ආදරණීය රංගයියේ…

1285

රංගන හේරත්..

අපට ඔහු රංගයියා විය. රංගයියා පළමුවරට කාරයක් මිලදී ගෙන ගමට පැමිණි දිනය මට මතකය. ඒ වකවානුවේ කාරයක් මිලදී ගැනීම තරමක් අපහසු කටයුත්තක් වූ අතර එය කළ හැකි වූයේ තරමක් වත් පොහොසත්කමක් ඇති අයෙකුට පමණි. අද මෙන් නොව බොහෝ පුද්ගලයන් කාරයක් මිලදී ගැනීමෙන් පසුව තරමක් ආඩම්බර ගති පෙන්වන යුගයකි ඒ. 

නමුත් එදා ඔහුගේ මුහුණේ හෝ හැසිරීමේ වෙනසක් දක්නට තිබුණේ නැත. අපගේ ගෙය අසල කාරය නවත්වා පැමිණ අම්මා සාදා දුන් කිරි තේ එක බොමින් අප සමඟ සුහදව කතාබස් කළ ඔහු කාරය පිලිබඳව අප කළ විමසීමකට පිළිතුරු දුන්නා විනා ඉන් ඔබ්බට ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත. ඔහු කවදත් එසේය.

රංගයියා ගැන බොහෝ අය දන්නා කතා බොහෝ ය. එනිසා ඔහු ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදාතුර පහළ වූ ශ්‍රේෂ්ඨතම වමත් දඟපන්දු යවන්නා වීම ගැන මම ලියන්නේ නැත.

ඔහු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් වමත් පන්දු යවන්නා වීම ගැන මම ලියන්නේ නැත.

ඔහු ලබාගත් කඩුලු ත්‍රිත්වය ගැන මම ලියන්නේ නැත.

ඔහු නොමැති නම් නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගය පරාජය වී 2014 වසරේ 20/20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අහිමි වීමට තිබුණු කතාව හෝ ඔහු විසින් එය හිමි කර දුන් කතාව මම ලියන්නේ නැත.

ප්‍රතිවාදී පිළේ පන්දු යැවීමේ බල ඇණිය විසින් අපගේ පිතිකරණ බල ඇණිය සුනුවිසුනු කර තිබූ අවස්ථාවල දී සමස්ත පන්දු යැවීමේ බල ඇණියේම වගකීම තම කර මතට ගෙන හුදකලාවේ සටන් කරමින් තරග ජයග්‍රහණය කරවූ වාර ගණන මම ලියන්නේ ද නැත.

ඔහු ගැන ලිවීමට තරම් වචනවලින් සිංහල භාෂාව පොහොසත් දැයි මම නොදනිමි. රංගන හේරත් විසින් ලක් මාතාවටත්, ක්‍රිකට් ක්‍රීඩාවටත් කළ මෙහෙය ගැන ලිවීමට යාම අහසේ තරු ගැනීම, පොළොවේ වැලි කැට ගණන ගැනීම, මුහුදු වෙරළක බිඳෙන රළ ගණන ගැනීම හා සමාන වූ නිෂ්ඵල ක්‍රියාවකි. ඉදින් මට කළ හැක්කේ ඔහු ගැන මා දන්නා සොච්චම ලිවීමට උත්සාහ කිරීම පමණි.  ඒ නිසා මා දන්නා ඔහු පිළිබඳව මම ලියා තබමි. 

© espncricinfo

මා ඔහුව දන්නේ රංගයියා ලෙසින් ය. මා නිවසට මීටර හත්සියයක් පමණ ඈතින් ඔහුගේ නිවස පිහිටා තිබීම නිසා කුඩා කළ පටන්ම ඔහුව යම් තරමකට හෝ ඇසුරු කිරීමට මා හට වාසනාව ලැබුණි. මගේ මතකයේ රැඳී තිබෙන පරිදි එකල අප ගමේ තරුණ පිරිස එක්ව සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන අවධියේ රංගයියා වඩාත් දක්ෂ වූයේ පිතිකරණයටයි. එකල අප නිවසට පහළ වෙල යාය අසල පිහිටි කමත අපගේ ක්‍රීඩා පිටිය විය. රංගයියා පිළිබඳව මගේ මුල්ම මතක ඇත්තේ එම කමතේ ක්‍රීඩා කළ අවධියේය. 

