වාර්තා පිට වාර්තා තැබූ කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවේ දිරිය දියණියෝ

991

කොළඹටත් නුවරටත් මැදිව පිහිටා ඇති කෑගල්ල ශ්‍රී ලංකාව නියෝජනය කළ කෙටිදුර හා මැදි දුර ධාවන ශූරයින්ගේ පාරාදීසයක්.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%ක්ම වාසය කරන්නේ නගරාසන්නයේ නොවේ. ඒ හේතුව මත ගමේ මල් ගමේම පරවී යනවා සේ, දක්ෂයින් විශාල ප්‍රමාණයක් ගමේ පාසලෙන් ධාවන පථයට සමුදෙනවා. නිසි පහසුකම් නොමැතිකම, ආර්ථික අපහසුතා වැනි කාරනා රාශියක් නිසා මේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගමේම පරවී යන්නට සිදු වුනත් මේ බාධක සියල්ල මැඩලමින් ජාත්‍යන්තර තලය විජයග්‍රහණය කළ දක්ෂයින් නැතුවම නොවේ. එක්තරා අවදියක නගරයෙන් ඈත ගමක කුඩා දැරියක්ව සිටි සුසන්තිකා ජයසිංහ සියලු බාධක මැඩලමින් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා නාමය සනිටුහන් කළේ මේ කිසිදු පහසුකමක් නොමැතිවයි.

කෙසේ වුවත් කෑගල්ල ප්‍රදේශයේ සියලු පාසල් අභිබවා එක් පාසලක් දිගින් දිගටම ගමේ මල් කැකුළු ජාතික ධාවන පථයට තිලිණ කරමින් සිටියි. මලල ක්‍රීඩාවට නමක් දිනූ ප්‍රබල පාසල් රැසකින් සැඟව සිටින මේ පාසල කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවයි.  

දුවන සපත්තුවෙන් අස්වනු නෙලන්නට පෙර

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩා අතලොස්ස අභිබවමින් වර්තමානය වන විට මලල ක්‍රීඩාව ගැන..

කාන්තා මීටර 100 ඉසව්වේ දකුණු ආසියාවේ ශූරිය වන රුමේශිකා රත්නායක සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ප්‍රෞඩ නිර්මාණයක්. 2016 ගුවාහිටි හිදී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ ඇය එම තරගාවලියේම මීටර 200 ඉසව්වෙන් ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. බුවනේශ්වර් හි පැවති 2017 ආසියානු ශූරතාවලියේ දී මීටර 200 ඉසව්වේ තේරීම් තරගවල දී තත්පර 23.40ක් ලෙස සිය හොඳම පෞද්ගලික දක්ෂතාව වාර්තා කළ ඇය අවසාන මහා තරගයේ දී තත්පර 23.43කින් රිදී පදක්කම දිනුවේ ඇයගේ නාමය ශ්‍රී ලංකා ධාවන පථයේ සනිටුහන් කරමිනි.   

කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ රුමේෂිකා කුමාරි රත්නායක ‘මලල ක්‍රීඩා රැජින’ බවට පත්වන්නේ වසර 21කට පෙර සුපිරි ධාවන ශූරි දමයන්ති දර්ශා පිහිටුවා තිබූ ජාතික වාර්තා දෙකක් 35 වන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී බිඳ දමමිනි.  

සාන්ත ජෝසප් බාලිකාවේ අධ්‍යාපනය ලබන කාලයේම සිය නම ජාතික තලයේ තහවුරු කළ රුමේශිකා මීටර 100 ඉසව්වෙන් දමයන්ති දර්ශා 1993 කොළඹ කාන්තා විද්‍යාලයේ ක්‍රීඩිකාවක් ලෙස පිහිටුවා තිබූ තත්පර 12.0ක් වාර්තාව තත්පර 11.80කින් බිඳ දැමූ අතර මීටර 200 ඉසව්වෙන් ද දර්ශාගේ වාර්තාව තත්පර 24.12කින් බිඳ හෙලීමට සමත් විය.  

ඇයගේ පාසල් සමයේ විශිෂ්ටතම දක්ෂතාවයක් නම් ඇය මීටර 100 වාර්තාව දෙවරක් අලුත් කිරීමයි. තේරීම් තරගවල දී 11.85කින් ඉසව්ව නිමා කළ ඇය අවසාන මහා තරගයේ දී 11.80කින් එම ඉසව්වම නිමා කළේ තවත් සුසන්තිකා ජයසිංහ කෙනෙක් නොව පළමු රුමේශිකා රත්නායක කෙනෙක් ජාත්‍යන්තර පිටියට පැමිණෙන බවට ඉඟි ලබා දෙමින්.

මෑත කාලයේ කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවෙන් තවත් ජාතික තලය තරණය කළ තරු කිහිපයක්ම බිහි විය. සඳුමිනි බණ්ඩාර ඉන් එක් අයෙක්. ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 400 ඉසව්ව 57.54කින් නිමා කරමින් දකුණු ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඇය සමත් වෙද්දී මීටර 100 ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට මධාරා වීරසූරිය සමත් විය.

