මලල ක්‍රීඩා සංගමයේ මහා පුටුවට පාලිත ප්‍රනාන්දු

197

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අද (30) පැවති නිලවරණයෙන් ඡන්ද 79ක් ලබා ගනිමින් සභාපති ධූරය හිමි කර ගැනීමට මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සමත් විය.

සුගත් තිලකරත්න මහතා සහ පාලිත ප්‍රනාන්දු මහතා අතර මෙවර සභාපති ධූරයට තියුණු සටනක් පැවති අතර සුගත් තිලකරත්න මහතා හට ලබා ගත හැකි වූයේ ඡන්ද 32ක් පමණි.

මලල ක්‍රීඩා මහා පුටුව කා හට ද?

පෙර වසරේ (2015) විගණන වාර්තා අනුමත වීමේ දී ඇති වූ ගැටලුකාරී තත්වයක් නිසාවෙන් මලල ක්‍රීඩා..

පාලිත ප්‍රනාන්දු මහතා 2007 වසරේ සිට 2011 දක්වාත් නැවත 2013 සිට 2014 දක්වාත් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයේ කටයුතු කර තිබේ. අවසන් වරට 2015 මැයි 14 වැනිදා පැවති මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ දී සුගත් තිලකරත්න මහතා එම ධූරයට පත්වූයේ ඡන්ද 59කින් උපාලි කුමාරසිරි මහතා පරාජයට පත්කරමිනි.

දිස්ත්‍රික්, අනුබද්ධ සංගම් හා ක්‍රීඩා සමාජ 39ක නියෝජිතයින් අද (30) පැවති නිලවරණයට සහභාගී විය.

පැවති නිලවරණයේ දී ලේකම් ධූරය සඳහා ප්‍රේමා පින්නවල මහතා තේරී පත් වූ අතර උප ලේකම් ලෙස පත් වූයේ බර්නාඩ් පෙරේරා මහතා ය. උප සභාපතිවරුන් ලෙස ලාල් චන්ද්‍රකුමාර, ජී. එල්. පෙරේරා, එස්. ඩබ්ලිව්. නිමල්සිරි, අනිල් වීරසේකර, ඒ. එච්. එම්. අක්මාල්, නයන්ති චන්ද්‍රසේන, අයිරාංගනී රූපසිංහ යන මහත්ම මහත්මීන් තේරී පත් වී ඇත.

ශාන්ත ද සිල්වා මහතා භාණ්ඩාගාරික ලෙසත් උප භාණ්ඩාගාරික ධූරයට එච්. ඒ. උපාලි මහතාත් තේරී පත් විය.

මෙවර මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ විශේෂත්වය වූයේ පත් වන සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලය වසර 4ක කාලයක් සඳහා පත්වීමයි. ඒ අනුව අද (30) පත් වූ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වසර 4ක් කාලයක් මෙම ධූරයේ කටයුතු කරනු ඇත. මීට පෙර මලල ක්‍රීඩා සංගමයේ පැවති නිලවරණයේ දී පත් වූ නිලධාරීන්ගේ කාලය වසර 2කට සීමා විය.

අද (30) පැවති මෙම නිලවරණය වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට මලල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දැරූ උත්සහය ද කොළඹ දිසා අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරුණි.

  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට