“මහා” නොහොත් දෙවන මැක්ග්‍රාත්

"ග්ලේන් මැක්ග්‍රාත්ගේ දෙවන ආගමනය"

322
Getty Images

අන්තර්ජාතික ක්‍රිකට් විචාරකයන් ඔහුව හැඳින්වූයේ එලෙසින් ය. ඒ ඔහු ජාත්‍යන්තර පිටියට පිවිසෙන විට එතරම් නිවැරදි ඉලක්කයක් හා සීමය තණතීරුවේ වද්දවා පන්දුව සීම් කිරීමේ හැකියාවක් ඔහු සතු වූ නිසාය. ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් එක් අයෙක් වූ ඔහුට විවිධ හේතු නිසා ළඟා කරගැනීමට තිබූ ජයග්‍රහණ ළඟා කර ගැනීමට හැකි වූයේ නැත. 

පසු කාලීනව ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරාගේ ආගමනයත් සමඟින් සෙමෙන් කණ්ඩායමෙන් ඉවතට තල්ලු වී යන්නට ඔහුට සිදු වූ නමුත් ඔහු සතු වූ හැකියාව (Talent) හා ශක්තිය (Potential) ගැන කිසිවෙකුට අමතක කළ නොහැක.

ෆර්වීස් මහරුෆ්..

මෑත භාගයේ දී විස්තර විචාරකයෙකු හා කණ්ඩායම් කළමණාකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තම උපරිමය දායකත්වය ලබා දෙමින් සිටින මහරුෆ් පිළිබඳව යොවුන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් එතරම් දැනුවත් භාවයක් නොමැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම ලිපිය ලියැවෙන්නේ “මහා” යන ආදරණීය නාමයෙන් අමතන ෆර්වීස් මහරුෆ් ගැන නොදන්නා ප්‍රේක්ෂකයන් හට ඔහු පිළිබඳව දැනගැනීම පිණිසයි.

වේගපන්දුවේ දඩබ්බරයා – ඩේල් ස්ටේන්

පන්දුවාර 5යි. ලකුණු 58යි. කඩුලු 1යි. දල ලකුණු ලබා දීමේ වේගය පන්දුවාරයකට ලකුණු 11.6යි. නිපන්දු 7යි. වයිඩ් පන්දු 2යි.

මහරුෆ් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ කොළඹ වෙස්ලි විද්‍යාලයෙනි. ඒ ඔහුට වයස අවුරුදු 8 පමණ වන අවධියේ දී යි.

කුඩා කළ කඩුලු රකින්නෙකු හා පිතිකරුවෙකු වශයෙන් ක්‍රීඩා කළ මහරුෆ් හට දිනක් කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙකු අසනීප තත්ත්වයෙන් පෙළීම හේතුවෙන් අහඹු ලෙස එක් තරගයක පන්දු යැවීමට සිදු වී ඇති අතර එහි දී කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් තරගය තුළ කඩුලු 6ක් දවා ගැනීමට ඔහු සමත් වී ඇත. එයින් පසුව ඔහු කඩුලු රැකීම පසෙක ලා වේගපන්දු යවන්නෙකු වශයෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා පුහුණුකරුගේ අනුමැතිය ද ඔහුට හිමිවී ඇත.

එම තීරණය ඔහුගේ ක්‍රිකට් දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වූ අතර ඒ හේතුවෙන්ම ඔහුගේ පන්දු යැවීමේ හැකියාවත්, පිතිකරණ හැකියාවත් යන දෙකම දිනෙන් දින ඉහළ ගියේ හොඳින් පන්දු යැවීම තුළින් ඔහුට හිමි වූ ආත්ම විශ්වාසය ද ඉහළ යෑම හේතුවෙනි.

පසුව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කිරීමට සමත් වූ මහරුෆ් ඉන් අනතුරුව පාසල් මට්ටමේ 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ යන සියලුම වයස් කාණ්ඩවල දී ශ්‍රී ලංකාව නියෝජනය කීමට සමත් විය. ඒ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තම දායකත්වය කණ්ඩායම වෙත ලබා දෙමිනි.

Getty Images

2001 සහ 2002 යන වසර දෙකෙහි වෙස්ලි විද්‍යාලයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය දැරීමේ අවස්ථාව මහරුෆ් වෙත හිමි විය. 2002 වසරේ අන්තර් පාඨශාලීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අතරතුර ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ගාල්ල රිච්මන්ඩ් විදුහලට එරෙහිව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මහරුෆ් එහි දී ලකුණු 243ක් ලබා ගැනීමට සමත් විය. මෙය වෙස්ලි විදුහලේ ක්‍රීඩකයකු රැස් කළ පළමු ද්විත්ව ශතකය ලෙසින් වාර්තා අතරට එක්ව ඇත.

එසේම 2003 වසරේ දී ශ්‍රී ලංකා පාසල් 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් සංචාරක එංගලන්ත ඇකඩමි කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පන්දු 99ක් තුළ අගනා ලකුණු 100ක් රැස් කිරීමට මහරුෆ් සමත් විය. එම වසරේ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය තුළ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 845ක් රැස් කිරීමට සමත් වූ ඔහු ප්‍රබල ආනන්ද විද්‍යාල කණ්ඩායමට එරෙහිව ලකුණු 146ක් හා නාලන්ද විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 106ක් රැස් කිරීමට සමත් විය.

පිත්තෙන් එසේ දස්කම් දක්වන අතරේ පන්දුවෙන් ද ඒ අයුරින්ම දස්කම් දැක්වීමට මහරුෆ් සමත් වූයේ එම තරගවාරය තුළ කඩුලු 42ක් බිඳ හෙලමිනි. එහි දී ආනන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 56කට ලබා ගත් කඩුලු 5 සුවිශේෂී වෙයි.

වෙස්ලි විද්‍යාලයීය පාසල් ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වීමේ දී ඔහු පෙන්වූ නායකත්ව කුසලතා නිසාවෙන්ම ඔහුට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරීමේ අවස්ථාව ද හිමි වූ අතර විදේශ තරග සංචාර 4ක් වෙනුවෙන් ඔහු තම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මෙහෙයවන ලදී.

Getty Images

19න් පහළ තරග බිමේ දැක්වූ දක්ෂතා හේතුවෙන් 2003 වසරේ දී “වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා” හා ” වසරේ හොඳම පාසල් ක්‍රිකට් පිතිකරුවා” යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීමට ද මහරුෆ් සමත් විය. එයට අමතරව පාසල් ක්‍රිකට් පිටියේ “හොඳම පන්දු යවන්නා”, “හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා” හා “හොඳම නායකයා” යන සම්මාන ත්‍රිත්වයෙහි අවසන් වටයට පිවිසීමට ද ඔහු සමත් විය.

19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමෙන් ලද පන්නරයත්, එයින් ලද අත්දැකීම් සම්භාරයත් නිසා පළමු පෙළ තරග පිටියේ අවධානය මහරුෆ් වෙත යොමු වුනේ නිතැතින්මය. අනතුරුව 2003/04 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා මහරුෆ් තෝරා ගැනීමට තේරීම් කමිටුව තීරණය කළ අතර එම තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ ඔහු එහි දී කඩුලු 9ක් දවා ගැනීමට සමත් වූයේ 11.17ක පන්දු යැවීමේ සාමාන්‍යයක් වාර්තා කරමිනි.

ක්‍රිකට් ක්‍රීඩාව සමීපව ඇසුරු කරන ප්‍රේක්ෂකයන් හා ක්‍රිකට් විචාරකයන් මහරුෆ්ගේ පාසල් තරග දක්ෂතා දෙස බලමින් ඔහු මතු දිනෙක අනිවාර්යයෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන බවට අනාවැකි ද පළ කළහ. ඒ අනාවැකි සැබෑ කරවමින් වයස අවුරුදු 20 වන විට ඕනෑම තරුණ ක්‍රීඩකයකුගේ සිහිනය වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ වාසනාව මහරුෆ්ට හිමි විය.

Getty Images

2004 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් එක් වූ මහරුෆ් එහි දී 2004 අප්‍රේල් මස 25 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමත් සිම්බාබ්වේ කණ්ඩායමත් අතර පැවති තුන්වැනි එක්දින තරගයේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තේ වමත් දඟපන්දු යවන රංගන හේරත් ද සමඟිනි.

එම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරණ ලැයිස්තුව පන්දුවාර 18 ක දී ලකුණු 35කට සීමා කරන්නට  ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර එහි දී අගනා පන්දු යැවීමක නිරත වූ මහරුෆ් පන්දුවාර තුනක් යවමින් ලකුණු 3ක් පමණක් ලබා දී කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

පසුව එම තරග සංචාරයේ දී ම ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ කණ්ඩායමට ඇතුළත් වීමෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට ද මහරුෆ්ට අවස්ථාව හිමි විය. එම තරගයේ දී පන්දු යැවීමෙන් කඩුලු 4ක් දවා ගත් ඔහු පිත්තෙන් ලකුණු 40ක් රැස් කිරීමෙන් කණ්ඩායම වෙත තම දායකත්වය සැපයීමට සමත් විය.

මහරුෆ් ඔහුගේ පන්දු යැවීමේ දක්ෂතාවය මුල්වරට ලොවට ප්‍රදර්ශනය කළේ 2005 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ය. එහි දී ඔහු පන්දුවාර දහයක් යවමින් නිලකුණු පන්දුවාර 5ක් සමඟ ලකුණු 9කට කඩුලු 3ක් දවා ගන්නට සමත් විය. ඉන් අනතුරුව 2006 වසරේ ඉන්දියාවේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 14කට කඩුලු 6ක් දවා ගැනීමට මහරුෆ් සමත් විය. එම තරගයේ දී කොදෙව්වන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 80ක් පමණි.

ආදරණීය රංගයියේ…

රංගන හේරත්.. අපට ඔහු රංගයියා විය. රංගයියා පළමුවරට කාරයක් මිලදී ගෙන ගමට පැමිණි දිනය මට මතකය.

2007 වසරේ ලෝක කුසලානය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත් වීමේ වාසනාව ද මහරුෆ්ට හිමි විය. එහි දී බර්මියුඩා කණ්ඩායමට එරෙහිව තම පළමු ලෝක කුසලාන තරගයට සහභාගී වූ ඔහු ලකුණු 23කට කඩුලු 4ක් ලබා ගත්තේ තම පළමු ලෝක කුසලාන තරගයේම කඩුලු 4ක් දවා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි.

2007 වසර මහරුෆ්ට තවත් කාරණයක් නිසා සුවිශේෂී විය. ඒ අඩුම තරග සංඛ්‍යාවක දී එක්දින කඩුලු 100ක් ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වීමට ඔහුට හැකි වීම නිසායි. ඊට පෙර පැවති වාර්තාව වූයේ මුත්තයියා මුරලිදරන් විසින් තරග 76ක් තුළ කඩුලු 100ක් ලබා ගැනීමයි. මහරුෆ් හට එම දස්කම තරග 75ක් තුළ කිරීමට හැකියාව ලැබුණ අතර පසු කලෙක ලසිත් මාලිංග විසින් තරග 68ක දී කඩුලු 100ක් ලබාගෙන එම වාර්තාව බිඳ දමන ලදී.

2010 වසරේ ජුනි 22 වැනිදා මහරුෆ්ගේ ක්‍රීඩා දිවියේ අමරණීය දිනය ලෙස සඳහන් කළ හැක. ඒ එදින ඔහු ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වීම නිසායි. තරගයේ 39 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ මහරුෆ් එහි දී ඉන්දීය පිතිකරුවන් වන රවින්ද්‍ර ජඩේජා, ප්‍රවීන් කුමාර් සහ සහීර් කාන් පිට පිටම පන්දු 3ක දී දවා ගැනීමට සමත් වූයේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලාංකිකයෙකු ලබාගත් පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරමිනි.

දේශීය තරග බිමේ පමණක් නොව විදෙස් තරගාවලිවලට පවා තම දායකත්වය දැක්වීමට මහරුෆ්ට අවස්ථාව හිමි විය. එහි දී 2008 වසරේ ඉන්දීය IPL තරගාවලිය වෙනුවෙන් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට ඔහු සමත් විය. පසුව 2011 වසරේ දී එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව ද ඔහුට හිමිවුනේ ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා වශයෙන් ඔහුව තෝරා ගැනීම නිසායි.

Getty Images

2012 වසරෙන් පසු වරින්වර කණ්ඩායමෙන් ඉවත් වීමට මහරුෆ් ට සිදු වුනි. කිහිපවරක් නැවතත් කණ්ඩායමට ඇතුළත් වීමට සමත් වුවත් කණ්ඩායමේ නිශ්චිත ස්ථානයක් දිනා ගැනීමට ඔහුට හැකියාවක් ලැබුනේ නැත. කෙසේ හෝ වසර ගණනාවක විවේකයකින් පසු 2016 වසරේ නැවතත් ජාතික කණ්ඩායමට ඇතුල් වීමට මහරුෆ් සමත් වුවත් එවර ද කණ්ඩායමේ රැඳී සිටීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැත.

ඉන්පසු ක්‍රීඩා පිටියෙන් තරමක් ඈත් වී විස්තර විචාරක අට්ටාලයට ගොඩවන්නට ඔහු තීරණය කළ අතර එසේ ක්‍රිකට් විචාරකයෙකු ලෙස කටයුතු කරන අතරවාරයේ 2019 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ කළමණාකරු වශයෙන් පත් කරන ලදී.

මහරුෆ් ජාතික කණ්ඩායම නියෝජනය කරන අවධියේ දී වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව සිටියේ වැරෙන් පන්දුවට පහර දෙන පිතිකරුවෙකු ලෙසයි. ඔහු එල්ල කළ පහරවල් ඉතා ජවසම්පන්නය. දැවැන්තය. විශේෂයෙන්ම අවසන් පන්දුවාර කිහිපයේ දී වම් පාදය පන්දුව එන මාවතෙන් ඉවතට ගෙන ලෝන් ඕන් හා ඩීප් මිඩ් විකට් කලාපයන් ඔස්සේ ඉහළින් ඇදී යන සේ ඔහු එල්ල කළ පහරවල් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තවමත් නොමැකී පවතින බවට සැකයක් නැත.

මෙසේ ඔහුගේ ක්‍රීඩා දක්ෂතාවයන් ස්මරණය කරන අතරේ තම කළමණාකාරීත්ව හැකියාවෙන් හා විචාරක කුසලතාවයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල මෙහෙවරක් කිරීමට මහරුෆ්ට ශක්තිය ලැබේවා යන්න ThePapare.com අපගේ ප්‍රාර්ථනයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<