ඉන්දියාවේදී වැරදුණ පිම්ම…

105

එළැඹෙන එක්‌දින ක්‍රිකට්‌ ලෝක කුසලාන දිනන ප්‍රධාන කණ්‌ඩායම් අතර සිටින ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එම ඉලක්‌කයට අතපොවන මායිමේ සිට ගැටුණ සටනින් ඉන්දියාව පහසුවෙන්ම ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට පන්න පන්නා පහර දුන් ඉන්දියානුවන් අදාළ ජයත් සමග එක්‌දින ශ්‍රේණියේ අංක එක ස්‌ථානය දක්‌වා ඉහළ නැගීම ඔවුන්ගේ ලෝක කුසලාන ගමනේ එක්‌ කඩඉමක්‌ සාර්ථක කර ගැනීමක්‌ විය.

ඉන්දියාවේදී ශ්‍රී ලංකාව බැට කෑවේ දෙවන පෙළ පන්දු යවන්නන් හේතුවෙනි. ලසිත් මාලිංග, සුරංග ලක්‌මාල් සහ ෂමින්ද එරංග, රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස්‌ ඉන්දියානු සංචාරයට සහභාගි නොවීම ශ්‍රී ලංකාවේ පන්දු යෑවීම දෙවැනි පෙළට ඇද වැටීමක්‌ විය. අනතුරුව අවසන් තරග දෙක ජය ගැනීම වැදගත් යෑයි සිතූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව අජන්ත මෙන්ඩිස්‌ සහ ෂමින්ද එරංගට අමතරව කණ්‌ඩායමෙන් ඉවත් කර තිබූ ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල්වද කණ්‌ඩායමට එක්‌ කළහ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව දෙවන පෙළ පන්දු යෑවීමක්‌ ඉන්දියාවට යෑව්වද එහිදී අත්දැකීම් බහුල පන්දු යවන්නකු වූ සුරාඡ් රන්දිව් නියමිත රිද්මය නොමැති මොහොතක කණ්‌ඩායමට කැඳවා තරග තුනක්‌ අවසානයේ නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේය. ඒ වන විට රන්දිව් ක්‍රීඩා කළ තරග දෙකකදී කඩුලු 3 ක්‌ දවා ගෙන තිබුණේ කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 48.00 ක්‌ ලෙස සටහන් කර ගනිමිනි. එහිදී ඔහුගේ පන්දුවාරයකට ලකුණු 7.20 ක වේගයක්‌ රඳවා ගැනීමට ඉන්දියානු පිතිකරුවෝ සමත් වූහ.

පාදඟ පන්දු යවන්නකු වූ සීකුගේ ප්‍රසන්නටද අත්වූයේ ඉන්දියානු පිතිකරුවන්ගේ ග්‍රහණයට හසුවීමටය. ඔහු ක්‍රීඩා කළ තරග තුනේදී කඩුලු 3 ක්‌ දවා ගෙන තිබේ. එහිදී සීකුගේ කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 47.66 ක්‌ ලෙසත් පන්දුවාරයකට දළ ලකුණු 6.35 ක්‌ ලෙසත් ප්‍රතිවාදීන්ට ලබාදී තිබේ.

ඉන්දියානු යොවුන් පිතිකරුවන් ලද අවස්‌ථාවෙන් ජ්‍යෙෂ්ඨයන් අභිබවා ඉදිරියට එද්දී ශ්‍රී ලංකා නවකයන් බාලාංශ මට්‌ටමේ පිති ප්‍රහාරයක නිරත විය. උපුල් තරංග පළමුවෙන්ම අසාර්ථක විය. ඔහුව ලංකාවට ගෙන්වා ගත්තේය. කුසල් පෙරේරා තරග දෙකයි ලකුණු හතරයි. නමුත් ඔහු ගැන තවත් බලාපොරොත්තුවෙන් තේරීම් කමිටුව පසුවේ. කුසල්ට දෙන ‘චාන්ස්‌’ අපිට දුන්නානම් යනුවෙන් තවත් ක්‍රීඩකයන් කියන්නේ ඔහු අවස්‌ථාවෙන් ප්‍රයෝජන නොගන්නා නිසාවෙනි.