වසර ගණනාවක් පුරා සෙන්ත ජෝසප් බාලිකා විද්‍යාලය සමස්ත ජාතික ශූරතාවයන් රැසක් දිනා ඇති අතර ජාතික කනිෂ්ඨ, සහය දිවීමේ ශූරතාවලි හා ජෝන් ටාබට් තරගාවලි ද ඒ අතර තිබෙනවා. සඳුමිනි බණ්ඩාර, සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන් බිහිවන මීළඟ ධාවන තරුව, මීටර 400 ධාවන පථය තමන්ගේ රාජධානිය කරගෙන ඇති අතර නිමා වූ ජාතික කනිෂ්ඨ ශූරතාවලියේ දැක්වූ දස්කම්වලට පසු ජපානයේ දී නිමා වූ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ දී ද විශිෂ්ට දස්කම් දක්වන්නට ඇය සමත් විය.

 මේ දක්ෂ මලල ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය තරණය කරන්නට ගිය ද ඔවුන් තරණය කළේ ඉතා පහසු මාර්ගයක් නොවේ. මිනිසුන් ඔවුන්ගේ ජයග්‍රහණයේ කතාව දැන සිටිය ද ඔවුන්ගේ මහන්සියේ කඳුළු කතාව කෑගල්ල දිස්ත්‍රික් සීමාව තුලම සැඟව ගොසින් තිබේ.

මේ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනාම ජාතික තලයේ ඉහළ දස්කම් දැක්වුවත් ඔවුන්ට තිබුණු පහසුකම් ඉතා අවමයි.

මුළු කෑගල්ල දිස්ත්‍රික්කය පුරාම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සඳහා ඇත්තේ නිසි තත්වයෙන් ඇති එක් ක්‍රීඩා පිටියක් පමණි. ඒ නිසා දිනයේ හිරු නැගෙන්නටත් ප්‍රථම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පුහුණුවීම් ආරම්භ කරන්නේ දිස්ත්‍රික්කය පුරා සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ධාවන පථය සොයාගෙන පැමිණෙන නිසාවෙනි. බස් රථය අල්ලා ගැනීමට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාසනාවන්ත වුවහොත් පැය දෙකක දුෂ්කර පා ගමනකින් වැළකෙන්නට ඔවුන්ට හැකි වනු ඇත.   

උදෑසන 6 කණිසමට ආරම්භ වන පුහුණුවීම් අවසන් කර මේ ක්‍රීඩිකාවන් නැවත පාසලට යන විට බොහෝ විට පන්තියේ පළමු කාල පරිච්ඡේද දෙක අවසන් වී තිබේ. මේ බාධා මැද ද ඔවුන් පුහුණුවීම් වල නිරත වන්නේ ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙන ඒමේ ඔවුන්ගේ සිහිනය හඹා යන්නටය.

නිමා වූ ජාතික කනිෂ්ඨ ක්‍රීඩා උළෙලට පැමිණ සිටි දෙමව්පියෝ මෙසේ අදහස් දක්වා තිබුණි, “දරුවන් ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න කැමැත්තක් නැහැ, ඒ ඔවුන් ක්‍රීඩාවට ආදරේ නිසා, ඒ නිසා අපිත් ඔවුන් වෙනුවෙන් උපරිම කැපවීම් කරනවා, නව පුහුණු ක්‍රීඩා පිටියක් හදන්න අත්තිවාරම දාල දැන් වසර දෙකකටත් වැඩි, නමුත් තවමත් අපිට ක්‍රීඩා පිටියක් නැහැ”

ඔවුන් බලාපොරොත්තු කඩවූ ලෙස අදහස් දැක්වුවද ඔවුන්ට තවමත් බලාපොරොත්තුවක් ගෙන එන්නේ සිය දියණියන් ක්‍රීඩාවෙන් ලොව ජය ගනිවී යැයි සිතේ කොනක ඇති හීනි අපේක්ෂාවයි.   

සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය නැවත එලීමෙන් අනතුරුව කනිෂ්ඨ ශ්‍රී ලංකා ධාවන ශූරයෝ දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ මෙන්ම ජාතික කනිෂ්ඨ ශූරතාවලියේ දී ද වාර්තා පිට වාර්තා බිහි කිරීමට සමත් වුනා. ඒ වසර ගණනක් අබලන්ව තිබූ ධාවන පථය නැවත එලීමට පින් සිදුවන්නටයි. මෙවැනිම සැලැස්මක් කෑගල්ලටත් ක්‍රියාත්මක කළ හැකි නම් ක්‍රීඩාවට ආදරය කරන අතිදක්ෂ ක්‍රීඩකයින් රැසක් ජාත්‍යන්තර තලයට ගෙන යාමට හැකි වනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<