ගෙවුනු දවස අගෝස්තු 31 – හතර වෙනි තරගයත් ඉන්දියාවට

182

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

Virat Kohli

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ සිව්වැනි තරගයත් ඊයේ (31) ඉන්දියානු කණ්ඩායම ජය ගත්තේ කිසිදු තරගයකින් තොරවයි. ඒ අනුව ජයග්‍රහණයක හෝඩුවාවක් හෝ නොමැතිව ඉදිරියට යන එක්දින තරගාවලියේ මේ වන විට ඉන්දියානුවන් ඉදිරියෙන් සිටින්නේ තරග 4 – 0ක් ලෙසයි. ඊයේ තරගය ලකුණු 168කින් පරාජය වීම ශ්‍රී ලංකා පිළ මව්බිමේ දී ලැබූ දරුණුම එක්දින පරාජය ලෙස ද ඉතිහාසයට එක්විය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංග අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසා ඔහුට මුල් තරග දෙකෙන් අනතුරුව තරග තහනමක් හිමි වූ අතර තෙවැනි එක්දින තරගයේ දී නායකත්වය දැරුවේ මැදපෙළ පිතිකරු චාමර කපුගෙදරයි. නමුත් එහි දී ඔහු ද ආබාධයකට ලක්වීම නිසා ඊයේ තරගයේ දී ශ්‍රී ලංකා පිළේ නායකත්වය හිමිව තිබුණේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගටයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ කාසියේ වාසිය ජය ගැනීමට තරම් ඔහු වාසනාවන්ත නොවීය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ කෝලිගේ ඇරයුමින් ප්‍රථමයෙන්ම පන්දු යැවීමටයි. කෙසේ වෙතත් කාසියේ වාසිය ජය ගත්තා නම් ගන්නට සිටි තීරණය පිලිබඳව විමසූ මොහොතේ නායක මාලිංග පවසා සිටියේ තමන් ද පන්දු යැවීම තෝරා ගැනීමට කැමැත්තෙන් සිටි බවයි.

සම්පූර්ණ වාර්තාව: මව්බිමේ දී ලැබූ දරුණුම එක්දින තරග පරාජය ශ්‍රී ලංකාවට!

  මලල ක්‍රීඩා  

ජාතික තරගාවලියේ ප්‍රථම දිනය නිමයි

National day 1මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන 95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (31) ආරම්භ වූ අතර එය අද(1) සහ හෙට (2) යන දින තුන පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ. ඊයේ දිනය තුල බොහෝ තරග ඉසව්වල මූලික වටයේ තරග පැවැත්වූ අතර ඉසව් කිහිපයක අවසන් මහා තරග ද පැවැත්විය.

මෙවර තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ආරම්භ විය. විවෘත තරගාවලියක් වන මේ සඳහා මලල ක්‍රීඩාවේ නිරත සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමට අවස්ථාව හිමි විය. මෙම තරගාවලිය එළඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට හා පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා තේරීම් තරගයක් වශයෙන් සලකන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුද්ගලික දක්ෂතා ප්‍රකට කළ හැකි තරගාවලියක් ලෙස ද සැලකේ. මේ සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.

සම්පූර්ණ වාර්තාව: යුද, ගුවන් දක්ෂතා මැද ප්‍රථම දිනය නිමා වෙයි

දිනයක අවසානය