අශාන් ප්‍රියංජනද ශ්‍රී ලංකා නවක පිතිකරුවන්ගේ බාලාංශ මට්‌ටමේ පිතිකරුවන් අතර ඉහළම තැනක සිටියි. ඔහුට මෙම වසර පුරාවටම තේරීම් කමිටුව අවස්‌ථාව ලබා දුන්නද එකක්‌ දෙකක්‌ හැර ඔහුගේ සමස්‌තය ‘ෆේල්ය’ ප්‍රියංජන ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ පළමු තරග තුනේදී ලබා ගත්තේ ලකුණු 15 ක්‌ පමණි. 

හැමදාම බර අදින පරණ අශ්වයන් ලවා ශ්‍රී ලංකාව ‘රේස්‌’ එක දුවමින් සිටියි. එහිදී පළමු තරග තුන අවසානයේදී මහේල ජයවර්ධන ලකුණු 165 ක්‌ ලබා ඇත්තේ සාමාන්‍ය 55.00 ක්‌ ලෙස සටහන් කරගනිමිනි. නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ලකුණු 125 ක්‌ සහ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 106 ක්‌ ලබා ජාමෙ බේරා ගැනීමට සමත් විය.

ඉන්දියානු නිත්‍ය නායකයා නොමැතිව සටන මෙහෙයවූ විරාත් කෝලි ජාත්‍යන්තර එක්‌දින ශ්‍රේණියේ තම කණ්‌ඩායම පළමු ස්‌ථානය දක්‌වා රැගෙන ගියේය. ‘අපි උත්සහ කරන්නෙ අපේ ක්‍රමයකට පහර දෙන්න. ඒක සාර්ථක වුණොත් ප්‍රතිවාදීන් කවුරු වුණත් අපිට වැඩක්‌ නැහැ.’ යනුවෙන් කෝලි තරගාවලි ජයග්‍රහණයෙන් පසුව පැවසීය.

අවසන් තරග දෙකම පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාව එක්‌දින ජාත්‍යන්තර ශ්‍රේණියේ පස්‌වැනි ස්‌ථානය දක්‌වා පල්ලම් බසිනු ඇත. මේ වනවිට සිව්වැනි ස්‌ථානයේ සිටින ශ්‍රී ලංකා ප්‍රසාද ලකුණු 109 ක්‌ ලබා තිබේ. පස්‌වැනි ස්‌ථානයේ සිටින එංගලන්තය ප්‍රසාද ලකුණු 107 ක්‌ ලබා ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියාවේදී ‘පවර් ප්ලේ’ චක්‌කරයද වරද්දා ගත්තේය. ‘පවර් ප්ලේ’ අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවේ කඩුලු දෙක තුනක්‌ දැවී ලකුණු 20 කටත් අඩුවෙන් ලබා ගත් අවස්‌ථා තිබේ. තෙවැනි තරගයේදීද එය සිදුවිය. එහෙත් ඉන්දියානු පිතිකරුවන් ‘පවර් ප්ලේ’ අවස්‌ථාවේදී කඩුලු නොදී පන්දුවාරයකට දළ ලකුණු 10 කට ආසන්න වේගයක්‌ රඳවා ගනියි. එයද ශ්‍රී ලංකා හරි හැටි කළමණාකරනය නොකිරීම පුහුණුකරුවාගේ සිට ක්‍රීඩකයා දක්‌වා මාතෘකාවට බඳුන් විය යුතුය. ‘පවර් ප්ලේ’ අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රහාරකයා වන තිසර පෙරේරාද ඇල් මැරුණු පිතිකරණ රටාවක්‌ මෙවර තරගාවලියේදී දැක්‌වීම ශ්‍රී ලංකාවේ පසුබැසීමට තවත් හේතුවකි.

කෙසේ වෙතත් ඉන්දියාවේ පරාජය අමතක කර දැමීමට ශ්‍රී ලංකාවට තවත් අවස්‌ථා දෙකක්‌ තිබේ. ඒ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එංගලන්තය සමග තරගාවලිය සහ නවසීලන්තයේදී පැවැත්වෙන එක්‌දින තරගාවලිය ජය ගැනීමය. අනතුරුව ලෝක කුසලාන සඳහා ශක්‌තිමත්ව ශ්‍රී ලංකාවට වැඩ ඇරඹිය හැකිය. ඊට පෙර මුවහත් නොවන නවකයන් කප්පාදු කළ වැඩක්‌ ගත හැකි ක්‍රීඩකයන් සොයා ගැනීම තේරීම් කමිටුවේ වගකීමය.