මායාකාර හැරී කේන් එංගලන්තයට ජය ගෙනෙද්දී ලුකාකු පැනමාව බිඳ දමයි

FIFA ලෝක කුසලානය 2018

774

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද (18) දිනයේ පළමු තරගය ලෙස කොරියාව හා ස්වීඩනය තරග වැදුණු අතර ගෝල 1-0ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට ස්වීඩන් ක්‍රීඩකයෝ සමත් විය. දිනයේ දෙවන තරගය ලෙස සිය මංගල ලෝක කුසලානයට ක්‍රීඩා කරන පැනමාව හා ප්‍රබල බෙල්ජියම හමු වූ අතර ගෝල 3-0ක පහසු ජයක් ලබන්නට බෙල්ජියම සමත් විය. පෙරළි රැසක් සිදුවුණු තෙවන තරගයේ දී ගෝල 2-1 ලෙස ටියුනීසියාව පරාජය කරන්නට ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.  

ජර්මානු, බ්‍රසීල අධිරාජ්‍යයන් බිඳ වැටෙද්දී සර්බියාව ජය ගනී

අද (17) දිනයේ පළමු තරගය ලෙස සර්බියාව හා කොස්ටාරිකාව තරග වැදුණු අතර කොස්ටාරිකාව….

විශ්මයජනක හැරී කේන් එංගලන්තයට ජය ගෙනේ

දිනයේ තෙවන තරගය ලෙස ප්‍රබල එංගලන්ත කණ්ඩායම හා ටියුනීසියානු කණ්ඩායම තරග වැදුණු අතර පෙරළි රැසක් සිදු වූ මේ තරගය ගෝල 2-1 ලෙස ජය ගැනීමට එංගලන්තය සමත් විය. තරගය G කාණ්ඩයේ තරගයක් ලෙස Volgograd  හි Volgograd ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර පළමු මිනිත්තුවේ සිට ප්‍රබල ක්‍රීඩා විලාසයට නිරත වූ එංගලන්ත නායක හැරී කේන් එංගලන්තයට ජය ගෙන ඒමට සමත් විය.

තරගය ආරම්භයේ සිටම එංගලන්ත ක්‍රීඩකයෝ ටියුනිසියානු අර්ධයේම කාලය ගත කළ අතර ටියුනීසියාවට එංගලන්ත දඬුවම් පහර චතුරශ්‍රයට පිවිසීමට මිනිත්තු විස්සක් පමණ උත්සහ කරන්නට සිදු විය.

ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ එංගලන්ත නායක හැරී කේන්, ජෝන් ස්ටෝන්ස්ගේ හිසෙන් යොමු කිරීමක් ටියුනීසියානු ගෝල රකින්නා වූ Mouez Hassen ගෝලයට යාමට නොදී නැවැත්වීමෙන් ආපසු පැමිණි පන්දුව යලිත් අලංකාර ලෙස දැල වෙතට යොමු කරමින් පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය.

(හැරී කේන් මිනිත්තු 11ක් ඇතුලත 2018 ලෝක කුසලානයේ සිය පළමු ගෝලය වාර්තා කිරීමට සමත්විය-FIFA)

අනතුරුව එංගලන්තයට අවස්ථා කිහිපයක්ම හිමිවුවද STERLING හා YOUNG එම අවස්ථා සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත.

තරගයේ පළමු මතභේදාත්මක අවස්ථාව ලෙස ටියුනීසියානු ක්‍රීඩකයෙකු දඬුවම් පහර චතුරශ්‍රය ඇතුලත දී එංගලන්ත නායක හැරී කේන්ව සිතාමතාම පොරබදමින් බිම දැමීම දැක්විය හැකි අතර කෙසේ නමුත් විශ්මයජනක ලෙස විනිසුරු එම වරදට එංගලන්තයට දඬුවම් පහරක් ලබා දුන්නේ නැත. අවම තරමේ ‘VAR’ තාක්ෂණය යොදා ගනිමින් එම අවස්ථාව නැවත සලකා බැලීමටවත් විනිසුරු උනන්දු නොවීම පුදුමයකි.

