ආසියානු කුසලානයේ කෙල්ලන්ගේ සෙල්ලං

Women’s T20 Asia Cup 2026

4

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ ආරම්භය 2004 වසර වන අතර එවකට මෙම තරගාවලිය පැවැතියේ එක්දින ආකෘතියේ තරගාවලියක් ලෙසිනුයි. එතැන් සිට 2008 වසර දක්වා වසර දෙකකට වරක් මේ ආකාරයෙන් තරගාවලි 4ක් පවත්වා ඇති අතර ඒ සෑම වසරක ම ශූරියන් බවට වෙන්නේ ඉන්දියාවයි. ඔවුන් ඒ සෑම වරකම ශ්‍රී ලංකාවට අනුශූරතාවෙන් සෑහීමකට පත්වෙන ලෙසින් කරුණු කාරණා සැලැස්වූවා.

>>ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි<<

මෙම තරගාවලිය ඒ ආකාරයෙන් මිදී 2012 වසරේ දී පළමු වරට විස්සයි විස්ස ආකෘතියෙන් යුතුව බිම්ගත වෙන්නේ චීන සමූහාණ්ඩුවේ සත්කාරකත්වයෙන් යුතුවයි.  එලෙසින් ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය වසර 4කට වරක් පැවැත්වීමටයි යෝජනා වෙන්නේ. ඒ අනුව මෙම තරගාවලිය නැවත වරක් පැවැත්වෙන්නේ 2016 වසරේ දී තායිලන්තයේදීයි.

රටවල් කිහිපයක යෝජනා අනුවත්, පැවැති තරගකාරීත්වය සහ ආසියානු කලාපයේ කාන්තා විස්සයි විස්ස තරගවල හිඟ බවත් හේතුවෙන් මෙම තරගාවලිය වසර ද්විත්වයකට වරක් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කරනවා. ඒ අනුව ඔවුන්ගේ තරග කැලැන්ඩර්වල මෙම තරගාවලියට සුවිශේෂී ස්ථානයක් ලබා දෙනු ලැබූ අතර 2020 වසරේ දී පමණක් පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් තරගාවලියක් පැවැතියේ නැහැ.

මේ ආකාරයෙන් යුක්ත වූ මෙම තරගාවලිය, මෙවර ක්‍රියාත්මක වෙන 6 වැනි අවස්ථාවයි මේ.

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා කුසලාන තරගාවලියේ ගමන් මඟ
වසර සත්කාරකත්වය අවසන් මහා තරගයේ විසඳුම අනුශූරතාව
2012 චීනය ඉන්දියාවට  ලකුණු 18ක ජයක්. පාකිස්තානය
2016 තායිලන්තය ඉන්දියාවට ලකුණු 17ක ජයක්. පාකිස්තානය
2018 මැලේසියාව බංග්ලාදේශයට කඩුලු 3ක ජයක්. ඉන්දියාව
2022 බංග්ලාදේශය ඉන්දියාවට කඩුලු 8ක ජයක්. ශ්‍රී ලංකාව
2024 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. ඉන්දියාව

එලෙසින් පැවැති මෙම තරගාමාලාවන් හී වැඩිම දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් ලැයිස්තු ගත කිරීමේ දී ඉන්දීය ක්‍රීඩිකාවන්ට හිමි ව ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක්. ඔවුන් අවස්ථා 9ක දී මෙම ලැයිස්තුව හා එක් ව සිටින අතර, ඒ අතුරින් Deepti Sharma අවස්ථා 3ක දී ද, Mithali Raj සහ Harmanpreet Kaur අවස්ථා 2ක දී ද මෙම ලැයිස්තුව හා එක් වෙනවා.

ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ද මෙම ලැයිස්තුවේ අවස්ථා ද්විත්වයක් නියෝජනය කරන අතර ඊට අමතර ව බංග්ලාදේශයේ Bismah Maroof ද ඒ ලෙසින් ම මෙම ලැයිස්තුව හා එක් ව සිටිනවා.

එක් එක් තරගාවලියන් හී සම්මාන ලැබූ ක්‍රීඩිකාවෝ
වසර තරගාවලියේ වීරයා වැඩිම ලකුණුලාභිනිය වැඩිම කඩුලුලාභිනිය
2012 Bismah Maroof (බංග්ලාදේශය) Bismah Maroof (113 – බංග්ලාදේශය) Reema Malhotra (7 – ඉන්දියාව)
2016 Mithali Raj (ඉන්දියාව) Mithali Raj (220 – ඉන්දියාව) Sana Mir (12 – පාකිස්තානය)
2018 Harmanpreet Kaur (ඉන්දියාව) Harmanpreet Kaur (215 – ඉන්දියාව) Nida Dar (11 – පාකිස්තානය)
2022 Deepti Sharma (ඉන්දියාව) Jemimah Rodrigues (217 – ඉන්දියාව) Deepti Sharma (13 –  ඉන්දියාව)

ඉනෝකා රණවීර (13 – ශ්‍රී ලංකාව)

2024 චමරි අතපත්තු (ශ්‍රී ලංකාව) චමරි අතපත්තු (304 – ශ්‍රී ලංකාව) Deepti Sharma (10 –  ඉන්දියාව)

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්සයි ක්‍රිකට් තරගාවලියේ සුවිශේෂී කඩඉම්

201/5 : මෙතෙක් තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභී කණ්ඩායම වෙන්නේ ඉන්දීය කණ්ඩායමයි. ඔවුන් මෙම වාර්තාවට හිමිකම් කියන්නේ 2024 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව දඹුල්ලේ දී පෑ මෙම දක්ෂතාවයි.

15/10 : ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ හොංකොං කණ්ඩායමයි. ඔවුන්ට මෙම විපත්තිය සිදු වෙන්නේ 2012 වසරේ දී Guangzhou හි දී පාකිස්තාන කණ්ඩායම හා සමඟ පැවැති තරගයේදීයි.

332 : තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සතු වෙනවා. 2024 වසරේ දී දඹුල්ලේ දී පැවැති එම තරගයේ දී ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 165ක් ලබා ගන්නා ලද අතර ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබා ගන්නවා.

එම තරගය එම වසරේ පැවැති අවසන් මහා තරගය වීම ද විශේෂත්වයක්.

147 runs : පාකිස්තානය 2018 වසරේ දී Kuala Lumpur හි දී මැලේසියා කණ්ඩායමට එරෙහි ව ලබා ගත් මෙම ජයග්‍රහණය මෙතෙක් තරගාවලියේ වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවකින් යුත් ජයග්‍රහණයයි.

17 : මැලේසියා ක්‍රීඩිකාවෝ 2018 වසරේ දී Kuala Lumpur හි දී ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කරන ලද මෙම ලකුණු ප්‍රමාණය මෙතෙක් තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ප්‍රතිවාදීන් වෙත ලබා දුන් ඉහළ ම අතිරේක ලකුණු ප්‍රමාණයයි.

571 : ආසියානු කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් ව සිටින්නේ ඉන්දියාවේ Harmanpreet Kaur.

ආසියානු කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභිනියන් 5 දෙනා
Player Team Span Mat Inn NO Runs HS Ave 100 50
Harmanpreet Kaur ඉන්දියාව 2012-2024 25 22 7 571 66 38.06 0 3
චමරි අතපත්තු ශ්‍රී ලංකාව 2012-2024 21 21 3 565 119* 31.38 1 2
Smriti Mandhana ඉන්දියාව 2016-2024 24 19 2 479 60 28.17 0 3
Mithali Raj ඉන්දියාව 2012-2018 12 11 4 430 97* 61.42 0 3
Bismah Maroof පාකිස්තානය 2012-2022 23 21 4 423 62 24.88 0 2

119* : මෙතෙක් නිමා වූ තරගාවලියන් හී ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය බවට පත් ව සිටින්නේ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2024 වසරේ දී දඹුල්ල ක්‍රීඩාංගණයේ දී මැලේසියා කණ්ඩායමට එරෙහිවයි.

ඇයගේ එම ඉනිම පන්දු 69කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් ඇතුලත් වුණා.

චමරි අතපත්තු ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ එක ම ක්‍රීඩිකාව බවට පත් වූ සැමරුම. (2024.07.22)

  • ඒ සමඟින් ම චමරි අතපත්තු ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ එක ම ක්‍රීඩිකාව බවට ද පත් වුණා.

3x50+ : ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ලකුණු 50කට වැඩි ඉනිම් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් 5 දෙනෙක් ලැයිස්තු ගත ව සිටිනවා. ඒ බංග්ලාදේශයේ Murshida Khatun, ඉන්දියාවේ Mithali Raj, Smriti Mandhana, Harmanpreet Kaur සහ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු.

21x6s : මෙතෙක් තරගමාලාවන් හී වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩිකාව බවට පත් ව සිටින්නේ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු.

63x4s : චමරි අතපත්තු සහ Smriti Mandhana ආසියානු කුසලාන තරග ඉතිහාසයේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩිකාවන් අතර සම ප්‍රථම ස්ථානයේ පසු වෙනවා.

7x6s : ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩිකාව වෙන්නේ චමරි අතපත්තු. ඇය 2024 වසරේ දී දඹුල්ලේ දී මැලේසියාවට එරෙහි ව මෙම දක්ෂතාව දක්වනවා.

