තහනම් උත්තේජක නිසා සියල්ල අහිමි කර ගත් රන් කාන්තාව; මේරියන් ජෝන්ස්

1299

2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලිය ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපිට අතිශය වැදගත් තරගාවලියක් විය. ඒ වසර 62ක දීර්ඝ කාල සීමාවකින් අනතුරුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලාංකිකයෙක් පදක්කමක් දිනා ගැනීමට සමත් වීම නිසාය. ඒ අන් කවරෙකු නොව; ශ්‍රී ලංකා හිටපු ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ යි. එම තරගාවලියේ මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ඇය දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමිනි. කෙසේ නමුත් ඉන් වසර ගණනාවකට පසුව ඇතිවූ මතභේදාත්මක සිදුවීමක් පදනම් කරගෙන මෙම ලෝකඩ පදක්කම රිදී පදක්කමක් බවට පරිවර්තනය වන්නට විය.   

ඒ ආකාරයට 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලිය ශ්‍රී ලංකාවට වැදගත් වුවත් එහි දී ඉහළම දක්‍ෂතා දක්වමින් කාගේත් අවධානය යොමු කර ගැනීමට සමත් වූයේ ඇමෙරිකානු ජාතික ධාවන ශූරියක් වූ මේරියන් ජෝන්ස් ය. එහි දී ජෝන්ස් රන් පදක්කම් 3ක් ද ඇතුළුව සමස්ත පදක්කම් 5ක් දිනා ගනු ලැබුවේ, එක් ඔලිම්පික් තරගාවලියක දී පදක්කම් 5ක් දිනා ගත් පළමු කාන්තා ක්‍රීඩිකාව වීමේ ගෞරවය ද තමන් සතුකර ගනිමිනි.   

ඒ අනුව ඉතා කෙටි කාලයකින් මලල ක්‍රීඩාවේ රන් කාන්තාව බවට පත්වන ඇයට ‘Vogue’ සඟරාවේ මුල් පිටුවේ ද පෙනී සිටීමට අවස්ථාව හිමිවන අතර ඉන් අනතුරුව ඇය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පළමු මිලියනපති කාන්තාවන් අතරට ද එක්වේ.

වාර්තා පිට වාර්තා තැබූ කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවේ දිරිය දියණියෝ

කොළඹටත් නුවරටත් මැදිව පිහිටා ඇති කෑගල්ල ශ්‍රී ලංකාව නියෝජනය කළ කෙටිදුර හා මැදි දුර ධාවන ශූරයින්ගේ පාරාදීසයක්. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%ක්ම වාසය…

ඒ ආකාරයට 2000 ඔලිම්පික් තරගාවලියේ දී පුවත් මවන්නියක් වූ ඇයට වසර 8ක කාලයකට පසුව නැවතත් ජනමාධ්‍ය ආකර්ෂණය හිමි වේ. නමුත් මෙවර ඒ ආකාරයට ඇය ආකර්ෂණයක් දිනා ගන්නේ පෙර අවස්ථාවේ දී මෙන් ඇයගේ දක්‍ෂතා හේතුවෙන් නම් නොවේ. ඒ අනුව ඇය නැවතත් පුවත් අතරට එක්වන්නේ එම ඔලිම්පික් තරගාවලියේ දී තහනම් උත්තේජක භාවිතා කළ බවට අවසානයේ ඇය පිළිගැනීමත් සමඟ පරීක්‍ෂකවරුන් හට අසත්‍ය ප්‍රකාශ කිරීමේ වරදට ඇයට මාස 6ක සිර දඬුවමක් හිමිවීමත් සමඟ යි.

වසර ගණනාවක් පුරාවට එම චෝදනා දැඩිව ප්‍රතික්‍ෂේප කරමින් සිටි ඇය අවසානයේ ඒවා පිළිගැනීමත් සමඟ ඇය එහි දී දිනාගත් පදක්කම් සියල්ල ඇයට අහිමි කිරීමට තීරණය කෙරිණි.

එම චෝදනා පිළිගනිමින් ඇය ප්‍රකාශ කර සිටියේ එම සිදු කළ එම වැරදි ක්‍රියා සම්බන්ධයෙන් ඇයට දොස් පැවරීමට වෙනත් කිසිවෙක් නොමැති බවත්, එවන් වැරදි තීරණ ගැනීම අවසානයේ ඉතා ශෝකජනක ඉරණමකට හේතුවිය හැකි බවත් ය.

මලල ක්‍රීඩාව සඳහා උපන් හපන්කම් පෑ ජෝන්ස් ආරම්භයේ දී තහනම් උත්තේජක තෝරාගන්නේ දැනුවත්ව නොවේ. නමුත් ඉන් අනතුරුව මෙම තහනම් උත්තේජක සිය ක්‍රීඩා දිවිය පුරාවටම ඇයට ගැටලු ඇතිකිරීමට තුඩු දෙන්නට විය. අවුරුදු 16ක් තරම් කුඩා වයසක පසුවෙද්දී ජෝන්ස් හට 1992 වසරේ දී කැලිෆෝනියා උසස් පාසලේ දී ‘Out-of-competition’ තහනම් උත්තේජක පරීක්ෂණයක් මඟ හැරුණු නමුත් ඒ පිළිබඳ විභාගයේ දී දඬුවමකින් තොරව මිදෙන්නට ඇය සමත් විය. ඇගේ මව ජෝන්ස් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඕ. ජේ. සිම්ප්සන් මිනී මැරුම් චෝදනාවකින් නිදහස් කර ගත් ජොනී කොච්රේන් යොදාගැනීමට සමත් වීම එසේ දඬුවමකින් තොරව මිදීමට ඉවහල් විය.

කෙසේ නමුත් ඔලිම්පික් ධාවන ශූර මයිකල් ජෝන්ස් ප්‍රකාශ කරන අන්දමට ජෝන්ස් ඇය වටා එක්කරගෙන සිටි පුද්ගලයින් රැසක් ක්‍රීඩාවේ සිදු වූ විශාලතම තහනම් උත්තේජක ජාවාරම්වල කොටස් කරුවන් ලෙස කටයුතු කර ඇත.

ජෝන්ස්ගේ ක්‍රීඩා දිවිය දෙස හැරී බැලූ කළ ඇය පළමු වතාවට ලෝක ශූරියක් බවට පත්වන්නේ 1997 වසරේ දී ඇතැන්ස් නුවර පැවති ලෝක ශූරතා තරගාවලියේ දී කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමඟ යි. ඉන් අනතුරුව නැවතත් 1999 වසරේ දී ද එම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ඇය සමත් විය. මේ අතරතුර ජෝන්ස් ඇයට උතුරු කැරොලීනා විශ්ව විද්‍යාලයේ දී පළමු වරට හමු වූ යගුලිය විසිකිරීමේ ක්‍රීඩකයෙක් වූ සී. ජේ. හන්ටර් සමඟ විවාහ දිවියට එළඹෙන අතර ඔහු ඇයව ට්‍රෙවර් ග්‍රැහැම් නමැති නව පුහුණුකරුවෙක් වෙත හඳුන්වා දෙනු ලැබීය. ඔහු යටතේ ජෝන්ස් දැඩි තාක්ෂණික දියුණුවක් අත්කර ගැනීමට සමත් වන අතර ඒ අනුව ඇය 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියට පිවිසෙන්නේ දෙවරක් ලෝක ශූරිය ලෙස කිරුළු පැළඳි ප්‍රබල තරගකාරිනියක් ලෙසයි.