(ටියුනිසියානු ක්‍රීඩකයා හැරී කේන්ව පොරබදමින් බිම හෙලීම විනිසුරු නොදැකීම මවිතයට කරුණකි-FOX.com)
(ටියුනිසියාවට දඬුවම් පහරක් හිමිව්ය-FOX.com)

අනතුරුව ටියුනීසියාව එංගලන්ත චතුරශ්‍රයේ  ආක්‍රමණයක නිරතවෙද්දී දෙවැනි මතභේදාත්මක සිදුවීම සිදු වූ අතර එංගලන්තයේ WALKER විසින් ටියුනීසියාවේ BEN YOUSSEF හට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ බවට තීරණය කළ විනිසුරු ටියුනීසියාවට දඬුවම් පහරක් නියම කළ අතර එංගලන්ත ක්‍රීඩකයින් කෙතරම් ඉල්ලීම් කළ ද එම අවස්ථාව නැවත සලකා බැලීමට විනිසුරු තීරණය කළේ නැත.

කෙසේ නමුත් SASSI 35 වන මිනිත්තුවේ දී එම දඬුවම් පහර ලබාගත් අතර එංගලන්ත ගෝල රකින්නා වූ පික් ෆෝර්ඩ්ගේ ඇඟිලිවල ගෑවී පන්දුව ගෝල රාමුව තුලට ගියේ තරගයේ ගෝල සමකරමිනි.

43 වන මිනිත්තුවේ දී එංගලන්ත ක්‍රීඩක LINGARD තියුණු උත්සාහයක නිරත වූ අතර ගෝල රකින්නා නොමැතිව සිටි දැල වෙත ඔහු පන්දුව යොමු කළත් අවාසනාවන්ත ලෙස රාමුවේ වැදී පන්දුව ඉවත ගියේ පළමු අර්ධය ගෝල සමකරමිනි.

පළමු අර්ධය අවසානයේ ටියුනීසියාව 1-1 එංගලන්තය

දෙවන අර්ධය පුරා සම්පූර්ණ ආධිපත්‍යක් පැතිරවීමට එංගලන්ත ක්‍රීඩකයින් සමත්වූ නමුත් ආරක්ෂා කාරී ලෙස ක්‍රීඩා කළ ටියුනීසියානු ක්‍රීඩකයෝ ඔවුන්ට කිසිදු පහසු අවස්ථාවක් ලබා දුන්නේ නැත.

සිය නිත්‍ය ගෝල රකින්නා අබාධයකට ලක්වීම නිසා පිටියට පිවිසුණු බෙන් මුස්තාපා ඉතා ආසන්න එංගලන්ත ගෝල අවස්ථා කිහිපයක්ම නැවැත්වීමට සමත් විය.

(බෙන් මුස්තාපා ඉතා හොඳ තරගයක් ක්‍රීඩා කළේය-FIFA.com)

සෑහෙන වෙලාවක්  ටියුනිසියානු අර්ධයේ  කල්  මැරූ එංගලන්ත ක්‍රීඩකයෝ 90 වන මිනිත්තුවේ දී ටියුනීසියානු ක්‍රීඩකයින් අසරණ කරමින් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් විය.

90+1 මිනිත්තුවේ දී ‘Corner’ අවස්ථාවකින් ලැබුණු පන්දුව අලංකාර ලෙස සිය හිසෙන් දැල තුලට යොමු කළ එංගලන්ත නායක සුපිරි ක්‍රීඩක හැරී කේන් සිය දෙවන ගෝලය වාර්තා කළේ එංගලන්ත ජයග්‍රහණයට අවසන් ඇණය ද ගසමිනි.

(හැරී කේන් එංගලන්තයට ජය ගෙන ඒමට සමත්විය-FIFA.com)

අවසාන ලකුණු තත්වය: ටියුනීසියාව 01 – 02 එංගලන්තය

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ  

  • එංගලන්තය – හැරී කේන් 90+1’, 11‘
  • ටියුනීසියාව – SASSI 35’

රතු යක්ෂයින්ගෙන් පැනමාවට උණුසුම් පිළිගැනීමක්

අද දිනයේ දෙවන තරගය ලෙස ප්‍රබල බෙල්ජියම සෝචි හි Fisht ක්‍රීඩාංගණයේ දී සිය මංගල ලෝක කුසලානයට ක්‍රීඩා කරන පැනමාව හමු වූ අතර කෝඩුකාර පැනමාවට ගෝල 3-0ක පරාජයක් අත්කරදීමට ප්‍රබල බෙල්ජියම් ක්‍රීඩකයෝ සමත් වූහ. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක රෝමෙලෝ ලුකාකු සුපිරි ගෝල ද්විත්වයක් ද රැස් කරමින් බෙල්ජියමේ ජය තහවුරු කළේය.

වසර 16 අභිමානය නැවතත් සොයා යන මෙසී සහ ආර්ජෙන්ටිනාව

ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි ස්ථානය හිමි කරගෙන සිටින ආර්ජෙන්ටිනා…

පළමු මිනිත්තුවේ සිටම ප්‍රබල බෙල්ජියම් ක්‍රීඩකයෝ පැනමා ක්‍රීඩකයින් අමාරුවේ දමමින් ප්‍රබල ආක්‍රමණයක් එල්ල කිරීමට සමත් වූ නමුත් පැනමා ගෝල රකින්නා වූ Jaime PENEDO ප්‍රමුඛ පැනමා ආරක්ෂක ක්‍රීඩකයෝ ද එයට හොඳින් ප්‍රතිචාර දක්වමින් පළමු අර්ධය පුරා බෙල්ජියම් අවස්ථා සියල්ල ව්‍යර්ථ කිරීමට සමත් විය.

පැනමා ක්‍රීඩකයින්ට පන්දුව සමඟ බෙල්ජියම් දඬුවම් පහර චතුරශ්‍රයට යාමට මිනිත්තු තිස් තුනක් ගත වූ අතර එයින්ම ප්‍රබල බෙල්ජියමේ පීඩනය සිතාගත හැක.

බෙල්ජියම් නායක හැසාඩ් පළමු අර්ධය පුරා සුපිරි ක්‍රීඩා විලාසයක නිරත වූ නමුත් ගෝලයක් ලබාගැනීමට තරම් ඔහු වාසනාවන්ත වුයේ නැත.

පළමු අර්ධය: බෙල්ජියම 00 – 00 පැනමාව

දෙවන අර්ධය ආරම්භයේ සිටම පැනමා ආරක්ෂක වළල්ල කඩා බිඳ දැමීමට ප්‍රබල බෙල්ජියම් ක්‍රීඩක ලුකාකු (LUKAKU) ප්‍රමුඛ බෙල්ජියම් ඉදිරිපෙළ සමත් විය.

දෙවන අර්ධය ආරම්භයත් සමගම 47 වන මිනිත්තුවේ දී ගෝල චතුරශ්‍රයේ වම්පස කොනේ සිට අලංකාර ප්‍රහාරයක් සමඟින් පළමු බෙල්ජියම් ගෝලය වාර්තා කිරීමට MERTENS සමත් විය.

(MERTENS පළමු ගෝලය වාර්තා කළේ බෙල්ජියම් ගෝල මැෂිම ක්‍රියාත්මක කරවමිනි – FIFA.com)

අනතුරුව එළඹුණේ LUKAKU ගේ ගෝල සංදර්ශනයයි.පළමු අර්ධයේ සිටම අවස්ථාවක් සොයමින් සිටි ඔහු De Bruyne යොමු කළ පන්දුව අලංකාර ලෙස සිය හිසෙන් දැල වෙතට යොමු කරමින් සිය පළමු ගෝලය 69 වන මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් විය.

(De Bruyne ගේ පන්දු යොමු කිරීමෙන් ලුකාකු උපරිම ප්‍රයෝජන ගත්තේය-FIFA.com)

කාලය නාස්ති නොකළ බෙල්ජියම් ක්‍රීඩකයෝ නැවත ක්‍රියාත්මක වූ අතර De Bruyne හා Witsel පන්දුව හසුරුවා Hazard හට පන්දුව භාර දුන් අතර Hazard විසින් කල් යල් බලා ලබා දුන් පන්දුව පැනමා ගෝල රකින්නා වූ Penedo ගේ හිසට ඉහළින් යොමු කරමින් සිය දෙවන ගෝලය වාර්තා කිරීමට LUKAKU සමත් විය.

(පන්දුව ගෝල රකින්නාට ඉහලින් පා කර හරින්නට ලුකාකු සමත්විය-FIFA.com)

ගෝලයක් ලබා ගැනීම සඳහා පැනමා ක්‍රීඩකයින් ප්‍රබල උත්සහයක් දැරුවද ප්‍රබල බෙල්ජියම් පසුපෙළ හමුවේ සිය මංගල ලෝක කුසලාන ගෝලය ඔවුන්ට සිහිනයක්ම විය.

අවසාන ලකුණු තත්වය: බෙල්ජියම 03 – 00 පැනමාව

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ 

  • බෙල්ජියම – LUKAKU 69’ 75’ ,MERTENS 47’

ස්වීඩන් ප්‍රහාරයෙන් කොරියාවට හානි

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද (18) දිනයේ පළමු තරගය ලෙස F කාණ්ඩය යටතේ කොරියාව හා ස්වීඩනය Nizhny Novgorod හි  Nizhny Novgorod ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර ගෝල 1-0ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට ස්වීඩන් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමු අර්ධය පුරා එකදු කණ්ඩායමකට හෝ ගෝල ලබාගැනීමට නොහැකිවූ අතර කොරියාවට ප්‍රබල පීඩනයක් එල්ල කළ ස්වීඩනය ඉතා ආසන්න අවස්ථා කිහිපයක්ම ළඟා කර ගැනීමට සමත් වූ නමුත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත. අනෙක් අතට කොරියානු කණ්ඩායමට තමන්ගේ අර්ධයටම සීමා වී සිටින්නට සිදු විය.

(කොරියානු මැද පෙළ ක්‍රීඩකයෝ ඔවුන්ගේ ආරක්ෂක ක්‍රීඩකයින්ට එතරම් සහයක් ලබා දුන්නේ නැත- FIFA.com)

කොරියානු ආක්‍රමණවල දී Kim Shinwook ස්වීඩන් ආරක්ෂක ක්‍රීඩකයින් අතර තනිවුයේ කොරියා මැදපෙළ ක්‍රීඩකයින් ඉදිරියට පැමිණීමට එතරම් උනන්දුවක් නොපෙන්වූ නිසාවෙනි.

පළමු අර්ධය: කොරියාව 00 – 00 ස්වීඩනය

අවසාන වරට ස්වීඩන් කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක ගෝලයක් රැස් කළේ 2006 ලෝක කුසලානයේ දී එංගලන්තයට එරෙහිවයි.

ස්වීඩනය කෙතරම් උත්සහ කළ ද කොරියා ගෝ රකින්නා වූ Jo එම උත්සාහයන් රැසක් ව්‍යර්ථ කිරීමට සමත් විය.

මෙසීගේ බලාපොරොත්තු බිඳ වැටේ; ක්‍රොඒෂියා, ප්‍රංශය සහ ඩෙන්මාර්ක්ට ජය

අද (17) දිනයේ සිව්වැනි තරගයේ දී ක්‍රෝඒෂියාව හා නයිජීරියාව තරග වැදුණු අතර ගෝල 2-0ක්…

කෙසේ වෙතත් 64 වන මිනිත්තුවේ දී කොරියා ක්‍රීඩකයෙකු දඬුවම් පහර  චතුරශ්‍රය තුල දී ස්වීඩන් ක්‍රීඩකයෙකුට විනයානුකූල නොවන බාධා කිරීමක් කළ නිසා විනිසුරු විසින් ‘VAR’ තාක්ෂණය භාවිතා කරගෙන ස්වීඩන් ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් ලබා දීමට තීරණය කළේය.

(විනිසුරු ‘VAR’ තාක්ෂණය යොදාගනිමින් ස්වීඩනයට දඬුවම් පහරක් නියම කළේය – FIFA.com)

GRANQVIST 65’ වන මිනිත්තුවේ දී එම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් ජයග්‍රාහී හා තරගයේ එකම ගෝලය වාර්තා කර ගැනීමට සමත් විය.  

අනතුරුව කොරියානු ක්‍රීඩකයින් නව ආදේශක ක්‍රීඩකයින් ද කණ්ඩායමට එකතු කරමින් ගෝලයක් ලබා ගැනීමට උත්සහ කළද ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත.

ස්වීඩනය ලෝක කුසලානයක ආරම්භක තරගයක් ජය ගත්තේ 1958 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

අවසාන ලකුණු තත්වය: ස්වීඩනය 01 – 00 කොරියාව

ගෝල රැස්කළ ක්‍රීඩකය

  • ස්වීඩනය – Andreas GRANQVIST 65’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<