සකුරාව හඬවමින් Springboks සහ වේල්සය යෝධ ඉදිරි පියවරක් තබයි

79
Rugby World Cup 2019
Rugby World Cup 2019

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අනෙක් අර්ධ අවසන් පූර්ව වටයේ තරග ද්විත්වය අද (20) ජපානයේ ඔයිටා සහ ටෝකියෝ ක්‍රීඩාංගණයන් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ අතර ඉන් ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබාගනිමින් අවසන් කණ්ඩායම් හතර අතරට තේරීපත් වීමට වේල්ස් සහ දකුණු අප්‍රිකා යන කණ්ඩායම් භාග්‍ය උදාකර ගත්හ.

වේල්ස් සහ ප්‍රංශය – තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය

තරග ආරම්භයටත් පෙර සිටම වේල්ස් කණ්ඩායම තරගය ජය ගනු ඇතැයි බොහෝ දෙනා පූර්ව නිගමනයන්ට එළඹ තිබූ නමුත් අවසන් මිනිත්තුව දක්වා ප්‍රංශ ක්‍රීඩකයින් ලබා දුන් සටන සියල්ලන්ගේම පැසසුමට භාජනය විය.

වේල්ස් ආරක්ෂක වළල්ලෙහි දුර්වලතා හඳුනා ගනිමින් ඒ ක්ෂණයෙන් ප්‍රහාර දියත් කිරීමට යුහුසුලු වූ ප්‍රංශ ක්‍රීඩකයින් කාල ගණන යන්ත්‍රයේ විනාඩි 10ක් ගත වීමටත් මත්තෙන් ලකුණු පුවරුව දෙවතාවක්ම සක්‍රිය කළේ අලංකාර උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමිනි. 

Sebastien Vahaamahina පළමු වෙඩි මුරය ක්‍රියාත්මක කරමින් ධවල රේඛාව අභිබවා දිවගිය අතර Charles Ollivon එම ගොඩනැගූ රිද්මය ඉදිරියටත් පවත්වා ගනිමින් තවත් ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් ප්‍රංශ ලකුණු තීරුව වර්ණවත් කළේය.

All Blacks සහ Red Roses අවසන් හතරේ ගැටුමට ආසන වෙන්කර ගනිති

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක පිළිමළුන් පිටුදැකීමේ වටයේ ආරම්භ කරමින් අද (19) දිනයේ පැවති…

ප්‍රංශ ක්‍රීඩකයින්ගේ අනපේක්ෂිත ආක්‍රමණයන්ගෙන් අනතුරුව තරමක් පසුබැසි වේල්ස් කණ්ඩායම නැවත වතාවක් නිවැරදි මාවත කරා රැගෙන ඒමට  Aaron Wainwright සහ Dan Bigger දෙපල සමත් වූයේ අත්‍යාවශ්‍යම මොහොතේ දී වාර්තා කළ ප්‍රවර්තිත උත්සාහක දිනුම සහ දඬුවම් පහර අවස්ථාවන් දෙකක් ද සමඟිනි.

වේල්ස් ක්‍රීඩක Ross Moriarty විසින් සිදු කළ අනතුරුදායක tackle කිරීම නිසාවෙන් කහ කාඩ්පතකින් දඬුවම් ලැබීමට ඔහුට සිදු වූ අතර එහි වාසිය උපරිමයෙන් තම කණ්ඩායම දෙසට හරවා ගත් ප්‍රංශය පළමු භාගය නිමා වීමට මත්තෙන් තවත් උත්සාහක දිනුමකින් ලකුණු තත්වය තරකර ගැනීමට සමත්කම් දැක්විය. ලකුණු රැස් කිරීමේ ගෞරවය Virmi Vakatawa සතු විය.

පළමු අර්ධය: වේල්සය 10 (1T,1C,1P) – 19 (3T,2C)  ප්‍රංශය

විවේක කාලයෙන් අනතුරුව කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පන්දුව තම ග්‍රහණයේ තබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වනු දැකගන්නට ලැබුණු අතර ප්‍රංශය වෙනුවෙන් දිනය ආරම්භයේ දී ම ශක්තිමත් අඩිතාලමක් සකසා දුන්  Sebastian Vahaamahina හට රතු කාඩ්පතක් සමඟින් පිටියෙන් ඉවතට යාමට සිදු වූයේ ඔවුන් සතු ක්‍රීඩකයින් සංඛ්‍යාව 14 දක්වා පහතට හෙළමිනි.

රග්බි අයියලාගෙන් ගේම ඉල්ලන රග්බි මල්ලිලා

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් අප දුටු විශේෂිතම සිදුවීමක් ලෙස සඳහන් කළ හැක්කක් ඇත. එනම්…

මේ අතරවාරයේ වේල්ස් Fly Half ක්‍රීඩක Dan Bigger දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගනිමින් හඹා යා හැකි ලකුණු පරතරයක් තම කණ්ඩායම හට සකසා දුන් අතර 73 වැනි මිනිත්තුවේ දී Ross Moriarty විසින් වාර්තා කළ තීරණාත්මක උත්සාහක දිනුමත් සමඟම තරගයේ ප්‍රථම වතාවට පෙරමුණ හිමිකර ගැනීමට වේල්සය සමත් විය. 

උද්වේගකර අවසානයකට මඟ පාදා ගනිමින් එක් ලකුණේ වාසිය විනාඩි 5කට ආසන්න කාලයක් රැක ගත් වේල්ස් ක්‍රීඩකයින් තරගය ජය ගත්තේ එතෙක් වේලා තම ආරක්ෂක වැට සවිමත්ව තබා ගනිමින් තරගය පාලනය කළ ප්‍රංශ කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු එක මොහොතකින් දවා අළු කර දමමිනි. 

