ශ්‍රී ලංකාව ලෝක කුසලාන පාපන්දු තේරීම් තරග වලදී දැක්වූ දක්ෂතා

457
Sri Lanka FIFA World Cup Qualification History
Sri Lanka in FIFA World Cup Qualification; USA ‘94 & France '98

2022 වසරේ කටාර් හිදී පැවැත්වීමට නියමිත මීළඟ “FIFA ලෝක කුසලාන තරගාවලිය” සඳහා අදියර 5කින් සමන්විත සුදුසුකම් ලබාගැනීමේ ක්‍රියාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උත්සාහය ඉදිරියේ දී ආරම්භ වීමට නියමිතය.

2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය චීනයට?

2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සඳහා වූ….


වර්ෂ 1939 දී “සිලෝන් පාපන්දු සංගමය” යන නමින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ආරම්භ කරනු ලැබුවත් ඔවුන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය ලබාගන්නේ 1952 වසරේ දීය. කෙසේ නමුත් ඔවුන් 1994 වසර දක්වාම කිසිඳු ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් සඳහා සහභාගී නොවූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමක් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් සඳහා සුදුසුකම් ලබාගැනීමට උත්සාහ දරන්නේ 1994 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වුනු තරගාවලිය සඳහා ය.

ඒ අනුව ThePapare.com අපි, 1994 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහ 1998 ප්‍රංශයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලි වලට පිවිසීමට ගත් උත්සාහයන් විමසා බැලීමට තීරණය කළෙමු.

1994 ලෝක කුසලාන තරගාවලිය – ඇමරිකා එක්සත් ජනපදය

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 1994 වසරේ ජුනි මස 17 වන දින සිට ජූලි මස 17 වනදා දක්වා පැවති අතර ඊට සුදුසුකම් ලබාගැනීමේ අදියර ආරම්භ වූයේ 1993 වසරේ අප්‍රේල් මාසයේ දීය.

ඒ වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 126 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ‘F’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගැනීමේ පළමු වටයට එක්වූයේ ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය සහ තායිලන්තය යන කණ්ඩායම් වලට එරෙහිව ය. එහි පළමු වටයේ (1st leg) තරග ජපානයේත්, දෙවන වටයේ (2nd leg) තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් පවත්වනු ලැබීය.

ඒ අනුව එහි පළමු තරගය ජපානයේ කියෝතෝ නුවර දී පැවැත්වුනේ එවකට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 51 වන ස්ථානයේ පසුවූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම එරෙහිවය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජෝර්ජ් ෆෙරෙයිරා කටයුතු කරන විට කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ආනන්දකුමාර් ඇන්තනිපිල්ලේ විසිනි. එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය උපරිමයෙන් ක්‍රීඩා කළත් ඔවුන්ට වඩා ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 75ක් ඉදිරියෙන් පසුවූ එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් එතරම් අභියෝගයකින් තොරව ගෝල 0-4ක් ලෙස එම තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය.

දින 2කට පසුව මීළඟ තරගය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 69 වන ස්ථානයේ පසුවූ තායිලන්ත කණ්ඩායම සමඟ පැවැත්විනි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරගය ගෝල 0-1ක් ලෙස පරාජයට පත්වුවත් තරගය පුරාවට ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට සමත් විය. එහිදී ගෝල රකින ක්‍රීඩක ලලිත් වීරසිංහ, පසුපෙළ ක්‍රීඩකයින් වූ සම්පත් පෙරේරා, ජුනයිදීන් හෂීම්දීන්, ඇන්තනිපිල්ලේ සහ මැදපෙළ ක්‍රීඩකයින් වූ චමින්ද ස්ටයින්වල්, කේ.එම්. කබීර් සහ ආර්. ශාන්තකුමාර්ගේ දක්‍ෂතා කැපී පෙනෙන්නට වූහ.

පුවේන්ද්‍රන්ගේ චෝදනාවලට පාපන්දු සම්මේලනයේ ලේකම්ගෙන් පිළිතුරු

ආර්. පුවේන්ද්‍රන් විසින් පසුගිය දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති…

ඊළඟ තරගය බංග්ලාදේශ කණ්ඩායම පැවති අතර ඔවුන්ද ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 10ක් ඉදිරියෙන් පසුවිය. තවද මීට පෙර අවස්ථාවන් 2කදී ඔවුන් ශ්‍රී ලංකාව පරාජයට පත්කිරීමට ද සමත්ව තිබිනි. කෙසේවෙතත් උණුසුම් තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරගය ද ගෝල 0-1ක් ලෙස පරාජයට පත්විය.

මේ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කරමින් ගෞරවාන්විත ලකුණු පරතරයකින් තරග පරාජය වීම, ඉන්පසුව පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රබල ජපාන කණ්ඩායම සමඟ තරගයට මුහුණ දීමට සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය ඉහළ යන්නට ඉවහල් විය.

‘F’ කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම සිටි ජපාන කණ්ඩායම, “1993 වසරේ ආසියානු පාපන්දු ක්‍රීඩකයා” ට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ කසුයෝෂි මියුරා, බ්‍රසීල සම්භවයකින් යුතු කණ්ඩායමේ නායක රුයි රාමෝස් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විත විය. පළමු වටයේ අවසන් තරගය වූ එම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෝල 0-5ක් ලෙස පරාජයට පත්වුවත් ජපානය වැනි ප්‍රබල කණ්ඩායමක් හමුවේ එම ලකුණු පරතරය ගෞරවාන්විත විය.

තරගාවලියේ දෙවන වටයේ තරග පැවැත්වුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර දීය. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම 1993 වසරේ මැයි මස 02 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව වුවත් ඒ වනවිට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ධූරය හෙබවූ රණසිංහ ප්‍රේමදාස මහතා මැයි මස 01 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඝාතනය වීම හරහා මුළු මහත් දේශයම කම්පාවට පත්විය. එම තත්වය යටතේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අවශ්‍ය වූයේ තරගාවලියට නොයා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට ය. මේ පිළිබඳව අදහස් දක්වමින් ලලිත් වීරසිංහ ප්‍රකාශ කර සිටියේය.  

“අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යන්න තියෙද්දී ජනාධිපතිතුමා ඝාතනය වුනා. ඒ තත්වය යටතේ තරගාවලියට පිටත්ව යන්න අපිට අවශ්‍ය වුනේ නැහැ. නමුත් ‘FIFA’ ඒකෙන් අපිට දැන්වූවා අපි සුදුසුකම් ලබාගැනීමේ තරග වලට සහභාගී වුනේ නැත්නම් අපිට විශාල දඩ මුදලක් ගෙවන්න වෙනවා කියලා. ඒ නිසා අකමැත්තෙන් වුනත් අපිට අනිත් තේරීමේ තරග ටික ක්‍රීඩා කරන්න යන්න වුනා.”
 

ඒ අනුව දෙවන වටයේ තරග වලදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රබල උත්සාහයක් දැරුවත් එම වටයද අවසන් වූයේ ඔවුන් තරග 4ම පරාජයට පත්වෙමිනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය සහ තායිලන්තය සමඟ පැවති තරග ගෝල 0-3 බැගින් පරාජයට පත්වූ ඔවුන් ජපානයට එරෙහි තරගය ගෝල 0-6ක් ලෙස පරාජයට පත්විය.

‘F’ කාණ්ඩය



1994 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ආසියාවෙන් සහභාගී වූයේ කණ්ඩායම් දෙකක් පමණි. ඒ අනුව දකුණු කොරියාව සහ සෞදි අරාබිය ඒ සඳහා සුදුසුකම් ලබාගත් අතර ගෝල වෙනස හේතුවෙන් අවසන් වටයේදී 3 වන ස්ථානයට පත් ජපානයට එම අවස්ථාව අහිමිව ගියේය.