ජෝන්ස් සහ පුහුණුකරු ට්‍රෙවර් ග්‍රැහැම්

පසුව ඔලිම්පික් තරගාවලියේ දී මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් එම තරගාවලියේ පළමු රන් පදක්කමට හිමිකම් කියන ඇය එය දිනා ගැනීමෙන් එක් දිනකට පසුව ඇගේ සහකරුවා වූ හන්ටර් තහනම් කර තිබූ ‘Steroid Nandrolone’ භාවිතා කර ඇති බවට පරීක්ෂණවලින් සිව් වරක් තහවුරු වී ඇති බව අනාවරණය විය. ඒ අනුව ජෝන්ස් සහ හන්ටර්ගේ විවාහය වැඩි කාලයක් යන්නට පෙර දෙදරා ගිය නමුත් ජෝන්ස් තවදුරටත් ග්‍රැහැම් සහ ඇයගේ නව පෝෂණවේදියා වූ වික්ටර් කොන්ටේ සමඟ කටයුතු කරන්නට විය.

ඉන් අනතුරුව 2001 වසරේ ලෝක ශූරතා තරගාවලියේ දී ඇය මීටර 100 රිදී පදක්කම සහ මීටර 200 රන් පදක්කම දිනා ගැනීමට සමත් වන අතර එම තරගාවලිය සඳහා ඇයව සූදානම් කිරීමට ඇයට ‘Conte’s Bay Area Laboratory Co-operative (Balco)’ මඟින් ඖෂධ පෙති ලබා දී ඇත. ආරම්භයේ දී ‘Flaxseed oil’ ලබා ගන්නා බව ඇය සිතා ඇති නමුත් දිස්ත්‍රික් උසාවියේ දී සිදු කළ ප්‍රකාශයේ දී ඇය විනිශ්චයකාරවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ 2003 වසරේ නොවැම්බර් මාසය වන විට සිය දක්‍ෂතා ඉහළ නැංවීම සඳහා ඔහු ඇයට උත්තේජක ලබා දෙන බවට ඇයට වැටහී ගිය බවයි.       

එම වසරේ ජුනි මාසයේ දී ග්‍රැහැම් විසින් ‘Balco’ වෙතින් ලබාගත් ‘Steroid THG’එන්නත් නළයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ උත්තේජක මර්දන නියෝජ්‍යායතනය නිර්නාමිකව යවා තිබූ අතර අනතුරුව එම සැප්තැම්බර් මාසයේ දී සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ‘Balco’ ප්‍රධාන කාර්යාලය වටලනු ලැබීය. එහි දී සොයා ගත් දත්ත ජෝන්ස්ගේ උත්තේජක කාලසටහන්, මිලදී ගැනීම් සහ ලේ සාම්පල හෙළිකරන්නට වූ අතර ඒ අනුව ජෝන්ස් වටා සැකය ගොඩනැඟෙන්නට විය.

නමුත් එම නොවැම්බර් මාසයේ ‘Balco’ සමාගම ‘steroid’ බෙදාහැරීමට අදාළව පරීක්ෂණයක් සිදු කළ ෆෙඩරල් ජූරි සභාවක් ඉදිරියේ ජෝන්ස් ප්‍රකාශ කර සිටියේ ඇය දක්‍ෂතා ඉහළ නංවන කිසිදු ද්‍රව්‍යයක් කිසිදිනෙක ලබානොගත් බවයි.

ජෝන්ස් සහ ඇගේ පෙම්වතා

අනතුරුව පරීක්ෂණය අවසානයේ ජෝන්ස්ට, ඇයගේ පෙම්වතා වූ ටිම් මොන්ට්ගෝමරිට සහ ඇයගේ පුතාගේ පියා වූ මොන්ටි හට තහනම් උත්තේජක නීති උල්ලංඝනයට අදාළව චෝදනා එල්ල විය. කෙසේ නමුත් 2004 ඇතැන්ස් ඔලිම්පික් තරගාවලිය සඳහා චාලි ෆ්‍රැන්සිස් සමඟ පුහුණුවීම් කටයුතුවල නිරත වීම නිසා ජෝන්ස් සහ මොන්ට්ගෝමරි ඒ වන විටත් දැඩි කතාබහට ලක්ව තිබුණි. 1988 ඔලිම්පික් තරගාවලියේ දී මීටර 100 පිරිමි ඉසව්වේ ශූරයා බවට පත්වෙමින් පසුව තහනම් උත්තේජක භාවිතා කිරීමේ වරදට වරදකරු වීම නිසා එම පදක්කම අහිමි කෙරුණු කැනේඩියානු ජාතික බෙන් ජොන්සන්ගේ පුහුණුකරු වශයෙන් එවකට කටයුතු කළේ චාලි ෆ්‍රැන්සිස් ය.

කෙසේ නමුත් ජෝන්ස් හට 2004 ඇතැන්ස් ඔලිම්පික් තරගාවලියේ දී කිසිදු පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය. අනතුරුව කොන්ටේ රූපවාහිනියේ පෙනීසිටිමින් ප්‍රකාශ කර සිටියේ ඔහු ජෝන්ස් වර්ධක හොර්මෝන එන්නත් කර ගනු දැක ඇති බවත්, 2000 ඔලිම්පික් තරගාවලියට පෙර, ඒ අතරතුර දී මෙන් ඉන් අනතුරුව ද ඔහු ජෝන්ස් හට දක්‍ෂතා වර්ධක උත්තේජක වර්ග 5ක් ලබා දුන් බවයි.

ඒ අනුව මෙම කොන්ටේගේ හෙළිකිරීමත් සමඟ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) ජෝන්ස්ට එල්ල වූ තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබීය.

2006 වසරේ මාර්තු මාසය වන විට – කොන්ටේ ‘steroid’ සැපයීමට වරදකරු වී මාස 4ක සිර දඬුවමක් ලබා නිදහස ලබා තිබුණි. ග්‍රැහැම් ෆෙඩරල් නියෝජිතයින් හට අසත්‍ය තොරතුරු ලබා දීම හේතුවෙන් දඬුවම් ලබා ගැනීමට ආසන්නව සිටියේ ය. ජෝන්ස්ගෙන් වෙන්වී සිටි මොන්ට්ගෝමරි වසර 2ක තරග තහනමකට යටත්ව සිටියේ ය. අවසාන වශයෙන් ජෝන්ස් නැවතත් ක්‍රීඩාවට පැමිණෙමින් සිටියා ය.

දුවන සපත්තුවෙන් අස්වනු නෙලන්නට පෙර

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩා අතලොස්ස අභිබවමින් වර්තමානය වන විට මලල ක්‍රීඩාව ගැන වැඩි වැඩියෙන් කතාබහට ලක්වන කාල වකවානුවක් රටේ නිර්මාණය වී ඇත. අකුරම්බොඩ…

ඒ අනුව ඒ වන විට 30 වන වියේ පසු වූ ජෝන්ස් මාස 11කට පසුව සහභාගී වූ පළමු තරගයේ දී මීටර 100 ඉසව්ව තත්පර 11.06කින් අවසන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ශූරිය බවට පත්වන්නට සමත් විය. ඇයගේ අරමුණ 2008 බීජිං ඔලිම්පික් තරගාවලිය සඳහා තරග කිරීම බව ද ඇය තහවුරු කරන ලදි.

කෙසේ නමුත් සිය ක්‍රීඩා දිවිය තුළ පරීක්ෂණ 160 ගණනකට මුහුණ දීමෙන් පසුව එම අගෝස්තු මාසයේ දී ජෝන්ස් උත්තේජක පරීක්ෂණයක් ප්‍රථම වරට අසමත් වීමත් සමඟ ඇගේ ක්‍රීඩාවට නැවත පැමිණීම නැවතීමකට ලක්වන්නට විය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරීම් තරගවල දී ලබාගත් සාම්පලයක තහනම් උත්තේජකයක් වූ ‘EPO’ තිබී හමුවීමත් සමඟ යි. කෙසේ නමුත් ඒ පිළිබඳව අදහස් දැක්වූ ජෝන්ස් ප්‍රකාශ කර සිටියේ එම පුවත පිළිබඳව ඇය පුදුමයට පත්වූ බවයි. කෙසේ නමුත් සෘණ ‘B’ සාම්පලයක් මඟින් ඇය පසුව ඉන් නිදහස් විය.

අනතුරුව බාර්බඩෝස්හි ධාවන ශූරයෙකු වූ ඔබඩෙල් තොම්ප්සන් සමඟ ජෝන්ස් විවාහ දිවියට එළඹෙන අතර 2007 ජූලි මාසයේ දී ඔවුන් දෙදෙනාගේ පළමු දරුවා ලෙස පුතෙකු උපත ලබයි.

එම වසරේම ඔක්තෝබර් මාසයේ දී ජෝන්ස් විසින් ඇය තහනම් උත්තේජක නොගත් බවට පරීක්‍ෂකවරුන් හට සිදු කළ ප්‍රකාශ අසත්‍යයක් බව පිළිගනිමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියට පෙර ඇය එම උත්තේජක ලබාගත් බවයි.

ඒත් සමඟ ඇය සිය ක්‍රීඩා දිවියට සමුදුන් අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එම ඔලිම්පික් තරගාවලියේ දී ඇය දිනාගත් පදක්කම් 5ම ඇයට අහිමි කරමින් 2000 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඇයගේ සියලුම තරග ප්‍රතිඵල මකා දැමීමට කටයුතු කරනු ලැබීය.

ඒ ආකාරයට ඇයගේ පදක්කම් අහිමි කිරීම නිසා 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී ජෝන්ස් රන් පදක්කම දිනාගත් මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහ හට එම ඉසව්වේ රිදී පදක්කම පිරිනැමුණි.

ඒ අනුව 1984 වසරේ දී 9 හැවිරිදි වියේ පසුවූ මේරියන් ජෝන්ස් සිය කාමරයේ කළු ලෑල්ලේ ‘මම කෙදිනක හෝ ඔලිම්පික් ශූරියක් වනවා’ යනුවෙන් සටහනක් තබා ගනිමින් සිය සිහින හඹාගොස් ඒවා සැබෑකර ගැනීමට සමත් වුවත්, ඒ සඳහා ඇය යොදාගත් වැරදි මාර්ගය හේතුවෙන් එක් ක්ෂණයකින් ඒ සියල්ල ඇයට අහිමි වන්නට විය. ඇයගේ වසර ගණනාවක මහන්සිය, කැපකිරීම් සහ පුහුණුව එක් වරදක් හේතුවෙන් මේ ආකාරයට අපතේ ගියේ ඇගේ නම ඉදිරියේ ද කළු පැල්ලමක් ඉතිරි කරමිනි.

ඒ අනුව මේරියන් ජෝන්ස්ගේ මෙම කතාව වත්මන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අතිශය වැදගත් වන්නේ තහනම් උත්තේජක භාවිතයේ අනිසි ප්‍රතිඵල ඒ තුළින් මනාවට විදහා දැක්වෙන හෙයිනි. දිනෙන් දින ඉදිරියට යන ශ්‍රී ලංකාවේ තරුණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගැනීමේ දී මෙවන් අනිසි ක්‍රම සහ මාර්ග භාවිතා කිරීමෙන් වැළකී, සිය දක්ෂතාවන් තුළින් ජයග්‍රහණ ලබාගනිමින් තමන්ගේ නාමයත් ශ්‍රී ලංකාවේ නාමයත් ලෝකය ඉදිරියේ ඉහළින් වැජඹීමට වගබලා ගත යුතුය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<