චතුරංග සහ හසිනි පදක්කම් දිනයි

185

ශ්‍රී ලංකා බර ඉසිලුම් ක්‍රීඩක චතුරංග ලක්මාල් “පොදුරාජ්‍ය මණ්ඩලීය හා ඕෂානියා බර ඉසිලුම් ශූරතාවලියේ” දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් පළමු පදක්කම දිනා ගැනීමට අද (05) සමත් විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ඕෂානියා බර ඉසිලුම් ශූරතාවලිය දින 5ක කාලයක් පුරාවට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ දී පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 4 සිට 9 දක්වා කාලය පුරාවට ය. මේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙක් ඕස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත්ව ගිය අතර කනිෂ්ඨ, ජ්‍යේෂ්ඨ හා තරුණ යන කාණ්ඩ 3ක්‍ යටතේ ඔවුන් තරග කිරීමට නියමිත ය.

කිලෝග්‍රැම් 56 බර පන්තිය යටතේ ස්නැච් (snatch) ක්‍රමයට තරග කර කිලෝග්‍රැම් 117ක බරක් ඔසවමින් චතුරංග ලක්මාල් ක්‍රීඩකයා එම බර පන්තියේ රිදී පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් ප්‍රථම පදක්කම වාර්තා කිරීමට සමත් විය. එම තරග පන්තියේ පෙර ජාතික වාර්තාව වී තිබූ කිලෝග්‍රැම් 110ක වාර්තාව බිඳ දමමින් නව ජාතික වාර්තාවක් වාර්තා කිරීමට ද මේ සමඟින් ඔහුට හැකි විය

ස්නැච් (snatch) ක්‍රමය යටතේ කිලෝග්‍රැම් 48 බර පන්තියෙන් කාන්තා ජාතික වාර්තාවට හිමිකම් කියන හසිනි ගෝමස් ද එම තරග ඉසව්වෙන් තරග වැද එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම කාන්තා පදක්කම දිනා දෙමිනි.

තවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කර ඇති සුදේශ් පීරිස් කිලෝග්‍රැම් 62 බර පන්තිය යටතේ අද තරග කිරීමට නියමිතයි.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට