සුපිරි අටදෙනාගේ තරග ලබන ජනවාරි දක්වා කල්යයි

261
Dialog Champions League Super 8

පවතින දැඩි වර්ෂාවත්, එළඹෙන උත්සව සමයත් හේතුකොට ගෙන ඩයලොග් ශූරයන්ගේ කුසලානයේ සුපිරි අටදෙනාගේ වටයේ තරඟ යළිත් කල් දැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇත. ඒ අනුව තරගය නැවතත් ආරම්භ වන්නේ එළඹෙන වසරේ ජනවාරි මස 21වැනි දායි.

පසුගිය ලිපි: අමනුල්ලාගෙන් පාපන්දු සම්මේලනයට ප්‍රබල විවේචනයක්

“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හැටියට මේ සති අන්තයේදී අපට ඩයලොග් සුපිරි අටදෙනාගේ වටයේ දෙවන සතිය පැවැත්වීමට නොහැකියි. එනිසා උත්සව සමයට පෙරාතුව තරඟාවලිය අවසන් කිරීමටත් නොහැකි වෙනවා. ඒකයි අපි ඊළඟ ජනවාරියේ දෙවන සතිය දක්වා එය කල් තැබුවේ.” යැයි පාපන්දු සම්මේලනයේ  ප්‍රධාන විධායක නිලධාරී යූ. එල්. ජස්වාර් ThePapare.com සමඟින් අදහස් දැක්වූයේ එසේයි.

“අප (පාපන්දු සම්මේලනය) ක්‍රීඩා සමාජවල නියෝජිතයන් සමඟ ලබන සතියේ සාකච්ඡා කොට තීරණය කරනවා ජනවාරි සිට තරඟාවලිය කෙසේ ද පැවැත්වෙන්නේ කියලා.” යැයි ඔහු එහිදි වැඩිදුරටත් පැවසීය.

සැප්තැම්බර් මස පළමු සති අන්තයේදී තරඟාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ මුල් සතිය ආරම්භ විය. කෙසේ නමුත් ආසියානු සහයෝගිතා කුසලාන තරඟාවලිය වෙනුවෙන් සුපිරි අටදෙනාගේ වටය නියෝජනය කරන කණ්ඩායම් කිහිපයකම ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට කැඳවීමට පාපන්දු සම්මේලනය ක්‍රියා කළේය.

සුපිරි අටදෙනාගේ වටය නියෝජනය කරන කණ්ඩායම් විසින් දිගින් දිගටම තම නොසතුට පලකරමින් කියා සිටියේ ජාතික කණ්ඩායමට කැඳවන ලද ක්‍රීඩකයන් රහිතව තරඟාවලිය පැවැත්වීම නුසුදුසු බවයි.

පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ක්‍රීඩා සමාජවල නියෝජිතයන් ද ඇතුලත් මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ  සහයෝගිතා කුසලානය අවසන් වීමෙන් අනතුරුව නොවැම්බර් 19වන දින තරඟාවලිය නැවත ආරම්භ කරන බව වුවත්, අධික වර්ෂාව හේතුවෙන් තරඟාවලිය නැවතත් කල්තැබීමට සංවිධායකවරුන් තීරණය කර ඇත.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට