දකුණු අප්‍රිකානු රග්බි නියමුවාගෙන් ගම්වැසියන්ට තෑග්ගක්

81
Siya Kolisi
Siya Kolisi

COVID-19 වසංගතය නිසාවෙන් තම දෛනික අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකිව අසරණව සිටින පවුල් රැසකටම පිළිසරණක් වූ උතුම් මානුෂීය ගුණාංගයන්ගෙන් හෙඹි ක්‍රීඩා තරු රැසක් පිළිබඳව පුවත් මේ දිනවල මාධ්‍ය තුලින් සුලහව දැකබලා ගත හැකි වේ.

නවසීලන්ත රග්බි වෙනුවෙන් All Blacks විරුවන් පෙරමුණ ගනියි

ඉදිරි කාලසීමාව තුල දී ආර්ථිකමය වශයෙන් අර්බුද රැසකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි අපේක්ෂා කරන…

ඒ අතරින් ලෝක රග්බි කිරුළ තම මව්බිම වෙත දිනා දීමේ දී කැපී පෙනෙන කාර්‍යභාර්‍යක් ඉටු කළ දකුණු අප්‍රිකානු නායක සියා කොලිසි විසින් ක්‍රියාත්මක කරන මානුෂීය මෙහෙවර පිළිබඳ පුවත මේ අතරින් වඩාත් කථා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.

කුඩා කල සිට තමන් හැදී වැඩුණු කේප් ටවුන් නගරයේ උතුරු සීමාවට වන්න පිහිටා තිබෙන ස්වයිඩ් ගම්මානයේ ජනතාවට උද්ගතව ඇති තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව සැලවීමත් සමඟම සඳුදා (20) දිනයේ දී කොලිසි ඔවුන්ගේ පිහිටට පැමිණ තිබුණේ සියල්ලන්ටම සරිලන ආහාර මළු රැසක් ද පරිත්‍යාග කිරීමේ අරමුණෙනි.

සමාජ සත්කාරක ක්‍රියාන්විතයන් සඳහා පෙරමුණ ගැනීමට දැඩි කැමැත්තක් දක්වන කොලිසි ඔහුගේ නමින් පිහිටුවා ඇති කොලිසි අරමුදලේ අනුග්‍රහය ඇතිව මෙම ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර ඊට සහය දක්වමින් නෙල්සන් මැන්ඩෙලා පදනම, උබුන්ටු පාර්ත්වේ සහ ඕල්ඩ් මූචුවල් ආයතන මෙන්ම ඉමුබ්බා පදනම ද ඉදිරිපත් වී තිබුණේ එම වැඩපිළිවෙළ තවදුරටත් සවිබල ගන්වමිනි.

කොලිසිගේ පැමිණීමෙන් මවිතයට පත්වුණු ඔහුගේ ගම්වැසියන් ඔහු රැගෙන ආ ආහාර තොගය දැකීමෙන් අමන්දානන්දයට පත්වූයේ ඉදිරි දින කිහිපය සඳහා කුසට අහරක් සරිකර ගැනීමට එම ආහාර තොගය ප්‍රමාණවත් වනු ඇති නිසාවෙනි. ඉරිඟු පිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු මළු 500ක් පමණ ජනතාව අතරේ බෙදා දීමට කොලිසි ඇතුළු කණ්ඩායම කටයුතු කළේය.

සුපිරි All Blacks ක්‍රීඩකයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ අගයක් …

“අපි මේ කරන මෙහෙයුමේ ප්‍රධාන අරමුණ තමයි මිනිස්සුන්ගේ කුසගින්න නිවන එක. මමත් මේ ප්‍රදේශයේ හැදී වැඩුණ කෙනෙක් විදියට මගේ යුතුකම තමයි අවශ්‍ය මොහොතේ දී හැකි පමණින් අනෙක් අයට උදව් උපකාර කරන එක.”

“අපි වෙලාවේ දී වෙනදාටත් වඩා කල්පනාකාරීව, වැඩ කරන්න ඕන වගේම අනෙකා ගැනත් හිතලා තීන්දු තීරණ ගන්න ඕනෑ. දන් පවතින නීති රාමුවත් එක්ක මේ අසරණ මිනිස්සුන්ට හැකියාවක් නැහැ තවත් කෙනෙක් ඉදිරියට ගිහිල්ලා කන්න යමක් ඉල්ලා ගන්න. 

“ඒ නිසයි අපි තීරණය කළේ මේ වගේ වැඩසටහනක් සංවිධානය කරන්න. මේ කර්තව්‍යය සාර්ථක කරගන්න අපිට ගොඩක් පාර්ශවයින් උදව් උපකාර කළා. ඒ හැමදෙනාටම මම මගේ ගෞරවාදර ස්තූතිය පුද කර සිටිනවා.”

මෙලෙස තම අදහස් දක්වා සිටි දකුණු අප්‍රිකානු නායක සියා කොලිසි වැඩිදුරටත් සඳහන් කර සිටියේ උබුන්ටු පාර්ත්වේ වැනි සුවිසල් සමාජ මෙහෙවරක් ඉටු කරන ආයතන සමඟම එක්ව කටයුතු කිරීමට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් ඔහු ඉමහත් සතුටට පත්වන බවයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<