යාලය කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සමගත් කොළඹ සහිරා විද්‍යාලය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමගත් තරග වැදිණි.

පසුගිය ලිපි: අවසන් පූර්ව සටනට උඩරට කණ්ඩායම් දෙකක්

ඉසිපතන සහ කිංග්ස්වුඩ් විද්‍යාල අතර තරගය (පළමු අවසන් පූර්ව තරගය)

පසුගිය වසරේ ශූරයන් වන ඉසිපතන විද්‍යාලයට, 20න් පහළ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන්ද සැදුම් ලත් ශා. අන්තෝනි කණ්ඩායමෙන් විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද, මේ තරගය ලකුණු 08 – 00 ක් ලෙස ජය ගන්නට සමත් වූයේ ඉසිපතන කණ්ඩායමයි.

මෙම තීරණාත්මක තරගයේ මුල සිටම කණ්ඩායම් දෙකම ඉතා ආක්‍රමණශීලී සහ උද්යෝගිමත් තරගයක නිරත විය. කෙසේවෙතත් කිහිප වරක්ම පන්දුව රැගෙන ප්‍රතිවාදීන් මඟ හරිමින් විශිෂ්ට ධාවනයක යෙදෙන්නට හැකි වුවත් දෙපිලේම ක්‍රීඩකයන් එම අවස්ථා ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට අපොහොසත් විය. මෙම සෑම අවස්ථාවකදීම පාහේ කණ්ඩායම් දෙකේ පසුපෙළ ක්‍රීඩකයන්ගේ දක්ෂතාව කැපී පෙනුනේ එම ආරක්ෂක සංවිධානය බිඳ දමන්නට කිසිවෙකුටත් නොහැකි වීම හේතුවෙනුයි. ශා. අන්තෝනි විද්‍යාලය පළමු මිනිත්තු 20 තුල ලකුණු ලබා ගැනීමේ ආසන්න අවස්ථා 2ක් ගිලිහී ගිය අතර ඉසිපතන කණ්ඩායම මුලින්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කලේ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනුයි. ශා. අන්තෝනි ක්‍රීඩකයන්ගේ වැරදි ස්ථාන ගතවීමක් හේතුවෙන් ඔවුන්ගේ උත්සාහක දිනුම් රේඛාවේ සිට යාර 20කට පමණ එපිටින් සිට ලැබුණු පහසු දඬුවම් පහර සාර්ථක කර ගත්තේ ඉසිපතන Full Back ක්‍රීඩක සුපුන් සෙනෙවිරත්න විසිනුයි.

පළමු අර්ධය : ඉසිපතන 03 : 00 ශා. අන්තෝනි

තරගය නැවත ආරම්භ වීමෙන් පසු ඉසිපතන කණ්ඩායමේ ආක්‍රමණශීලී තරග රටාව තවත් වර්ධනය වී තිබු නමුත් ඔවුන්ට පහසුවෙන් ලකුණු ලබා ගැනීමට ශා. අන්තෝනි කණ්ඩායම ඉඩ ලබා දුන්නේ නැත. පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් එල්ලවූ දැඩි පීඩනය හමුවේ වුවත් තම උත්සාහය අත් නොහැරී ඉසිපතන කණ්ඩායම වෙනුවෙන් දෙවන අර්ධයේ මිනිත්තු 30ක් ගතවූ පසු ප්‍රතිවාදී ආරක්ෂක පෙළ බිඳ දමන්නට සමත් වුයේ යලි ක්‍රියාත්මක වූ සුපුන් සෙනෙවිරත්නයි.

ඔහු පිටියේ දකුණු පසින් වාර්තා කල උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට අසමත් වුවද ඒ වන විට ඉසිපතන කණ්ඩායම ලකුණු 08 – 00 ක් ලෙස ඉදිරියට පැමිණ සිටින ලදී. ඔවුන් තවත් අවස්ථා දෙකකදී ලකුණු ලබා ගැනීමට අසාර්ථක උත්සාහයන් දැරුවද ශා. අන්තෝනි කණ්ඩායමේ දුර්වල පන්දු හුවමාරුව හේතුවෙන් ඉසිපතන කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා වෙනත් ලකුණු අවශ්‍ය වුයේ නැත .මේ අනුව නොකඩවා දෙවන වරටත් ඉසිපතන කණ්ඩායම මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