කමත ගමේ යොවුන් පිරිසට සැණකෙළි භූමියකි. පාසල් ඇරී ආපසු ගෙදර පැමිණ සවස තුන හතර වන විට පටන් ගන්නා ක්‍රිකට් සැණකෙළිය නිමා වන්නේ අප කාගේ හෝ නිවසකින් ක්‍රීඩාව අවසන් කරන්නට නියෝගයක් පැමිණි පසුවය. ගොයම් කපනා කාලයට කමත වටේ පිදුරු ගොඩවල් ගොඩගසා තිබෙන නිසා හයේ පහරක් එල්ල කිරීමට නම් පිදුරු ගොඩවල් වලට ඉහළින් පන්දුව ඇදී යන්නට පහර එල්ල කළ යුතුය. එසේ ක්‍රීඩා කරන අතරේ රංගයියා විසින් දණහිස නවා තම පා ඉන්න දෙසින් පන්දුව කමතේ පිදුරු ගොඩවල් වලට ඉහළින් ඇදී යන්නට එල්ල කළ ස්වීප් පහරවල් තවමත් මගේ මතකයේ හොඳින් ගබඩා වී ඇත.

© Alamy

එකල සිංහල අලුත් අවුරුදු සමයට ගමේ තරුණ පිරිස එක්ව වාර්ෂිකව සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළ අතර එම තරගාවලියේ ප්‍රබලතම ක්‍රීඩකයන් අතර කැපී පෙනුනේ රංගයියා යි. රංගයියා පන්දු යැවීමට පැමිණෙන විට පිතිකරුවන් බොහෝ විට සිතන්නේ ඔහු දඟපන්දු යැවීමට පැමිණෙන බවයි. පන්දු යැවීමේ සීමා ඉර අසල සිටගෙන අඩි දෙකක් පමණක් තබා විදුලි වේගයෙන් පන්දුව යෝකර් ලෙන්ත් එකට යොමු කරන්නට ඔහු ඉතා දක්ෂය. ඒ බොහෝ අවස්ථාවල දී පිතිකරුවා පිත්ත ඔසවන විට පන්දුව පිතිකරු පසු කර ගොස් කඩුල්ලේ වැදී හෝ කඩුලු රකින්නා අතට ගොස් හමාරය. එවන් තරගාවලි බොහොමයක් අවසන් වූයේ රංගයියා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමෙනි. ඒ කුමන සම්මාන දිනා ගත්ත ද ඔහුගේ වැඩි කතා බහක් හෝ උද්‍යෝගයක් ඒ පිළිබඳව තිබුණේ නැත. ඔහුට වැදගත් වූයේ කණ්ඩායම දිනවීම පමණක්මය.

නාරම්මල මයුරපාදයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලයට ගිය, පසුව ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනමම තලයකට ගිය බව මට මතකය. එකල පොල්ගහවෙල ලෙවන් ස්ටාර්ස් (Eleven Stars) නමින් සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායමක් තිබුණ අතර පොල්ගහවෙල නගරය කේන්ද්‍ර කරගෙන හැදී වැඩුණ තරුණයන් පිරිසකගෙන් මෙම කණ්ඩායම සමන්විත විය. 

ඉතා දුර බැහැර පළාත්වල පවා සංවිධානය කෙරුණ සැහැල්ලු පන්දු තරගාවලි වලට සහභාගී වීමට මෙම තරුණ පිරිස අමතක කළේ නැත. එම කණ්ඩායමේ ද කැපී පෙනෙන තරුව වූයේ රංගයියායි. පාසල් ක්‍රිකට් තරග සහ පුහුණුවීම් යෙදී තිබූ නිසාවෙන් නිතර සැහැල්ලු පන්දු තරගවලට එක් වන්නට ඔහුට අවස්ථාව නොලැබුනත් ලැබුණ සෑම අවස්ථාවක දී ම තම පන්දුවෙන් පමණක් නොව පිත්තෙන් ද උපරිම දායකත්වය සපයා කණ්ඩායම ජයග්‍රහණය කරවීම ඔහුට නුපුරුදු දෙයක් නොවීය.

© twitter

1999 වසරේ ටෙස්ට් වරම් දිනා ගැනීමේ පටන් 2018 වසරේ ටෙස්ට් පිටියෙන් සමුගැනීම දක්වා ක්‍රිකට් පිටිය තුළ ඔහු පෑ දස්කම් පිළිබඳව මම ලියන්නට යන්නේ නැත. ඒවා පිළිබඳව යළි යළිත් ලිවීමට අවැසි නොවේ. තවත් වසර සීයක් ගිය පසුව වුවද ක්‍රිකට් ඉතිහාසය පෙරලා බලන්නෙකුට මග නොහැරෙන පරිදි ඒ ඉතිහාස කතාවේ තම නම සටහන් කරන්නට රංගන හේරත් නම් වූ විශිෂ්ටයා සමත් වී ඇත. 

ඔහු තබා ඇති වාර්තා ඔහු වෙනුවෙන් පෙනී සිටින නිසා මා වැන්නෙකුට ඒ ගැන අමුතුවෙන් ලියන්නට යමක් ඉතිරී වී නැත. මා ලිවිය යුත්තේ බොහෝ දෙනෙක් නොදන්නා කතාවයි. බොහෝ දෙනෙක් ඔහු ගැන නොකියවූ කතාවයි. 

රංගන හේරත් කිසිදිනෙක ඉන්ද්‍රජාලික පන්දු යැවූ පන්දු යවන්නෙකු නොවේ. තම මංගල ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියාවේ ඩේමියන් ෆ්ලෙමින් දවා ගැනීමට යොමු කළ කැරම් පන්දුව හැරුණුකොට ඔහු සතුව ඉන්ද්‍රජාලික පන්දු තිබුනේම නැත. ඔහු තම මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරු රිකී පොන්ටින් දවා ගත්තේ ද ඉන්ද්‍රජාලික හැකියාවකින් නොවේ. 

ප්‍රතිවාදියා පරාජය කර කඩුලු දවා ගැනීමේ සටනේ ඔහුගේ ආයුධ වූයේ ඉවසීම සහ සැලසුම් කිරීමයි. ඔහුගේ ඉවසීමේ තරම හිමාල වනයේ භාවනානුයෝගී බ්‍රාහ්මණයෙකුගේ ඉවසීම තරම් ය. පිතිකරුවාගේ මනස කියවමින් ඔහුගේ මනස සමඟ සෙල්ලම් කිරීම රංගන හේරත්ගේ විනෝදාංශයයි. පන්දුවෙන් පන්දුව පිතිකරුවාගේ ඉවසීම පරීක්ෂා කරමින් පිතිකරුවාගේ මනස සමඟ ඔහු කරන සෙල්ලම බලා සිටීමට ප්‍රිය ය. තම පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් විට ඔහු ඒ පිළිබඳව චෝදනා නොකරනු ඇත. 

නමුත් පන්දු විස්සක් තිහක් යොමුකර සෙමෙන් සෙමෙන් පිතිකරුවාව උගුලට හසු කරගෙන දවා ගත් පසුව දැනෙනා සතුට පළමු පන්දුවෙන් දවාගෙන ලබන සතුටට වඩා බොහෝ සෙයින් වැඩි වනවාට සැකයක් නැත. එය හරියටම දන්නේ රංගන හේරත්ම පමණි.

© Sportzwiki

පිතිකරුවන් දවා ගැනීම සඳහා බොහෝ විට තම ඉවසීම භාවිතා කළත් ඇතැම් අවස්ථාවල දී පිතිකරුව උගුලට හසු කර ගැනීමට ඔහු තම තීක්ෂණ බුද්ධිය මෙහෙයව අයුරු අපූරු ය.  අවධානයෙන් බලා සිටින්නෙකුට එය බටහිර චිත්‍රපට අධ්‍යක්ෂක ක්වෙන්ටින් ටැරන්ටිනෝගේ චිත්‍රපටයක් නරඹනවා වැනිය. හොඳින් පන්දු යවමින් සිටින අතරේ එක් වරම ඔබ දකින්නේ ඉවසීම ගිලිහී ගිය රංගන හේරත් ය. ඒ අතරම පිට ඉන්නට ඈතින් යොමු වෙන පන්දු, තණතිල්ල මැද පතිත කරවමින් එවන පන්දු, ෆුල්ටොස් පන්දු කිහිපයක් යොමුවෙන අතර ඉන් එකක් දෙකක් නතර වන්නේ පිතිකරුවා විසින් හතරේ සීමාව වෙත යොමු කිරීමෙනි.

පිතිකරුටත්, බලා සිටින ප්‍රේක්ෂකයන්ටත් සිතෙන්නේ රංගනගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් අයාලේ පන්දු යවන බවයි. ඉතින් එතෙක් වේලා තම කඩුල්ල ආරක්ෂා කරගෙන පහර දුන් පිතිකරු දැන් රිසිසේ පහරවල් වලට ගොස් ලකුණු රැස් කරන්නට පටන් ගනී.

පන්දු කිහිපයකට පසුව කිසිවෙකු නොසිතන මොහොතක පිතිකරුවා දැවී යන්නේ අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යෑමෙන් නරඹන්නන් හා විචාරකයන් ඉදිරියේ තමා මෝඩයෙකු ගේ තත්ත්වයට පත්කර ගනිමිනි. සිදු වූ දේ කුමක් දැයි සිතා ගැනීමට නොහැකිව පිතිකරුවා ආපසු ක්‍රීඩාගාරයට ඇවිද යන අතරේ රංගන හේරත් සිනාසෙයි. කිසි විටෙක ඔහුගේ ඉවසීම ගිලිහී තිබුණේ නැත. එසේ ඉවසීම ගිලිහුණු බවක් පෙන්වීම ඔහුගේ පිතිකරු දවා ගැනීමේ සැලසුමේ එක් කොටසක් පමණි. 

© thenational.ae

කඳුකර ප්‍රදේශ වල සොබා සුන්දරත්වය සැමට විඳිය හැකි එකක් නොවේ. විමසිල්ලෙන් බලා සිටියහොත් විනා එසේ නොමැතිව එහි ලස්සනක් දැකිය හොහැක. රංගන හේරත්ගේ පන්දුවාර කිහිපයක් නැරඹීම මීදුම් පිරි කඳුකර මාවතක සංචාරය කිරීමක් වැනිය.  එය දිගුය. විටෙක එය ඒකාකාරී ය. සැවොම එයට ප්‍රිය නොවේ. ප්‍රිය වුවත් සැමට එය විඳිය හැකි නොවේ. බොහෝ දෙනෙකුට නොපෙනුනත් විමසිල්ලෙන් බලන අයෙකුට පමණක් එය සුන්දරත්වයෙන් පිරී ඇති බව වැටහී යයි. 

විටෙක පන්දුව ගුවනට මුසු කරමින්, තවත් විටෙක පන්දුව වේගයෙන් යොමු කරමින්, එකම ස්ථානයේ පන්දු තුන හතරක් එක දිගට පතිත කරවමින් ඔහු පන්දුවාර ගණනාවක් පුරාවට පිතිකරුවා සමඟ කරන මේ මානසික සටන බොහෝ විට අවසන් වන්නේ පිතිකරුවාගේ පිත්ත අසලින් රිංගා යන පන්දුව කඩුල්ල ඉදිරියේම පිතිකරුගේ ඉදිරි පාදයේ දැවටී පිතිකරු කඩුල්ල මුවා කිරීමට හසුවී දැවී යාමෙන්ය. නැතහොත් පිත්තේ පිටත දාරය සිපගන්නා පන්දුව ස්ලිප් ක්‍රීඩකයා විසින් රැක ගැනීමෙන්ය. එසේත් නැති නම් පිත්තත්, පා ආවරණයත් අතරින් රිංගා යන පන්දුව කඩුල්ලේ දැවටීමෙන් ය.

© skysports

රංගන හේරත් විශිෂ්ටයෙකු ලෙස සැලකීමට හේතු දහස් ගණනක් තිබේ. එක් එක් පුද්ගලයාට අනුව ඒ හේතු විවිධ විය හැක.

මා හට ඔහු විශිෂ්ටයෙකු වන්නේ ඔහු කිසි දිනෙක වෙනස් නොවූ මිනිසෙක් නිසා ය. නාරම්මල මයුරපාදයේ ක්‍රිකට් ක්‍රීඩා කරන අවධියේ ඔහු තුළ තිබූ ලෙංගතුකම ලොව එදා මෙදාතුර පහළ වූ ශ්‍රේෂ්ටතම වමත් දඟපන්දු යවන්නා වූ පසුවත් බිඳක් හෝ අඩුවක් නොවී එලෙසින්ම පැවතීම නිසා ය. 

කුඩා කළ කමතේ ක්‍රිකට් ගසන අවධියේ අප නිවස අසලට පැමිණ මා ඇමතූ ඔහු ඉන් වසර විසි ගණනකට පසුව ලොව වැඩිම කඩුලු ගණනක් දවා ගත් වමත් පන්දු යවන්නා  වශයෙන් ලෝක පූජිත වූ පසුවත් අප නිවස අසල තම වාහනය නවත්වා මා ඇමතීමට තරම් නිහතමානී වන නිසා ය. 

ඔහු ඒ තරම් නිහතමානී විය යුතු නැත.  ජාත්‍යන්තරය ජය ගත් ලෝක පූජිත ක්‍රීඩකයෙකු මා වැනි සාමාන්‍ය පුද්ගලයෙකු ඉදිරියේ එතරම් නිහතමානී විය යුතුම නැත. නමුත් ඔහු එසේ ය.. මට පමණක් නොව ඔහු සැමට එසේ ය.

ඒ රංගන හේරත් ය..

මා ඔහුට හිස නමන්නේ ඒ නිහතමානී ශ්‍රේෂ්ඨත්වයටය.

ආදරණීය රංගයියේ.. ඔබට දීර්ඝායුෂ!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<