සුබ පෙරනිමිති රැසක් මැද ශ්‍රී ලංකාව පුහුණු තරගය ජය ගනියි

3962

විශිෂ්ට ටෙස්ට් තරග ජයග්‍රහණ දෙකක් සමඟින් දකුණු අප්‍රිකානු තරග සංචාරය ආරම්භ කළ ශ්‍රී ලංකා පිළට තවත් දින 3කින් ආරම්භ වන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියට මුහුණ දීමට සිදුවී ඇත. ඒ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නායකත්වය යටතේයි.

ඒ සඳහා වන පෙර පුහුණු තරගයක් අද දිනයේ (28) ක්‍රියාත්මක වූ අතර ඉන් පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිළට හැකි විය. ඒ දකුණු අප්‍රිකානු ආරාධිත පිළ කඩුලු 6කින් පරාජය කරමිනි.

එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්වූ සිංහයින්ට ඓතිහාසික ජයක්!

අවසන් වතාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා පියාසර කරන්නේ ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයේ සිටිමිනි. මෙම සංචාරයට සහභාගි…

දකුණු අප්‍රිකාවේ ඇති දේශීය ක්‍රීඩා පිටියක් වන බෙනෝනි හි විලෝමුවර් පාක් ක්‍රීඩාංගණයේ අද තරගය වෙනුවෙන් සූදානම් කර තිබුණේ පිතිකරුවන්ටම උචිත තණතිල්ලකි. ඒ නිසාවෙන්ම කාසියේ වාසිය ජය ගත් සැණින් මුලින් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු නායක මාකස් ඇකර්මන් පසුබට නොවීය. ඒ අනුව පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 91ක් එක් කළ ඔවුහු ශ්‍රී ලංකාවට දැවැන්ත ලකුණු ගණනක් හඹා යන්නට සිදුවන බවට ඉඟි පළ කළහ. ශ්‍රී ලංකා පිළ කඩුල්ලක් සොයමින් සිටි මේ මොහොතේ ක්‍රියාත්මක වූ ලක්ෂාන් සඳකැන් දකුණු අප්‍රිකානු නායකයාව පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා පිළට සැනසුමක් ගෙන දුන්නේය.

ඉන් උපරිම ප්‍රයෝජන ගත් ලසිත් මාලිංග පන්දුව තමා අතට ගනිමින් ඊළඟ පන්දුවාරයේ මුල් පන්දු දෙකටම තවත් දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය. කෙසේ වෙතත් ඔහු යැවූ තුන්වැනි පන්දුවෙන් වමත් පිතිකරු ලියුස් ඩුප්ලෝයි ආරක්ෂා වීම නිසා මෙම පුහුණු තරගය අතරතුරේ දී කඩුලු ත්‍රිත්වයක් බිඳ දැමීමේ අවස්ථාව මාලිංගට අහිමි විය. මේ අයුරින් එක් අන්තයකින් දිගින් දිගටම කඩුලු බිඳ වැටෙද්දී අනෙක් අන්තයේ සිට හොඳින් පිතිකරණයේ යෙදුණු රේනාඩ් වෑන් ටොන්ඩර් අද ලකුණු 164ක් තනිවම රැස්කර ගත්තේය. ඒ පන්දු 156ක දී හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් එල්ල කරමිනි.

තවමත් 20 හැවිරිදි වියේ පසුවන මෙම යොවුන් ක්‍රීඩකයා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ඒ. බී. ඩිවිලියර්ස් එකල පිහිටුවා තිබූ දකුණු අප්‍රිකාව වෙනුවෙන් යොවුන් තරග වල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද (143) සම කරන්නට සමත් වූවෙකි. මෙහි ජාත්‍යන්තර තරග වාර්තාව (191) තවමත් තිබෙන්නේ ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩකයෙකු වන හසිත බෝයගොඩ සතුව වීම අපට ද ආඩම්බරයකි. ටොන්ඩර් හැරුණුකොට වෙනත් පිතිකරුවෙකු අර්ධ ශතකයක් හෝ රැස්කර නොගත් නිසා දකුණු අප්‍රිකානු ඉනිම පන්දුවාර 48ක් අවසානයේ ලකුණු 304කට නතර කර ගැනීමට ශ්‍රී ලංකා පිළට හැකි විය.

මෙන්ඩිස්ගේ හරි අමුතු විශේෂත්වයක් තියෙනවා – ස්ටීව් රික්සන්

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන්ගේ අත්දැකීම්වලට සමාන කළ හැකි අත්දැකීම් ගොන්නක් සහිත පුහුණුකරුවන් ක්‍රිකට් පිටියේ සිටියි නම් ඒ අතලොස්සක්.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග කඩුලු 5ක් බිඳ හෙලුවේ ලකුණු 35ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. ඒ හැරුණුකොට ආරම්භක පන්දු යවන්නා වශයෙන් කටයුතු කළ කසුන් රාජිත ද ආරම්භයේ දී යම් ප්‍රහාරයකට ලක් වුවද පසුව ලකුණු 36කට කඩුලු දෙකක් දවා ගන්නට සමත් විය. මේ හැරුණුකොට තිසර පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූව ද ඔවුන් දෙදෙනාට වෑන් ටොන්ඩර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන්ගෙන් සැලකිය යුතු තරමේ ප්‍රහාරයක් එල්ල විය. ශ්‍රී ලංකා පිළ මෙම පුහුණු තරගයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් පන්දු යවන්නන් අට දෙනෙකුම අත්හදා බලනු අද දැකගන්නට ලැබුණි.

