සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්යන්තර ක්රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයග්රහණය කිරීමට සත්කාරක ක්රීඩකයෝ සමත් වෙනවා.
ශ්රී ලංකාව පිට පිට ලත් පරාජයන් ද්විත්වයෙන් පසුව Rawalpindi ක්රිකට් ක්රීඩාංගණයේ දී (13දා) පැවැති 3 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් කඩුලු 8ක ජයග්රහණයක් ලබා ගන්නවා.
කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩකයෝ තවත් පන්දු 17ක් ඉතිරි ව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී ප්රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
>>පාකිස්තානය 2 වැනි තරගයත් ජය ගනී<<
මෙම තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ එක් වෙනස්කමක් සිදුකරමිනුයි. ඒ පෙර තරගය හා එක් වූ මහීෂ් තීක්ෂණ වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් එක් කර ගනිමිනුයි.
පාකිස්තාන කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ වෙනස්කම් 4ක් සිදු කරමින්. ඒ අනුව ඔවුන්ගේ කණ්ඩායමේ පෙර තරගය හා එක් වූ Saim Ayub, Shadab Khan, Naseem Shah, සහ Abrar Ahmed වෙනුවට Abdul Samad, Arafat Minhas, Razaullah සහ Sufyan Moqim එක් කර තිබුණා.
ශ්රී ලංකා කණ්ඩායම
කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), ලහිරු උදාර, සිනෙත් ජයවර්ධන, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, දසුන් ශානක, චමිඳු වික්රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්රනාන්දු, එශාන් මාලිංග සහ නුවන් තුෂාර.
පාකිස්තාන කණ්ඩායම
Sahibzada Farhan (නායක), Fakhar Zaman, Maaz Sadaqat, Hasan Nawaz, Khawaja Nafay (කඩුලු රකින්නා), Muhammad Imran, Abdul Samad, Arafat Minhas, Razaullah, Salman Mirza සහ Sufyan Moqim.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Sahibzada Farhan. ඔහු මෙම තරගාවලියේ පැවැති තරග ත්රිත්වයේ දී ම අර්ධ ශතක ත්රිත්වයක් ලබා ගන්නවා. ඒ සමඟින් ඔහු මෙම තරගාවලිය නිමා කරන්නේ ඉනිම 3ක දී ලකුණු 238ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්ය 79.33ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් වුණා.
මෙම තරගයේ දී ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තා. පාකිස්තාන ඉනිම ලකුණු 102කට කඩුලු 6ක් දැවී ගොස් තිබිය දී Sahibzada Farhan, Arafat Minhas ද එක් කර ගනිමින් 7 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 66ක සබඳතාවක් ගොඩ නගනවා.
Arafat Minhas පාකිස්තාන ඉනිම අවසන් වෙද්දී පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනාට අමතර ව Hasan Nawaz පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ද සහ Abdul Samad පන්දු 10ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නුවන් තුෂාර සහ එශාන් මාලිංග කඩුලු ද්විත්වය බැගින් ද විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ලක් ද දවා ගත්තා.
- කුසල් ගේ පළමු උත්සාහය අසාර්ථකයි
- සංජනා පාකිස්තානයටත් සැරට තලයි
- පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතය නම් කරයි
- කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
- ශ්රී ලංකා පිරිමි ක්රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගනී
සුපුරුදු ලෙසින් ම ලහිරු උදාර සහ සිනෙත් ජයවර්ධන එක් ව ශ්රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළත්, ඔවුන්ගේ සබඳතාව පන්දු 7කින් එක් වූ ලකුණු 15කට සීමා වෙනවා. ලහිරු උදාර තමන් මුහුණ දුන් 2 වැනි පන්දුවේ දී ලකුණකට දැවී යෑමත් සමඟින් 1 වැනි කඩුල්ලේ සබඳතාව නිමා වෙනවා.
අනතුරු ව පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස්, යොවුන් ක්රීඩක සිනෙත් ජයවර්ධන එක් අන්තයක තබා ගනිමින් සාර්ථක ඉනිමක නිරත වෙනවා. ඔවුන් දෙදෙනා ශ්රී ලංකා ඉනිමේ ප්රහාරාත්මක පන්දුවාර 6 අවසන් කරන්නේ එතැන් සිට ගෙවී ගිය පන්දු 29ක දී ලකුණු 44ක් කරමිනුයි.
සිනෙත් ජයවර්ධන ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා. ඔහු සහ කුසල් මෙන්ඩිස් අතර 2 වැනි කඩුල්ලට පන්දු 41ක දී එක් කළ ලකුණු සබඳතාව 59ක්.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කුසල් මෙන්ඩිස් හා කමිඳු මෙන්ඩිස් එක් ව තරගය ජයග්රහණය කරා ගෙන යන්නේ 3 වැනි කඩුල්ලට පන්දු 55ක දී නොදැවුණ ලකුණු 98ක සබඳතාවක් ද එක් කරමිනුයි.
ඒ වෙද්දී කුසල් මෙන්ඩිස් තම විස්සයි විස්ස ජාත්යන්තර තරග පිටියේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 48ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 87ක් ද සහ කමිඳු මෙන්ඩිස් පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Arafat Minhas සහ Mohammad Imran ශ්රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
පාකිස්තානය – කඩුලු 8ක් දැවී 168 (20.0) Sahibzada Farhan 76, Arafat Minhas නොදැවී 34, නුවන් තුෂාර 2/38, එශාන් මාලිංග 2/38, දසුන් ශානක 3/21
ශ්රී ලංකාව – කඩුලු 2ක් දැවී 172 (17.1) සිනෙත් ජයවර්ධන 38, කුසල් මෙන්ඩිස් නොදැවී 87, කමිඳු මෙන්ඩිස් නොදැවී 40
ශ්රී ලංකාව කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
- තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස් (ශ්රී ලංකාව)
- තරගාවලියේ වීරයා – Sahibzada Farhan (පාකිස්තානය)
මෙම තරගාවලිය නිමාවත් සමඟින් ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වෙන තුන්කොන් එක්දින තරගාවලිය මේ මස 18 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















