ශ්‍රී ලංකා වාර්තාවක්, යුද හමුදා වාර්තාවක් ඇතුළුව නව තරග වාර්තා 5කින් ඇරඹුණු, 56 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු දිනය අද (26) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.

අගෝස්තු මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ලකුණු 145ක් රැස්කරගෙන සිටින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමයි.

යුද හමුදා සහය දිවීමෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

05 වැනි යුද හමුදා සහය දිවීමේ සැණකෙළිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාව දකින්නේ ශ්‍රී ලංකා වාර්තා…

ශ්‍රී ලංකාව වෙනුවෙන් 1964 වසරේ දී ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ රණතුංග කරුණානන්ද නම් ක්‍රීඩකයෙකු සුදුසුකම් ලබා ගැනීමේ ඉසව්වක දී කාගේත් අවධානයට ලක්වූයේ මීටර් 10,000 ඉසව්වේ අවසානයා ලෙස ඉසව්ව නිමා කරමින්.

අද දිනයේ දී එම සිදුවීම නැවත සිහිපත් කරමින් මීටර් 10,000 ඉසව්ව නිමා වූයේ නව තරග වාර්තාවක් සමඟිනි.

මිනිත්තු 36:43.9 කාලයක් වාර්තා කරමින් නිමේෂා නන්දසේන ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කම ජයග්‍රහණය කළත්, එම ඉසව්වට සහභාගී වූ ඩී. ජී. අධිකාරි නම් ක්‍රීඩිකාව ඉසව්වේ 8 වැනි ස්ථානය දිනා ගත් ක්‍රීඩිකාවටත් වඩා මිනිත්තු 12ක් පමණ ප්‍රමාද වෙමින් ඉසව්ව අවසන් කළේ සිය අධිෂ්ඨානය සහ ධෛර්ය මනාව පිළිබිඹු කරමිනි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගවල සිට ඉතාමත් උණුසුම් තරග ඉසව්වක් වුන පිරිමි මීටර් 200 ඉසව්වේ අවසන් තරගය සඳහා ප්‍රබලයින් කිහිප දෙනෙක් සුදුසුකම් ලබා තිබුණි.

ඒ අතරින් දකුණු ආසියාවේ කඟවේනා ලෙස හැඳින්වෙන හිමෂ එෂාන් ද විය. අවිවාදයකින් තොරවම තත්පර 21.43ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවත් සමඟින් ඉසව්ව අවසන් කරන්නට සමත් විය. ඉසව්ව සඳහා සහභාගී වුන අරුණ දර්ශන සහ මොහොමඩ් සෆාන් දෙදෙනා දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා තියුණු සටනක නිරත වුන අතර මිලිතත්පර ගණනකින් පෙරමුණ ගත් අරුණ (21.46) රිදි පදක්කම දිනා ගනිද්දී, සෆාන්ට තෙවැනි ස්ථානය හිමි විය.

>> තරගාවලියේ පළමු දිනයේ ඡායාරූප ඇල්බමයට මෙතැනින් පිවිසෙන්න <<

නිමා වුන 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත් දුර පැනීමේ වාර්තාවට හිමිකම් කියන යුද හමුදා ක්‍රීඩක අමිල ජයසිරිට මෙම තරගාවලියේ දෙවැනි ස්ථානයට (මීටර් 7.94) ඇද වැටෙන්න සිදු විය. ඒ තුන් පිම්ම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ග්‍රේෂන් දනංජය මීටර් 7.96 දුරක් වාර්තා කරමින් නව වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වීම නිසාවෙනි.

ග්‍රේෂන් දනංජය

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා 5 වැනි බලකායේ විදූෂා ලක්ෂානි මෙම තරගාවලියේ දුර පැනීම ඉසව්වෙන් නව වාර්තාවත් සමඟින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනේ මීටර 6.04ක් වාර්තා කරමිනි. 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී තුන් පිම්ම සහ දුර පැනීම ඉසව් ද්විත්වයෙන්ම රන් පදක්කම් දිනා ගන්නට ඇය සමත් වූවාය.

විදූෂා ජාතික වාර්තාව බිඳී; ප්‍රථම වරට ශර්මිලා 200යෙන් රන් දිනයි

එළඹෙන දෙසැම්බරයේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට මලල…

මීටර් 5000 සහ මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ආර්. එම්. එස්. පුෂ්පකුමාර ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු බලකාය නියෝජනය කරමින් යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවට සහභාගී වූයේ මීටර් 5000 ඉසව්ව සඳහායි. එහි දී මිනිත්තු 14.34.45ක දක්ෂතාවයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගන්නට ඔහු සමත් විය. ඔහුට වඩා තත්පර 05.55ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු බලකායේම කේ. ශන්මුගේශ්වරන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

අර්. එම්. එස්. පුෂ්පකුමාර (දකුණ)

මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් දක්ෂතා දක්වන කෞෂල්‍යා මදුෂානි මෙම තරගාවලිය ආරම්භයේ දී ම වාර්තාවක් පිහිටුවන්නට සමත් වූයේ තත්පර 59.25 කාලයක් වාර්තා කරමින්. ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී ද ඇය රන් පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත් වූයේ සිය හොඳම පෞද්ගලික කාලය (58.18) වාර්තා කරමිනි.

කෞෂල්‍යා මදුෂානි

මෙම තරගාවලියේ කාන්තා රිටි පැනීම ඉසව්වට සහභාගී වූයේ එක් ක්‍රීඩිකාවක් පමණි. සචිනි පෙරේරාට අභියෝගයක් වන්නට කිසිදු ක්‍රීඩිකාවක් නොමැති වූවත් ඇය විසින් මීටර් 3.42 උසක් වාර්තා කරමින් නව යුද හමුදා තරග වාර්තාවක් පිහිටුවන්නට සමත් වූවාය. 

ජාතික මලල ක්‍රීඩා ශූරතාවයෙන් බිහිවූ නව කෙටිදුර ධාවන ශූරිය ලක්ෂිකා සුගන්දි යුද හමුදා ශූරතාවයේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු වීමට සමත් වුනේ මීටර් 200 ඉසව්ව සඳහා සහභාගී වෙමිනි. මීටර් 24.49ක කාලයක් වාර්තා කරන්නට එහි දී ඇය සමත් විය. 

මිටිය විසිකිරීමේ ශූරයා වන ගැමුණු හේවා බලකායේ සිසිර කුමාර මීටර් 50.70 දුරක් වාර්තා කරමින් ද, කාන්තා උස පැනීමේ ඉසව්වෙන් මීටර් 1.50ක උසක් වාර්තා කළ ශ්‍රී ලංකා යුද හමුදා 5 වැනි කාන්තා බලකාය නියෝජනය කළ ආර්. එස්. කුරේ ද නව තරග වාර්තා පිහිටුවන්නට සමත් විය.

>>පළමු දිනය අවසානයේ තරග වාර්තා සහ සම්පූර්ණ ලකුණු සටහන<<

තරගාවලියේ දෙවැනි දිනය හෙට (27) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<