එක් තරගයක් හෝ ජයගැනීමට අපොහොසත් වුවත් අත්දැකීම් රැසක් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත දිවයින බලා පැමිණි අතර ඉන් වසර දෙකකට පසුව 1995 වසරේ කොළඹදී ඉන්දීය කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කරන්නට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ ප්‍රථම පාපන්දු තරගාවලිය වූ ‘SAARC’ රන් කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරන්නට ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබාගත් ඒ අත්දැකීම් මහත් සේ ඉවහල් වූ බව නොඅනුමානය.

1998 ලෝක කුසලාන තරගාවලිය – ප්‍රංශය

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 1995 වසරේදී දකුණු ආසියාවේ ශූරයින් ලෙස කිරුළු පැළඳීමෙන් වසරකට පසුව, එනම් 1996 වසරේදී 1998 වසරේ ප්‍රංශයේදී පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරග ආරම්භ විය.

මෙවර 10 වන කාණ්ඩයෙන් පළමු වටයට එක්වූ ශ්‍රී ලංකාව සමඟ එම කාණ්ඩයේ සිටි අනෙක් කණ්ඩායම් වූයේ කටාර් රාජ්‍යය, පිලිපීනය සහ ‘SAARC’ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ ඉන්දීය කණ්ඩායම යි.

මෙම ලෝක කුසලාන තේරීම් තරග වලට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලියේ තේරීම් තරග සඳහා සහභාගී වීමට සිදුවූ අතර එහිදී ඉරානය, ඕමානය සහ නේපාලය හමුවේ තරග 6ක් ක්‍රීඩා කරමින් අත්දැකීම් එක්කර ගැනීමට අවස්ථාව හිමිවිය. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නේපාල කණ්ඩායම හමුවේ ගෝල 3-1ක් සහ ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වීම ද විශේෂත්වයකි.  

1993 වසරේ ලෝක කුසලාන තේරීම් තරග සහ 1995 වසරේ ‘SAARC’ තරගාවලිය සඳහා ක්‍රීඩාකළ ක්‍රීඩකයින් බහුතරයක් මෙම කණ්ඩායමට ද ඇතුළත්ව සිටියහ. ඊට අමතරව ඉසුරු පෙරේරා, මොහොමඩ් රූමි, ඩඩ්ලි ස්ටයින්වල්, මංජුල සිරිසේන සහ ඇන්ටන් සිල්වා වැනි තරුණ ක්‍රීඩකයින් ද කණ්ඩායමට ඇතුළත් කර තිබුනේ අත්දැකීම් සහ තරුණ ජවයෙන් යුතු සමබර කණ්ඩායමක් නිර්මාණය කරමිනි. සම්පත් පෙරේරා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඔහුගේ උපනායකයා ලෙස කටයුතු කළේ ලලිත් වීරසිංහ යි.

තවදුරටත් ආනන්ද කුමාර්, ටී. එන්. බගූස්, ජේ. හෂිම්දීන්, කේ. එම්. කබීර්, ජගත් රෝහණ සහ චමින්ද ස්ටයින්වල් යන ක්‍රීඩකයින්ගෙන් මෙම කණ්ඩායම සවිමත් වූහ.

ප්‍රබල පුහුණුකරුවෙක් වූ පී. ඩී. සිරිසේන විසින් කණ්ඩායමේ පුහුණුකාර ධූරය හෙබවීය. ඔහු යටතේ කණ්ඩායම සිය උපරිම දක්‍ෂතා දක්වනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළ අතර එය ඒ අයුරින්ම සිදුවනු දැකගත හැකිවිය.

එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගන්නා කණ්ඩායම පමණක් තරගාවලියේ ඉදිරි වටයට තෝරාගැනීමේ ක්‍රියා පටිපාටිය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එය විශාල අභියෝගයක් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට හිමිවූ පළමු අභියෝගය වූයේ ප්‍රබල කටාර් රාජ්‍ය කණ්ඩායමයි. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 69 වන ස්ථානයේ පසුවූ ඔවුන් එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගනු ඇතැයි බහුතරයකගේ අනුමානය විය. එම අනුමානය නිවැරදි කරමින් ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ගෝල 0-3ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා 16න් පහළ කණ්ඩායම A කාණ්ඩයෙන් තරගාවලියට

AFC 2020 වයස අවුරුදු 16න් පහළ පාපන්දු තරගාවලියේ තේරීම් තරග කාල…

මීළඟට පැවතියේ ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගය යි. එම කණ්ඩායම භායිචන් භූතියා, මණි විජයන්, කාල්ටන් චැප්මන්, ආලෝක් ඩයස් සහ එම වසරේදීම ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති තරගයකදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව ගෝල 6ක් වාර්තා කිරීමට සමත්වූ දේපේන්දු බිස්වාස් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විත විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගයේ 15 වන මිනිත්තුවේදී ‘ඇන්ටා’ යන අනුවර්ත නාමයෙන් හැඳින්වූ ඇන්තනි සිල්වා විසින් වාර්තා කරගත් ගෝලයක් හරහා ඉදිරියට පැමිණෙන්නට සමත් විය. නමුත් කාල්ටන් චැප්මන් තරගයේ 39 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් ලකුණු තත්වය සම කරන්නට සමත් විය. තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කිසිඳු කණ්ඩායමක් ගෝලයක් වාර්තා කරගන්නට අපොහොසත් වූ අතර ඒ අනුව ගෝල 1-1ක් ලෙස තරගය ජය-පරාජයෙන් තොරව අවසන් විය.  

එහි අවසන් තරගය පැවැත්වුනේ පිලිපීන කණ්ඩායමට එරෙහිවය. ඒ අනුව පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඔවුන්ට වඩා පහළින් සිටින කණ්ඩායමක් සමඟ තරග කිරීමට අවස්ථාව හිමිවිය. ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් වල 126 වන ස්ථානයේ පසුවෙද්දී පිලිපීනය හිමිකරගෙන තිබුනේ 166 වන ස්ථානය යි. ඒ අනුව එහිදී ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එහිදී ගෝල 3-0ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය.  

චමින්ද ස්ටයින්වල් එහිදී පළමු අර්ධයේ සහ දෙවන අර්ධයේ ගෝලය බැගින් ගෝල 2ක් වාර්තා කරගන්නට සමත් වනවිට අනෙක් ගෝලය දඬුවම් පහර අවස්ථාවක් හරහා වාර්තා කරගනු ලැබුවේ රොෂාන් පෙරේරා විසිනි.

එම තරග වටය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කටාර් රාජ්‍ය කණ්ඩායමට පමණක් පරාජය වෙමින් කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ඔවුන් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවය මැද නැවතත් දිවයිනට පැමිණෙනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ද රැගෙන එමිනි.  

10 වන කාණ්ඩය



එම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ, මේ වනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වැඩබලන තාක්ෂණික අධ්‍යක්ෂ සහ බිම් මට්ටමේ පාපන්දු සංවර්ධන කළමණාකාර ධූර හොබවන චමින්ද ස්ටයින්වල් එම කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“1996 වසරේ ඒ කණ්ඩායම හොඳ දක්‍ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක්. ඒ වෙද්දී දේශීය තරගාවලියත් හොඳ තත්වෙක තිබුනා. ඒ වගේම ක්‍රීඩකයින්ට තරගාවලි වල ක්‍රීඩා කරලා හොඳට අත්දැකීම් තිබුනා. ඒ අනුව ඔවුන්ගේ ක්‍රීඩා විලාශය ඉතාම හොඳ තත්වයක තිබුනා. ඒ වගේම තමයි ඔවුන්ගේ කැපවීමත්. ඒ දේවල් නිසා තමයි අපිට ඒ විදිහට තරග ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් වුනේ.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<