“සල්ලි වලට කවදාවත් එපා නුඹේ හිස නමන්න!”

2617

මෑත වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා සම්බන්ධයෙන් කන වැකෙන්නේ අසතුටුදායක පුවත් ය. මේ අසතුටෙහි ප්‍රධාන හේතුවක් ලෙස හැඳින්විය හැකි “මුදල්” නම් හේතුව ගැන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන ඔබට යම් අදහසක් දීම මැනවැයි සිතීමි. ඊට මා හා එක්වන්නේ මෙරට රන් යුගයන් නිර්මාණය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහ ක්‍රීඩිකාවකි.

ළාබාල ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් මුදල් ලැබෙන විට නොමඟ යෑම ගැන ක්‍රිකට් ක්‍රීඩාවෙන් සහ අනෙකුත් ක්‍රීඩාවලින් ඇසෙන නොයෙකුත් කණගාටුදායක කතා බහ අතරතුර, ඔවුනට යහපත් පණිවුඩයක් ලබාගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දීම මාධ්‍ය අපගේ වගකීමයි. නැතහොත් දිදුලන අනාගතයක් සහිත තරුණ ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් උපන්ගෙයිම මියැදෙන මෙවන් කාලයක දී අප රටට යන කලදසාව කුමක්දැයි සිතාගත නොහැක. ශරීරයේ දක්ෂකම් කොතරම් තිබුනත් මනසේ සැහැල්ලුභාවය සහ ඒකාග්‍රතාවය නැතිනම් ජයග්‍රහණ අපෙන් ඈත ය.

‘ක්‍රිකට් පවුල්වාදය’ මෙරටට උවමනා කොට තිබේ

“පවුල්වාදය” ශ්‍රී ලාංකික අපට හොඳින් හුරුපුරුදු වචනයකි. අප රටේ සෑම අංශයකම ඔඩුදුවා ඇති මෙය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යාවශ්‍ය බැව් දැන් හැඟී යයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු පවුලකට…

මුදලින් යට නොවූ ක්‍රීඩාවක් ගැන බලාපොරොත්තු තබන අප ඊට වගකිව යුතු අංශ තුනකට ආමන්ත්‍රණය කළ යුතුය. යහපත් මුදල් පාලනයක් සම්බන්ධව ක්‍රීඩකයෙකුගේ වගකීමත්, දෙමාපියන්ගේ වගකීමත්, පුහුණුකරුවන්ගේ වගකීමත් මේ ලිපියෙන් පැහැදිලි කිරීමට අදිටන් කරමි. ශ්‍රී ලංකාවේ බොක්සිං රැජිණ, අනූෂා කොඩිතුවක්කු, ලෝක ශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම විසින් මුදල් සහ ජනප්‍රියත්වය ඉදිරියේ නොනැමී ක්‍රීඩාව වෙනුවෙන්ම කැපවන්නේ කෙසේ දැයි පැහැදිලි කරමින් අංශ තුනකට ලබා දුන් අගනා පණිවුඩ කිහිපයකි මේ.   

අනූෂා කොඩිතුවක්කු (ක්‍රීඩකයෙකුගේ වගකීම)

නම කියූ සැණින් ඔබ හඳුනන ඇය ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම බොක්සිං ක්‍රීඩිකාවයි. 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමෙන් පසුව ඇය ගැන ඇතිවූ කතාබහ දැවැන්ත ය. මේ වන විට ජාත්‍යන්තර බොක්සිං පදක්කම් 14ක් පමණ දිනා ඇති අනූෂා, මේ වසරේ ඉහළින්ම වැජඹෙන ශ්‍රී ලාංකික කාන්තාවන් 50දෙනාගෙන් කෙනෙකි. ඒ සම්මානයට අමතරව ඇය විසින් මේ වසරේ ජාත්‍යන්තර මූල්‍ය සමාගම විසින් පුදකරන සම්මානයකට ද හිමිකම් කීවාය.