දකුණු අප්‍රිකානුවන් ලබා දුන් ඉලක්කය පහසුවෙන්ම හඹා යාමට අවශ්‍ය ආරම්භය අද උපුල් තරංග සහ අවිශ්ක ප්‍රනාන්දු ලබා දුන්හ. ඒ පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 127ක් එක් කරමිනි. ලකුණු 45ක් ලබා සිටි තරංග දැවී යන විට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් එල්ල කොට තිබුණි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ලකුණු 72ක් ලබා ගැනීම වෙනුවෙන් වැය කළේ පන්දු 46ක් පමණි. ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. තවමත් 20 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා තමන් මුහුණ දුන් පළමු සහ එකම එක්දින තරගයේ දී ලකුණු නොලබාම දැවී යාමෙන් අනතුරුව නැවතත් ලබන තුන් වැනිදා වොන්ඩරස් ක්‍රීඩාංගණයට පිවිසෙන බවට මෙම ඉනිම සාක්ෂි දැරීය.

මැදපෙළ පිතිකරුවන් වශයෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 47ක් ලබා ගත්තේ තම එක්දින ලකුණු නියඟය අවසන් බවට යම් ඉඟියක් ලබා දෙමිනි. කෙසේ වෙතත් ජාත්‍යන්තර පන්දු යවන්නන් ඉදිරියේ දී ඔහු ඇතුළු පිතිකරුවන්ට මුහුණ දීමට සිදුවන්නේ මීට වඩා දස ගුණයක් අපහසු අභියෝගයකටයි. ටෙස්ට් තරගාවලියේ දී ද දස්කම් අතරට පැමිණි ඕෂද ප්‍රනාන්දු අද හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් රැස් කිරීමෙන් අනතුරුව සහෝදර පිතිකරුවන්ට අවස්ථාවක් ලබා දීමෙන් අපේක්ෂාවෙන් පිටිය හැර ගියේය. මෙවර තරගාවලියට චන්දිමාල් සහ මැතිව්ස් දෙදෙනාම සහභාගි නොවන නිසා බොහෝ දුරට ඔහුට අවසන් එකොළොස් දෙනා අතර ඉඩක් හිමිවනු ඇත.

“ස්ටේන්ටයි රබාඩාටයි ගහන්න තමයි මං Plan කරලා තිබ්බේ.” – ඕෂද

පසුගිය සෙනසුරාදා (23) නිමාවට පත්වුණු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රාහී ලකුණ රැස් කිරීමට සමත් වුනේ නවක ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු යි. එම තරගාවලිය…

අවසානයේ පන්දුවාර 41ක් නිමා වන විට ශ්‍රී ලංකා පිළ ප්‍රවේසමෙන් ජයග්‍රහණය කරා රැගෙන යන්නට ප්‍රියමාල් පෙරේරා (31*) සහ කමිඳු මෙන්ඩිස් (26*) සමත් විය. ඒ පස්වැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නගමිනි. ටෙස්ට් තරගාවලියේ පිතිකරණයේ යෙදී හොඳින් අත්දැකීම් ඇති නිසා කුසල් පෙරේරා, දික්වැල්ල සහ ධනංජය වැනි පිතිකරුවන් අද ලකුණු රැස් කිරීමට නොපැමිණීම ගැටලුවක් නොවූවත් ඇන්ජෙලෝ පෙරේරාගේ පිතිකරණ දක්ෂතා මැන බැලීමට අවස්ථාවක් ලැබුණා නම් එය සුබවාදී කරුණක් වන්නට ඉඩ තිබුණි. ඒ හැරුණුකොට පන්දු යැවීමේ තහනම නිමා වීමෙන් පසු නැවතත් ජාතික කණ්ඩායම හා එක්වී සිටින අකිල ධනංජය ද අද තරගය අතරතුරේ දී පන්දු යැවීමේ යෙදුණේ නැත.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් සියලු දෙනාටම පාහේ ජාත්‍යන්තර තරග අත්දැකීම් රාශියක් ඇති නිසා ඉන් විශාල බලපෑමක් වන්නට ඇති ඉඩකඩ අවමය. මන්ද ශ්‍රී ලංකාව මීට දින කිහිපයකට පෙර ටෙස්ට් තරග දෙකකට මුහුණ දී ජය ගත්තේ ද එකදු පුහුණු තරගයකට හෝ ක්‍රීඩා කිරීමෙන් තොරව වන බැවිනි.

Photos: Sri Lanka vs South Africa Invitation XI – Tour Match 2019

දකුණු අප්‍රිකානු ආරාධිත පිළ – සියල්ලන්ම දැවී ලකුණු 304 (පන්දුවාර 48)

රේනාඩ් වෑන් ටොන්ඩර් 164, මාකස් ඇකර්මන් 42, ලියුස් ඩුප්ලෝයි 36, කයිල් සයිමන්ඩ්ස් 28, ග්රෙගරි මා’ලොක්වානා 7*, ලසිත් මාලිංග 5/35, කසුන් රාජිත 2/36, ඇන්ජෙලෝ පෙරේරා 1/24, තිසර පෙරේරා 1/56, ලක්ෂාන් සඳකැන් 1/65.

ශ්‍රී ලංකා පිළ – කඩුලු 4ක් දැවී ලකුණු 304 (පන්දුවාර 41)

අවිශ්ක ප්‍රනාන්දු 72, ඕෂධ ප්‍රනාන්දු 63, කුසල් මෙන්ඩිස් 47, උපුල් තරංග 45, ප්‍රියමාල් පෙරේරා 31*, කමිඳු මෙන්ඩිස් 26*, ඔකුල් කේලේ 2/37, සිබොන්ලෝ මකන්යා 1/35.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<