අවසන් ලකුණු තත්ත්වය –   ඉසිපතන : 08 – 00 : ශාන්ත අන්තෝනි


සහිරා විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය (දෙවන අවසන් පූර්ව තරගය)

දෙවන අවසන් පූර්ව තරගයේදී A කාණ්ඩයේ නවකයන් වන කොළඹ සහිරා විද්‍යාලය තරග වැදුනේ මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායම සමගයි. මේ තරගය ලකුණු 17 – 05ක් ලෙස ජයගෙන අවසන් තරගයේදී ඉසිපතන විද්‍යාලයේ ප්‍රතිවාදීන් බවට පත් වන්නට කිංග්ස්වුඩ් කණ්ඩායම සමත් විය.

පළමු මිනිත්තුවේ සිටම ආක්‍රමණයට සූදානමින් සිටි කිංග්ස්වුඩ් කණ්ඩායම තරගයේ වාසිය අත් පත් කරගන්නා විට ගතවී තිබුනේ මිනිත්තු 3ක් පමණයි. ඔවුන්ගේ අංක 8 ක්‍රීඩකයා සහිරා ආරක්ෂකයන් මග හරිමින් වාර්තා කළ උත්සාහක දිනුම ප්‍රවර්ථනය කරන්නට Fly Half ක්‍රීඩක අසිරි සෙනෙවිරත්න අසමත් විය. ප්‍රතිවාදීන්ට ඉක්මන් වාසියක් හිමිකර දීමෙන් පසු සහිරා ක්‍රීඩකයන් ලකුණු ලබා ගැනීමට අපමණ වෙහෙසක් දැරූ අතර දක්ෂ ක්‍රීඩා විලාශයකින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට නිස්රාන් නලීම් සමත් විය. නමුත් එහි පහසු ප්‍රවර්තනය ඔවුන්ගෙන් ගිලිහී යාම හේතුවෙන් ලකුණු සම කරන්නට පමණක් එය ප්‍රමාණවත් විය.

කිංග්ස්වුඩ් කණ්ඩායමට ආබාධ හේතුවෙන් පළමු අර්ධය තුලම ක්‍රීඩක ආදේශන කිහිපයක් කරන්නට සිදුවූ අතර සහිරා විද්‍යාලය අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන පන්දු හුවමාරුවේදී පාලනය ප්‍රතිවාදීන් වෙත ලබා දීම ඔවුන්ගේ ගමනට එතරම් වාසිදායක නොවීය. පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුල නැවත තරගයේ පෙරමුණ ගත්තේ Winger ක්‍රීඩක සචින්ත සෙනෙවිරත්න වාර්තා කල උත්සාහක දිනුම හේතුවෙනුයි.

පළමු අර්ධය   –  කිංග්ස්වුඩ් : 10 – 05 : සහිරා

දෙවන අර්ධයේදී සහිරා විද්‍යාලය වඩාත් ප්‍රබල ලෙස ක්‍රීඩා කරන බවක් දක්නට ලැබුනද කිංග්ස්වුඩ් පසුපෙළ බිඳ දමන්නට ඔවුන්ගේ තාක්ෂනය ප්‍රමාණවත් නොවීය. තරිඳු වැලිගම්පොළ කිංග්ස්වුඩ් කණ්ඩායම වෙනුවෙන් 3 වන උත්සාහක දිනුමේ හිමිකාරීත්වය ලබද්දී සචින්ත අමරසේන එය පහසුවෙන් ප්‍රවර්තනය කරන ලදී. ලකුණු පුවරුවෙන් එල්ලවූ පීඩනය මත අත්දැකීම් අඩු සහිරා ක්‍රීඩකයන් පන්දුව පාලනය කිරීමට අසමත් වෙද්දී කිංග්ස්වුඩ් කණ්ඩායම මේ තරගයේ ජය තහවුරු කර ගත්තේ ලකුණු 17 – 05 ක් ලෙසයි.

මේ අනුව ඔවුන් කොළඹ CR & FC ක්‍රීඩාංගනයේ ලබන සිකුරාදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉසිපතන කණ්ඩායම සමගින් තරග වදිනු ඇති.

අවසන් ලකුණු තත්ත්වය : කිංග්ස්වුඩ් 17 – 05 : සහිරා

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට