දුවන සපත්තුවෙන් අස්වනු නෙලන්නට පෙර

797

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩා අතලොස්ස අභිබවමින් වර්තමානය වන විට මලල ක්‍රීඩාව ගැන වැඩි වැඩියෙන් කතාබහට ලක්වන කාල වකවානුවක් රටේ නිර්මාණය වී ඇත. අකුරම්බොඩ කොහේ දැයි අයෙක් අසන විට, ගමෙන් නගරයට බට දිලිෂි ලා, අමාෂා ලා ගැන ද සොයා බලන්නට අයෙක් වෙහෙසෙනු දක්නට ලැබීම සුලබ දසුනකි. ඊට හේතුව නම් පසුගිය දා නිමාවුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී ආසියාවේ ප්‍රබලයින් හා සටන් වැදී ලක්මාතාව රනින් රිදියෙන් බබළවන්නට මොවුන් සමත් වීම නිසාවෙනි.

විමතියට කරුණ නම් මේ සියලු සිද්ධි දාමයන් එකින් එක පෙළ ගැසෙන්නේ දින 60කටත් වඩා අඩු කාල සීමාවකදීයි. මේ සියල්ලටම දෙමසකට එපිට දී තරග වදින්නට අපට තිබුණේ එක් ධාවන පථයකි. සුමට වූ අග්‍ර ගණයේ මං තීරුවක් නොවූවත්, ජයග්‍රහණ පිපාසිතයින් පදක්කම වෙනුවෙන් පළුදු වූ ධාවන පථය අභිබවන්නට වෙහෙසෙනු දක්නට ලැබීම මලල ක්‍රීඩාවට ලැදි අයෙකුගේ දෙනෙතකට නම් කඳුලක් එක් කරනු නොඅනුමානයි.

සිංහ ධජය ධාවන පථයට අනන්‍ය වන්නේ ඊයේ පෙරේදා නම් නොවේ. ලාංකිකයන් ඔලිම්පික් දිනන්නේ ඉන්දියාව වැනි දැවැන්ත රාජ්‍යයන් පවා ඔලිම්පික් පදක්කමේ සුවඳ වත්  හඳුනන්නට පෙරයි. 40 දශකයෙන් ඇරඹෙන පෙරළිකාරී පදක්කම් ඉතිහාසය තුළ ලංකා ද්වීපය රනින් බැබළෙන්නේ මල් ඉහිරුණු සොඳුරු මාවතක නම් නොවේ. ඒ එදා යැයි කියා අද ද වෙනසක් නැත. අද වන විට ද සපත්තු නොපලදින ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ධාවන පථය තුල වැඩ පෙන්වන්නේ සපත්තුවත්, දක්ෂතාවත් අතර සබැඳියාව එකිනෙකට ස්වායක්ත බව අපට පසක් කරමිනි.

රටේ පාලන තන්ත්‍රයට ද විටෙක මඟ හැරී යන මේ සාක් ක්‍රීඩා තුල දැවැන්තයන් බිහිවන්නේ නෙළුම් කොළයේ බත් පතක හෝ  බත් ගසක පෝෂණයෙන් විනා, අනර්ඝ යැයි පැවසෙන පෝෂණ අතිරේක සහ ශක්ති වර්ධකවල ආධාරයෙන් නම් නොවේ.

“විදුලිපුර විදුලිය” ලෙස විරුදාවලි ලත් සුගත් තිලකරත්න ලෝක ශූර මයිකල් ජොන්සන් ලා ඇට්ලන්ටාවේ දී පරාජය කරන්නත්, සුද්දාගේ ධාවන පථයේ දී පෝලින්-ඩේවිස් තොම්සන්ට දශමයෙන් දෙවැනි වන සුසන්තිකා ජයසිංහ ලා බිහිවන්නේත් ගමේ හාලේ ශක්තිය මොනවට පැහැදිලි කරමිනි.

කාලයේ ඇවෑමෙන් එවන් දස්කම් මැකී යන්නේ සියල්ලන් අතින්ම සිදු වූ අඩුපාඩුවල ප්‍රතිවිපාක ලෙස යැයි හැඟේ. දියගම ධාවන පථය එකම ධාවන පථය වූ යුගයක ක්‍රීඩකයන් කොන්ක්‍රීට් මත දුවනු අපට අමතක නැත. පය එහි වදින පියවරක් පාසා ලද ආබාධ සුව නොවුනු අවස්ථා ද නැතුවාම නොවේ. හුදෙක් මලල ක්‍රීඩකයාට එම ධාවන පථය නයාට අඳුකොළ තරම්ම අප්‍රසන්නය. නමුත් ඔවුහු මලල ක්‍රීඩාව තනි නොකළහ. එතරම්ම අප අවාසනාවන්ත නැත. එහෙයින් දැන් දැන් අප පෙර ඇසූ යුගය වෙත නැවත හැරෙන්නට මාවත සකස් වනු පෙනෙන්නට තිබේ. රටේ වාසනාවකට හෝ බලධාරීන්ගේ සිහිය සුගතදාසය වෙත හැරෙන්නේ මේ කියන්නා වූ වකවනුවේදීයි. නව ධාවන පථයේ නැවුම් සුවඳ පවා තවමත් මැකීගොස් නොමැති නමුත් මේ වන විට රටේ මලල ක්‍රීඩාවේ අනාගතය දකුණු ආසියාවත්, ආසියාවත් ජය ගෙන හමාරය.

කැන්ගරු දේශයේ සිට වාර්තා අලුත් කළ සිංහයන්ගේ පොදුරද මඩුලු සවාරිය

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙල, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල…

තණ තීරුව වෙනුවෙන් ලැබෙන ඉල්ලුම ධාවන මං තීරුවට නැත. නමුත් ධාවන මං තීරුවේ හැදෙන ගහ දෙපෙත්තෙන් රටටම දැනී හමාරය. රිදෙන තැන්වලට රිදෙන්නට දී දැනෙන තැන්වලට දැනෙන්නට දී දෑත් බැඳ බලා සිටින්නට චිත්තාවේග ඉඩ නොදෙන්නේ ක්‍රීඩාව අප සිරුරේ ඇට මස් ලේ නහර දක්වාම කිඳා බැස ඇති නිසාවෙනි.

වසර ගණනකින් පසු මීටර් 400 තත්පර 46න් නිමා කරන්නට කිසිවෙකුත් සමත් නොවූ සමයක, අකුරම්බොඩින්  “දුවන සපත්තු” පලඳින නව යොවුන් තරුණයෙකු ගැන සඳහනක් තබන්නට අත්‍යාවශ්‍ය ය. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී වසර 19ක වාර්තාවක් අලුත් කරමින් වසරේ සියලු ආසියානු ක්‍රීඩකයන් අතරින් සයවැනි හොඳම කාලය වාර්තා කරන්නට මේ අකුරම්බොඩ තරුණයා නොහොත් අරුණ දර්ශන සමර්ථ විය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි අවසන් තරගයේ ආරම්භක අවස්ථාවේ දී

තත්පර 44.61කින් ෆුකෝකා පථයේ තැබූ එම වාර්තාව සුගත් වත් අවුරුදු 19 දී තත්පර 45.79කට තරග අවසන් කරමින් තබා නැත. අද වන විට ආසියාවේ සියලු කනිෂ්ඨයන් අභිබවන්නට සමත් වී ඇති මේ කෝඩුකාරයා ලෝක කනිෂ්ඨ මට්ටමේ අටවැන්නායි.  ඔහුව අභිබවා යන සත් දෙනෙකි. එයින් සතරක් ප්‍රබල ජැමෙයිකානු දේශයේ වන අතර සෙස්සන් තිදෙනා ඇමෙරිකාවට උරුමකම් කියද්දී, ඔවුන් හා සටන් කළ හැකි එකම ආසියානු ක්‍රීඩකයා අරුණ වීම ද මුළුමහත් ආසියාවටම ආඩම්බරයක් ගෙන දෙන්නකි.

විටෙක ජවහර්ලාල් නේරු තුමා කී පරිදි “ඉන්දියාව නමැති දොළපිදෙනියෙන් වැටෙන කිරි බින්දුව” නමැති පුංචි ශ්‍රී ලංකාවේ මෙවැනි රන් දස්කම් ලොවටම කියා පාන්නේ, හැකියාව මත මිස පහසුකම් මත ජයග්‍රහණය රඳා නොපවතින බවයි. නමුත් තවමත් අපේ රට දුවන්නේ යල් පැන ගිය “සිස්ටමැටිකල් බයෝලොජිය” ක බව රටේ සියල්ල හිස් මුදුනින්ම පිළිගන්නා සත්‍යයකි.

කන්ද උඩරටින් කලඑලි බසින වර්තමාන කළු වෙළඹ ගැන වචනයක් නොකියාම බැරිය. නමින් අමාෂා ද සිල්වා වූ ඇය මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය නියෝජනය කරන්නීය.

දකුණු ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ දී රටම හඳුනා ගන්නා අමාෂා එහි දී සහභාගී වූ සියලු ඉසව්වලින් රන් පදක්කම් දිනා ගන්නට සමත් විය. ඒ මීටර් 100, 200, 100*4 හා 400*4 ඉසව්වලදීයි.

පසුගිය ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ දී ද  ප්‍රබල චීන අධිරාජ්‍යයටත්, ජපාන හපනුන්ටත් දරුණු පීඩනයක් එල්ල කරන්නට ඈ සමත් වූවාය. ආසියාවේ ලොක්කන් හා හරි හරියට ඔට්ටු වන මේ පුංචි කෙල්ල කවුදැයි මුළු ගීෆූ නුවරම බිරාන්ත වූවා වන්නට පුළුවන. තත්පර 11.71ක කාලයක් වාර්තා කරමින් තත්පර දශම 3කින් (24.47) පමණක් චීනයට පමණක් දෙවැනි වෙමින් මීටර් 200 ඉසව්ව ද තියුණු තරගයකින් ජයග්‍රහණය කරන්නට ඈ සමත්වන්නීය.  

මීටර් 400 හා මීටර් 800 යන ඉසව් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට වළල ඒ. රත්නායක විද්‍යාලයෙන් ජපානයට පිටත්වුණු දිලිෂි ද, සෙස්සන්ට නොදෙවෙනි රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් ගෙලෙහි ලා ගත්තාය. ඇය ද පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද්විත්ව තරග වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නැංවූ අද්විතීය ක්‍රීඩිකාවකි. මීටර් 400 හා 400*4 කාන්තා සහය ඉසව් වෙනුවෙන් තිබූ වාර්තා ඈ විසින් අලුත් කළ අතර (මීටර් 400 – තත් 54.47 , සහය බාලිකා 400*4-  මිනිත්තු 3.43.31) ආසියානු උළෙලේ දී මීටර් 400,800 හා 400*4 යන ඉසව් වෙනුවෙන් ද ඇයගේ දක්ෂතා පෙන්විය. ඒ අතරින් ඇය මීටර් 800 ඉසව්වේ තම හොඳම කාලය වාර්තා කළේ පෙර කාලයට වඩා තත්පර 3කින් (ආසියානු -මිනිත්තු 2.04.53) ම මෙපිටට පැමිනෙමිනි. (ද.ආසියානු -මිනිත්තු 2.07.73)

මීටර් 3000 බාධක දිවීමේ බාලිකා ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගන්නට සමත් විය. ඒ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ සිප් සතර හදාරන තවමත් වයස අවුරුදු 17හි පසුවන පාසල් ක්‍රීඩිකාවක් වන පාරමී වසන්ති මාරිස්ටෙලා ගෙනි. ඇය ද එම ඉසව්ව වෙනුවෙන් ඇයගේ හොඳම කාලය වාර්තා කළ අතර ඈ පසුගිය දකුණු ආසියානු උළෙලේ දී ඇය වාර්තා කළ මිනිත්තු 10.31.00 ක කාලය ට වඩා තත්පර 10කට ආසන්නයෙන් ඉදිරියට පැමිණෙමින් මිනිත්තු 10.21.54 ක කාලයක් වාර්තා කිරීම වැඩි දෙනාගේ කතාබහට ලක්විය.

චීනය ජපානය වැනි ප්‍රබල රටවල් දියුණු වූ උපක්‍රම, පුහුණු ක්‍රම භාවිතා කරන යුගයක ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවමත් උදෑසන අවදි වී තණ පිටියට බැස කාෂ්ටක අව්වේ පුහුණුවීම් සිදු කරන්නේ ක්‍රීඩාවට ඇති ආශාව නිසාම විය යුතුය. ආසන්නතම සිදුවීමක් ලෙස මෙවර ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ගිය අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සම්බාහන ශිල්පියෙකු පවා සොයා ගැනීමට බලධාරීන් අසමත් වූ අවස්ථාවක පිටරටක සිටින සැබෑ ක්‍රීඩා ප්‍රේමී ශ්‍රී ලාංකිකයන් විසින් ඒ පහසුකම සලසා දීම ද සතුටට කරුණකි.

Pinterest.com- courtasy- නව හුස්ම ආධාරක උපක්‍රමයක්

රටේ පැන නගින ප්‍රශ්න ඉදිරියේ රැඩිකල් වනවා ම නොව රටේ වගකිව යුත්තන්ගේ කුඩම්මා සැලකිල්ලෙ තරම ගැන දැනෙන විට කට අයා බලා සිටීමට නොහැකි තැන සටහන් තබන්නේ සිතන්නට පවා හිස් තැන් ක්‍රීඩාලෝලියා ඉදිරියේ තබමිනි.

මීටර් 400 පිරිමි සහය දිවීමේ ඉසව්වෙන් හා මීටර් 3000 බාධක දිවීම වෙනුවෙන් වසන්ති මාරිස්ටෙලා රන් පදක්කම් දිනා දෙන්නේ ද ආසියාවේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ජාත්‍යන්තරයට රැගෙන යමිනි.