98 : එක් ඉනිමක දී හයේ පහර සහ හතරේ පහර මඟින් වැඩිම ලකුණු උපයාගත් ක්‍රීඩිකාව වෙන්නේ ශ්‍රි ලංකාවේ චමරි අතපත්තු. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2024 වසරේ දඹුල්ලේ දී මැලේසියාවට එරෙහි ව වන අතර, එහි දී ඇය හයේ පහර 7ක් සහ හතරේ පහර 14ක් ඊට ඇතුලත් කරනවා.

304 : ආසියානු කුසලාන තරග ඉතිහාසයේ එක් තරගාවලියක් තුළ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව බවට පත් ව සිටින්නේ චමරි අතපත්තු. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2024 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැති තරගාවලියේදීයි.

33 : ආසියානු කුසලාන තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීනිය බවට පත් වෙන්නේ පාකිස්තානයේ Nida Dar.

ආසියානු කුසලාන තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභිනියන් 5 දෙනා
Player Team Span Mat Ov M Runs Wk Best 4 5
Nida Dar පාකිස්තානය 2012-2024 26 74.0 1 353 33 5/21 1 1
Rumana Ahmed බංග්ලාදේශය 2012-2024 23 61.5 5 257 29 3/05 0 0
ඉනෝකා රණවීර ශ්‍රී ලංකාව 2012-2022 19 68.0 7 254 27 4/07 1 0
Deepti Sharma ඉන්දියාව 2018-2024 19 68.2 2 286 26 3/07 0 0
Sana Mir පාකිස්තානය 2012-2018 16 55.0 4 230 21 4/09 2 0

5/10 : මෙතෙක් ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු කරගෙන සිටින්නේ පාකිස්තානයේ Marina Iqbal. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2012 වසරේ දී Guangzhou හි දී තායිලන්ත කණ්ඩායමට එරෙහිවයි.

  Marina Iqbal

2x4+ : පාකිස්තානයේ Sana Mir සහ Nida Dar ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ඉනිමක කඩුලු 4ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථාවන් නියෝජනය කළ පන්දු යවන්නියන් ලෙසින් සම ව අසුන් ගන්නවා.

47 : ආසියානු තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා දුන් පන්දු යවන්නිය බවට පත් වෙන්නේ ඉන්දියාවේ Radha Yadav. ඇය මේ ප්‍රහාරයට ලක් වෙන්නේ 2024 වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙතින් දඹුල්ලේ දී.

13 : ඉන්දියාවේ Deepti Sharma සහ ශ්‍රී ලංකාවේ ඉනෝකා රණවීර ආසියානු කුසලාන තරග ඉතිහාසයේ එක් තරගාවලියක දී වැඩිම කඩුලුලාභී පන්දු යවන්නියන් ලෙසින් සම ව පළමු අසුනේ රැඳී සිටිනවා. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ 2022 වසරේ බංග්ලාදේශයේ දි පැවැති තරගාවලියේදීයි.

12 : තරග ඉතිහාසයේ වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවට හවුල් වූ කඩුලු රකින්නිය වන්නේ ඉන්දියාවේ Richa Ghosh.

9 : ආසියානු කුසලාන තරග ඉතිහාසයේ එක් තරගාවලියක දී වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවක් වාර්තා කළ කඩුලු රකින්නිය වන්නේ ඉන්දියාවේ Taniya Bhatia. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2018 වසරේ මැලේසියාවේ දී පැවැති තරගාවලියේදීයි.

11 : ශ්‍රී ලංකාවේ නිලක්ෂිකා සිල්වා, ආසියානු කුසලාන තරග ඉතිහාසයේ වැඩිම උඩ පන්දු රැකගත් ක්‍රීඩිකාවන් අතුරින් පෙරමුණ ගෙන තිබෙනවා.

6 : එක් තරගාවලියක දී වැඩිම උඩ පන්දු රැකගත් ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ බංග්ලාදේශයේ Rumana Ahmed. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2016 වසරේ දී තායිලන්තයේ දී පැවැති තරගාවලියේදීයි.

128 : ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම සබඳතාව පිහිටුවීමේ වාර්තාව හිමි වෙන්නේ ඉන්දියාවේ Deepti Sharma සහ Richa Ghosh එක් ව සිව් වැනි කඩුල්ලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව 2022 වසරේ Sylhet හි දී පෑ දක්ෂතාවයි.

26 : ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගී වී ඇති ක්‍රීඩිකාව වෙන්නේ පාකිස්තානයේ Nida Dar.

23 ; ආසියානු කුසලාන තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට නායකත්වය දුන් ක්‍රීඩිකාව වෙන්නේ ඉන්දියාවේ Harmanpreet Kaur.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<