අවසන් ලකුණු තත්වය: වේල්සය 20 (2T,2C,2P) – 19 (3T,2C) ප්‍රංශය 

තරගයේ වීරයා – Aaron Wainwright (වේල්ස්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ 

  • වේල්සය – Aaron Wainwright (1T), Ross Moriarty (1T), Dan Bigger (2C,2P)
  • ප්‍රංශය – Sebastien Vahaamahina (1T), Charles Ollivon (1T), Virmi Vakatawa (1T), Romain N’tamack (2C)

දකුණු අප්‍රිකාව සහ ජපානය – සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය 

රග්බි ක්‍රීඩාවට  පෙම් බඳින කිසිවෙකු හට කිසිදා අමතක නොවන ඉතිහාසගත තරගයක් ලෙස “බර්මින්හැම් ප්‍රාතිහාරය” අවිවාදයෙන් හඳුන්වා දිය හැකි අතර එය නැවත වතාවක් ටෝකියෝ ක්‍රීඩාංගණයේ දී තම රටවැසියන් ඉදිරියේ දී ම රඟ දැක්වීමේ අරමුණින් ජපාන කණ්ඩායම තරග බිමට පිවිසුණි.

කෙසේ නමුත් අපේක්ෂා කළ  අයුරින් සුභදායී ආරම්භයක් ලබා ගැනීමට ඔවුන් අපොහොසත් වූයේ දකුණු අප්‍රිකානු Wing ක්‍රීඩක Makazole Mapimpi ජපන් ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉතාමත් පහසුවෙන් මුලා කරමින් දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කිරීම නිසාවෙනි.

ඉන් අනතුරුව එලඹි කාලසීමාව තුල දී ජපන් ක්‍රීඩකයින් තම ප්‍රතිවාදීන් හට දැඩි පීඩනයක් යොමු කරමින් ලකුණු පුවරුවේ සිය අන්තය පණ ගැන්වීම සඳහා වඩාත් යුහුසුලු වූ අතර ඔවුන්ගේ එම ව්‍යායාමයට වටිනාකමක් එක්කරමින් Yu Tamura දඬුවම් පහර අවස්ථාවක් ලකුණු ත්‍රිත්වයක් බවට පරිවර්තනය කළේය.

පළමු අර්ධය නිමා වන තෙක්ම ලකුණු රැස් කිරීමේ ක්‍රියාවලිය සක්‍රියව පවත්වා ගැනීම සඳහා දෙපිලේම ක්‍රීඩකයින් කරට කර සටනක නියැලුණු  නමුත් එකදු ලකුණක් හෝ තම කණ්ඩායමේ නම ඉදිරියේ සටහන් කරගැනීමට ඔවුන් කිසිවෙකුත් සමත් නොවුයේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් ඔවුන්ගේ කාර්‍යභරය අකුරටම ඉටු කළ නිසාවෙනි.

පළමු අර්ධය: දකුණු අප්‍රිකාව 05 (1T) – 03 (1P) ජපානය 

දෙවන අර්ධය ආරම්භයේ දී ම ලකුණු දඩයම ඇරඹූ දකුණු අප්‍රිකානුවන් එතෙක් පැවති ලකුණු ඉඩෝරයට තිත තබමින් දඬුවම් පහර තුනක් සාර්ථක කරගත්තේ Handre Pollard සතු අත්දැකීම් සම්භාරය උපයෝගී කරගනිමිනි.

ලකුණු පරතරය ක්‍රමයෙන් ජපානයට අවාසි සහගත අයුරින් ඉහළට ගමන් කරද්දී තවත් උත්සාහක දිනුම් දෙකකින් ඔවුන්ට බැට කෑමට සිදු වූයේ තරගයේ ජයග්‍රහණය පිළිබඳ තබා තිබූ බලාපොරොත්තු සියල්ලම එතැකින් හකුළා ගැනීමට ඉඩ සලස්වා දෙමිනි. 

සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාවක් එංගලන්ත – ඕස්ට්‍රේලියා රග්බි ක්‍රීඩකයින්ට මැදිවේ!

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය මේ සති අන්තයේ…

දෙවන වතාවටත් ධවල රේඛාව අභිබවා යමින් Springbok කණ්ඩායම ජය කණුව වෙත රැගෙන යාමට Makazole Mapimpiගේ දායකත්වය මහෝපකාරී වූ අතර Faf De Klerk ප්‍රතිවාදී ක්‍රීඩකයින් හට හිසරදයක් වෙමින් ඔවුන් අසරණ කළේ දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ ප්‍රධානතම නියමුවා බවට පත්වෙමිනි.

මූලික වටයේ තරගයන්හීදී අයර්ලන්තය සහ ස්කොට්ලන්තය වැනි ලොව පිළිගත් දැවැන්ත කණ්ඩායම් කිහිපයක්ම පරාජයට පත්කරමින් සත්කාරක දේශය මෙතෙක් ආ ගමන් මඟ මෙහි දී  බොහෝ දෙනෙකුගේ අවධානයට බඳුන් විය.

අවසන් ලකුණු තත්වය: දකුණු අප්‍රිකාව 26 (3T,2C,3P) – 03 (1P) ජපානය 

තරගයේ වීරයා – Faf De Klerk (දකුණු අප්‍රිකාව) 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • දකුණු අප්‍රිකාව – Makazole Mapimpi (2T) , Handre Pollard (3P,2C), Faf De Klerk (1T)
  • ජපානය – Yu Tamura (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<