කෝලි මොහාලි පිටිය දෙවනත් කරයි

117

සංචාරක දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර මොහාලි හීදී පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (18) සමත් විය.

මෙම තරගාවලියේ පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පසුගිය 15 වෙනිදා ධර්මසාලා හිදී පැවැත්වීමට නියමිත වූ අතර වර්ෂාව හේතුවෙන් එය අතහැර දැමීමට සිදු විය

පාකිස්තාන සංචාරයට ICCයෙන් කොක්කක්

ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිත තරග නිලධාරීන් නම් කිරීමට පෙර එම තරගාවලිය සඳහා පාකිස්තානය…

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළේ වේගපන්දුවට හිතකර මොහාලි තණතීරුවේ උපරිම වාසිය ලබාගැනීමේ අටියෙනි. අද තරගයේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තිදෙනෙකුම (ටෙම්බා බවුමා, බියෝන් ෆෝටේන් සහ අන්‍රිත් නොකියා) ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගැනීම සුවිශේෂීත්වයකි.

මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දු වාර 20 තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 149ක් රැස්කළේ ඉන්දියාව අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි ගණනකට ලකුණු පුවරුව තරමක් ඔසවා තබමිනි.

දකුණු අප්‍රිකානු ඉනිම අරඹමින් ආරම්භක පිතිකරුවන් වශයෙන් පිටියට පිවිසියේ දකුණු අප්‍රිකානු වැඩ බලන නායක ක්වින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් යුගලයයි.

ඉනිම ආරම්භයේ පටන් එක් අන්තයකින් සාර්ථක වෙමින් ඩි කොක් ලකුණු රැස් කිරීම කළ අතර අනෙක් අන්තයෙන් මන්දගාමී සහ දුර්වල පිතිකරණ විලාශයක යෙදුණු හෙන්ඩ්‍රික්ස් පන්දු 11කට මුහුණ දෙමින් රැස් කළේ ලකුණු 6ක් පමණි. පන්දුවාර 3.5ක දී දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 31ක් වන විට දීපක් චහාර්ගේ පන්දුවක් හමුවේ වොෂින්ටන් සුන්දර් අතට උඩපන්දුවක් ලබා දී ඔහු දැවී ගියේය.

අනතුරුව පිටියට එක්වූයේ තම මංගල විස්සයි විස්සයි තරගයට ක්‍රීඩා කරන ටෙම්බා බවුමා යි. නායක ඩි කොකො සමඟ එකතු වූ බවුමා දකුණු අප්‍රිකානු ඉනිමේ නැංගුරම බවට පත් වූයේ ඩි කොක්ගේ ප්‍රහාරාත්මක ඉනිමට අනගි සහයක් ලබා දෙමිනි. ඔවුන් දෙදෙනා අතර ඉනිමේ වැඩිම ලකුණු සබඳතාවය ලෙස ලකුණු 57ක සාර්ථක සබඳතාවයක් පැවැත්වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 88ක් වන විට ඩි කොක් නව්දීප් සයිනිගේ පන්දුවක් හමුවේ දැවී ගියේ පන්දු 37කදී ලකුණු 52ක් ලබා ගැනීමෙන් අනතුරුවය.

ඒ සමඟම වැඩි වේලාවක් යාමට මත්තෙන් ඉනිමේ සිව්වැනි පිතිකරුවා ලෙස පැමිණි රසී වැන්ඩර් ඩසන් ද ආ විගසින් එක් ලකුණකට දැවී ගියේ අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේ හරවා ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමිනි.

මද වේලාවකින් අනතුරුව අනෙක් අන්තයේ ලකුණු රැස්කළ ටෙම්බා බවුමා තම ඉනිම හමාර කළේ තම මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම අර්ධ ශතකයකින් සනිටුහන් කරගැනීමේ අවස්ථාව එක් ලකුණකින් මගහරවා ගනිමිනි.

පන්දු 43කදී ලකුණු 49ක් ලබා සිටි ඔහු ඉනිමේ සිව්වැනි කඩුල්ල වශයෙන් දැවී ගියේ මුළු ලකුණු පුවරුව 128 දක්වා රැගෙන යමිනි.

තරග පාවාදීම කාන්තා ක්‍රිකට් වලටත්?

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල තරග පාවාදීමේ අවස්ථාවන් කීපයක් පසුගිය දිනවල දී වාර්තා විය. මෙම තරග පාවාදීම ඉන්දියාව…

කෙසේ වෙතත් ඒ වන විටත් දකුණු අප්‍රිකාවේ ලකුණු ලබා ගැනීමේ වේගය සෑහීමකට පත්විය හැකි මට්ටමකට නොතිබූ අතර ඉනිමේ ලකුණු වේගය වැඩි කිරීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි ඩේවිඩ් මිලර්ට ද ලබා ගැනීමට හැකි වූයේ පන්දු 15ක් තුළ ලකුණු 18ක් පමණි. දකුණු අප්‍රිකානු පස්වැනි කඩුල්ල ලෙස ඔහු හර්දික් පාන්ඩ්‍යාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේ පන්දුවාර 18.1ක් තුළ ලකුණු පුවරුව 129-5ක් ලෙස සටහන් කරමිනි.