VertiMax-courtasy- නිවැරදි ආරම්භයක් සඳහා නවීන පුහුණු ක්‍රමයක්

නවතම ජවනිකාව පරිසාධන මට්ටම නොව පදක්කම් මට්ටමයි. ඒ හිතුවක්කාර නොමනා රංගනයෙන් කනිෂ්ඨ මීටර් 100 බාලිකා සහය කණ්ඩායමට ද දුක් විඳින්නට සිදු වීම රටම දන්නා සත්‍යයකි. ඒ දකුණු ආසියානු වාර්තාව අලුත් කළ මීටර් 100 සහය දිවීමේ බාලිකා කණ්ඩායමට ආසියානු තරගාවලිය වරම් අහිමි වූ නිසාවෙනි.

විටෙක මෙසේද සිතිය හැක.“අපේ ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්ව වෙනුවෙන් තත්පර 10ක් වැය කළා යැයි සිතමු. ඔලිම්පික් ඉසව්වේ ලෝක ශූර උසෙයින් බෝල්ට් ලා ගැට්ලින් ලා සටන් වදිනවා යයි සිතමු. නිදසුනක් ලෙස බෝල්ට් තත්පර 9.70කින් හා ගැට්ලින් 9.80කින් ඉසව්ව අවසන් කළා යැයි සිතුවහොත් තවත් එකෙකු හෝ 9.90කින් ඉසව්ව නිමා කරයි. අපේ තත්පර 10 ශූරයාට පදක්කම නිතැනින්ම මග හැරී යයි. එසේ නම් ක්‍රීඩකයා නොයැවීම සදාචාර සම්පන්න ද එසේත් නැතිනම් මලල ක්‍රීඩකයකුගේ අවසන් හීන මාවත වන  ඔලිම්පික් ඉසව්ව වෙනුවෙන් යැවීම සුදුසු ද?” මෙවැනි නොවිසඳුණු කථා මාලාවන් රටේ මලල ක්‍රීඩාවේ දැවැන්ත ගැටලු විය යුතුය.

“ඔබ පරිවර්තනය නොවන්නේ නම්, ඔබ අස්ථාවරයි” – මහේල ජයවර්ධන

ප්‍රමුඛ IPL ක්‍රිකට් කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන, පරාජය හසුරුවා ගන්නා ආකාරය ගැන හොඳ පණිවිඩයක් ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයන්…

දිනෙන් දින දක්ෂයන් වැඩිවෙනවා විනා හීන වන්නට ඉඩ නොදෙන්නට වගබලා ගත යුත්තන් දුසිමකි. සුගතදාසය නිමවී දෙමසකින් දකුණු ආසියානු වාර්තා ගොන්නක් බිඳ වැටෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියාවේ දෙවැන්නන් වෙමිනි. ඉනික්බිති ජපානයේ ජිෆූ අගනුවරට ගිය 13න් දෙනාගෙන් පදක්කම් 9කින් සටහනේ පස්වැනි තැනට ඉදිරියෙන් ශ්‍රී ලංකා නාමය ලියැවෙන්නේ ඉතිහාසයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් දැක්වූ උපරිම දක්ෂතා වාර්තාව ද පෙළපතට එක් කරමිනි.

මෙවන් දස්කම් පවත්වා ගෙන යාම ගැන බලධාරීන්ගේ නෙත් යොමු විය යුතු කාලයයි. අසංක රාජකරුණා වැනි හද්ද පිටිසර පුහුණුකරුවන් අරුණ ලා ප්‍රවේසම් කරන්නේ තමාගේම රුධිරයෙන් සැදී දරුවන් මෙනි. කරන්නට දෑ බොහෝ තිබිය දී අන්ධයන් සේ නොව රටේ මිණිමුතු රකින්නට වෙර දරන්නට බැඳී සිටීම අප සැමගේම යුතුකමකි.

කොන්ක්‍රීට් පථයේ වැටී වැටී දිව ගිය රන් දූ පුතුන්ගේ ප්‍රතිඵල දැන් දැන් ලැබෙන්නට පටන්ගෙන හමාරය. දෑසින් වැටි කඳුළු කැට වෙනුවට මේ මල් තුහින වසින්නට කාලයයි. මලල ක්‍රීඩාව යනු පුහුණුකරුවා ක්‍රීඩකයා හා මං තීරුව එකට එක්වුණු ව්‍යංජනයකි. රසය තිබෙන්නේ නියම ප්‍රමිතිය තිබෙන තාක්මය. ඒ ප්‍රමිතිගත සහතිකය රැක ගැනීම වගකිව යුත්තන් වන අප සැමගේම යුතුකමයි. පදක්කමට නොව පදක්කම ගන්නට සවිය වෙමු. එවිට සුසී ලා සුගත් ලා වැපිරූ කුඹුරේ අනාගත දූ පුතුන් අස්වනු නෙලනු නොඅනුමාන ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<