සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් බණ්ඩාරනායකයින් පරාජය කරයි

529

ක්‍රම ක්‍රමයෙන් උණුසුම් වන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (24) දිනයේ දී නිමා වූ අතර එම තරගවලින් එක් තරගයක දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය ඉනිමක හා ලකුණු 18ක ජයක් ලබා ගැනීමට සමත් විය.

වේල්ස් කුමර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර පැවැත්වූ අනෙක් තරගයෙන් වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලබා ගත් අතර සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වූ තරගයේ දී දුනිත් වෙල්ලාලගේ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

සඳුන් ප්‍රනාන්දුට නූලෙන් ශතකය මඟ හැරේ

වේල්ස් කුමර විද්‍යාලයේ සඳුන් ප්‍රනාන්දු හට එක් ලකුණකින් සිය අගනා ශතකය අහිමිව ගිය අද (23) දිනය තුළ…

සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

මග්ගොන සරේ පිටියේ නිමා වූ මෙම තරගයේ ඊයේ (23) දිනය අවසන් වන විට බණ්ඩාරනායක විද්‍යාල ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 120ක් ලෙස දැක්විය.

අද දිනයේ මුල් කාර්තුව තුළ බණ්ඩාරනායක පළමු ඉනිම ලකුණු 182කට සීමා කිරීමට විනුජ රණසිංහ ලබාගත් කඩුලු 5 සාන්ත සෙබස්තියන් විද්‍යාලයට බෙහෙවින් ඉවහල් විය. සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළ බණ්ඩාරනායක විද්‍යාලයට එහි දී ද සාර්ථක වීමට නොහැකි විය. පන්දු යැවීමේ දී තරුෂ ප්‍රනාන්දු හා විනුජ පිළිවෙළින් දෙවන ඉනිමේ කඩුලු 5ක් හා 4ක් දවා ගැනීමට සමත් විය. බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් යම් මට්ටමකට හෝ සාර්ථක වූ අරෝශ මදුශාන් තරගය පුරාවට ලකුණු 87ක් ලබා ගත්තේය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 301/9d (69.2): තරුෂ ප්‍රනාන්දු 95, නිශිත අභිලාෂ් 55, ශනෙල් ප්‍රනාන්දු 51, විනුජ රණසිංහ 33, ජනිඳු ජයවර්ධන 5/78.

බණ්ඩාරනායක විද්‍යාලය – 182/10 (61.4) (37): අරෝෂ මදුශාන් 48, මාධව තත්සර 32, විනුජ රණසිංහ 5/72.

බණ්ඩාරනායක විද්‍යාල දෙවන ඉනිම (F/O) – 101/10 (31.5): අරෝශ මදුශාන් 39, තරුෂ ප්‍රනාන්දු 5/31, විනුජ රණසිංහ 4/47.


වේල්ස් කුමර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය

වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මෙම තරගය රාජකීය පිටියේ දී අවසන් විය.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර හා තෙවිඳු සේනාරත්න අගනා පිතිකරණයක නිරත වෙමින් පිළිවෙළින් ලකුණු 87ක් හා 75ක් රැස්කර ගන්නා ලදි. නායක සවිඳු පීරිස් කඩුලු 6යි.

පළමු ඉනිමේ ජය ලබාගත් වේල්ස් කුමරුවන් සිය දෙවන ඉනිමට ලකුණු 180ක් ලබාගෙන සිය ඉනිම අත්හිටු වූයේ රාජකීය විද්‍යාලයට ලකුණු 235ක ඉලක්කයක් ලබා දෙමිනි. අවිඳු ප්‍රනාන්දු ලකුණු 54යි.

වේල්ස් කුමර විද්‍යාලය – 277/10 (76.2): සඳුන් ප්‍රනාන්දු 99, සුවත් මෙන්ඩිස් 48, අවිඳු ප්‍රනාන්දු 43, සනෝජ් දර්ශික 25, කමිල් මිශාර 4/61, ගයාන් දිසානායක 3/37.

රාජකීය විද්‍යාලය – 213/10 (54.3): පසිඳු සූරියබණ්ඩාර 87, තෙවිඳු සේනාරත්න 75, සවිඳු පීරිස් 6/69.

වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම – 180/6d (42): අවිඳු ප්‍රනාන්දු 54, සුහත් මෙන්ඩිස් 37*.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – 61/1 (22):

මාතොට දඟයාගේ කඩුලු 500යේ වික්‍රමාන්විතය

මාතර පුරවරයට අලංකාරයක් එක් කරන නිල්වලා නදිය, මුහුද හා හා වෙන මාතොට, ඉතිහාස කතාන්දර …

සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ අද දිනය අවසන් වන විට සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 37ක් ලබාගෙන සිටියි.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඒ අවසරයෙන් පිටියට පිවිසි සාන්ත ජෝසප් මුල් කඩුලු 6 අඩු ලකුණකට දවා ගැනීමට ශැනොන් ප්‍රනාන්දු ඇතුළු සාන්ත තෝමස් පන්දු යවන්නන්ට හැකි විය. නමුත් වමතින් පිත්ත හසුරුවන දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් ගමගේ හා ජෙහාන් ද සිල්වා එක්ව ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 220ක් දක්වා රැගෙන යන ලදි. අර්ධ ශතකයක් ලබාගත් දුනිත් ලකුණු 59කට දැවී යන ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය – 220/10 (74.4): දුනිත් වෙල්ලාලගේ 59, ජෙහාන් ද සිල්වා 47, ලක්ෂාන් ගමගේ 47, මිහිරංග වික්‍රමගේ 29*, ශැනොන් ප්‍රනාන්දු 3/20, මොහොමඩ් අසාම් 3/62.

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 37/1 (19):

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (25) දෙවන දිනටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<