දකුණු අප්‍රිකානු ඉනිම අවසානයේ දී නොදැවී කඩුල්ලේ රැඳී සිටි ප්‍රිටෝරියස් සහ පෙහ්ලුක්වායෝ දෙදෙනා පිළිවෙළින් ලකුණු 10 සහ 8 බැගින් ලබා සිටියේය. ඒ අනුව ඉන්දියාවට ලකුණු 150ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූයේ පන්දුවාරයකට ලකුණු 7.5ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් ද සමඟිනි.

පන්දු යැවීමේ දී දීපක් චහාර් ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර ජඩේජා, හර්දික් සහ සයිනි තිදෙනා එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරණ යුගලය වූ ශිකර් ධවාන් සහ රෝහිත් ශර්මා පළමු කඩුල්ල සඳහා ලකුණු 33ක් එක් කිරීමට සමත් වූයේ තම කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි. එහෙත් ඉන් රෝහිත් ශර්මා ලබාගත්තේ ලකුණු 12ක් පමණක් වන අතර ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේ ඇන්ඩිල් පෙහ්ලුක්වායෝගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.

අනතුරුව සුපුරුදු පරිදි අංක 3 ලෙස පිටියට පිවිසියේ ඉන්දීය නායක විරාත් කෝලි ය. අනෙක් අන්තයේ සිටි ධවාන් ද සමඟ තම සුපුරුදු ලකුණු මැෂිම ක්‍රියාත්මක කළ කෝලි පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් තරගයේ මුල් භාගයේ පටන්ම තම අතට හරවා ගැනීමට සමත් විය.

ඔහුට අනගි සහයක් ලබා දුන් ධවාන් ද කලකට පසු තම පිත්ත ක්‍රියාත්මක කරමින් පන්දු 31ක දී ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය. ඔවුන් දෙදෙනා එක්ව දෙවන කඩුල්ල සඳහා වේගවත් ලකුණු 61ක සබඳතාවයක් ගොඩනගනු ලැබුවේ ඉන්දීය ලකුණු පුවරුව 94 දක්වා ඔසවා තබමිනි.

කෙසේ වෙතත් අවසානයේ දී ධවාන් දැවී ගියේ ශම්සිගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් මිලර් රැක ගත් අති විශිෂ්ට උඩ පන්දුවත් සමඟිනි. මිලර් එම උඩ පන්දුව හතරේ සීමාව ආසන්නයේ දී පියඹා ගොස් මෙන් රැක ගනු ලැබුවේ ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර රැක ගත් හොඳම උඩ පන්දු වලින් එකක් බවට එය පරිවර්තනය කරමිනි.

ඉන් පසුව අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසි රිෂාබ් පාන්ට්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි වූ අතර ලකුණු 4කට ඔහු දැවීගියේ තම මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ බියෝන් ෆෝටේන්ගේ මංගල කඩුල්ල බවට පත්වෙමිනි.

නව පුහුණුකරු පාකිස්තාන ක්‍රීඩකයින්ගේ කටට වැට බඳී

ඉදිරියේ දී පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම තුල ස්ථාවර ස්ථානයක් ගොඩනගා ගැනීමේ බලාපොරොත්තුවෙන්…

එහෙත් අනික් අන්තයේ ස්ථාවර වෙමින් නායක කෝලි තම සුපුරුදු ආක්‍රමණශීලී පිතිකරණ විලාශය යළිත් ක්‍රියාත්මක කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට දිගින් දිගටම බැට දෙමිනි.

අවසානයේ ඉන්දීය කණ්ඩායම තරගය පහසුවෙන්ම ජය ගනු ලැබුවේ තවත් පන්දු වාරයක් ද ඉතිරිව තිබිය දී ය. ඉනිම අවසන් වන විට තරගයේ සුවිශේෂීම ඉනිම ක්‍රීඩා කළ විරාත් කෝලි පන්දු 52ක දී නොදැවී ලකුණු 72ක් ලබා ගත් අතර අනෙක් අන්තයෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ශ්‍රෙයාස් අයියර් ඉනිම අවසානයේ දී ලකුණු 16ක් ලබා සිටියේය.

පන්දු යැවීමේදී පෙහ්ලුක්වායෝ 20/1ක්, ශම්සි 19/1ක්, ෆෝටේන් 32/1ක් ලෙස තම පන්දු යැවීම් වාර්තා සටහන් කරනු ලැබීය. තරගයේ වීරයා සම්මානය නිතරගයෙන්ම විරාත් කෝලිට හිමි විය.

ඒ අනුව තරග 3කින් සමන්විත විස්ස තරගාවලියෙන් 1-0 ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර දෙරට අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලබන 22 වැනිදා බන්ගලුරු හීදී පැවැත්වීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකාව – කඩුලු 5ක් දැවී ලකුණු 149 (පන්දුවාර 20) : ක්වින්ටන් ඩි කොක් – 52(37), ටෙම්බා බවුමා – 49(43), ඩේවිඩ් මිලර් – 18(15), දීපක් චහාර් 22-2(4), රවින්ද්‍ර ජඩේජා 31-1(4), හර්දික් පාන්ඩ්‍යා 31-1(4)

ඉන්දියාව – කඩුලු 3ක් දැවී ලකුණු 151 (පන්දුවාර 19) : විරාත් කෝලි – 72*(52), ශිකර් ධවාන් – 40(31), ශ්‍රෙයාස් අයියර් – 16*(14) ටබ්‍රයස් ශම්සි 19-1, ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ 20-1, බියෝන් ෆෝටේන් 32-1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<