මේ සියල්ල තමන්ට හිමි වීමෙන් පසුව පවා ඇය ජීවිතය දෙස බලන කෝණය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන ඔබ සවන් දිය යුත්තකි.

“පිදිය යුත්තන් පුදන්න කියලා බුදුන් වහන්සේ පවා කියලා තියෙනවා. තමන්ගෙම රටේ අය එහෙම කරද්දී ලොකු අභිමානයක් දැනෙනවා. මේ recognition (විශේෂ කොට හඳුනා ගැනීම) එක motivation (උත්තේජනයක්) එකක්. කලාකරුවන්ට එහෙම තමයි සාමාන්‍යයෙන් සම්මාන ලැබෙන්නේ. ඒත් මේ වසරේ ක්‍රීඩිකාවක් හැටියට මං ඊට වටිනාකමක් දීලා තියෙනවා.”

ක්‍රීඩිකාවක ලෙස ඇය සතුවන අභිමානය එවැන්නකි. එය කිසිවෙකුට නොනැමෙන අභිමානයකි. මුදලට, බලයට හෝ ජනප්‍රියත්වයට නැමුණේ නම් ඇයට මෙතරම් ගෞරවයක් හිමිවන්නේ නැත.

ලෝක ශූරියට තනි කකුලෙන් අඬගසන ශ්‍රී ලංකා කෙල්ල

ඇය පන්නල ස්ලිම්ලයින් ආයතනයේ මානව සම්පත් විධායකවරියකි. වසර 15කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා දේශීය බොක්සිං වළල්ලේ අපරාජිත ප්‍රහාරිකාවකි.

“ක්‍රීඩිකාවක් විදියට දැක්ම සහ ප්‍රතිපත්ති කියලා දේවල් තියෙන්න ඕන. ඒවා මට කවුරුත් කියලා නෑ. ඒවා ලේ වලින්මයි ඇවිත් යටි හිතේම පැලපදියම් වුන දෙයක්. ඒක ජීවිතානුබද්ධයි.”

ඇය විසින් අභිමානයෙන් පවසන මේ ප්‍රතිපත්ති මොනවාද?

“කාවහරි ගොඩදාන්න හිතුණොත් මම කරන්න පුළුවන් හැමදේම කරනවා. සල්ලි කියන දේ ලැබෙනවා. දැන් මේ ඊයෙ පෙරේදා ලැබුණු සල්ලිත් ඔක්කොම මං පාසලකට දුන්නා. මං අනවශ්‍ය දේවල් කතා කරන්නෙ නෑ, ඒත් අවශ්‍ය දේ කතා කරනවා. අවුරුද්දේ දවස් 365න් 65ක් වත් enjoy කරන්නෙ නෑ. ක්‍රීඩාව ගැන කැක්කුමක් තියෙන්න ඕන, රට ගැන කැක්කුමක් තියෙන්න ඕන. එතකොට තමයි අපි මහන්සි වෙන්න පටන්ගන්නේ. සාමාන්‍ය කෙනෙක් වෙන්න මහන්සි වෙන්න ඕන නෑ, විශේෂ කෙනෙක් වෙන්න තමයි මහන්සි වෙන්න ඕන.” ඇය කෙලින් බලා කියාගෙන යයි.

“බීමක් බොන්න ගියත් මට ඒක අතට ගනිද්දී දැනෙන්න ඕන, කේක් කෑල්ලක් අතට ගත්තත්! කනවද – නැද්ද, නෙමෙයි. කන්නෑමයි කියලා!” අනූෂා අදහස් පළකරන්නේ හදවතිනි. වයස අවුරුදු 39 දී ඇය විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා බොක්සිං පදක්කමක ශ්‍රී ලංකා සිහිනය සැබෑ කළේ ඒ අයුරිනි. ආහාරයෙන් පවා ආරක්‍ෂිත වීම ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුගේ හෝ ක්‍රීඩිකාවකගේ වගකීමකි. ඇගේ ගමන මල් මාවතක සිදු වූ එකක් නොවන බව අප කිහිපවරක්ම ඔබට මතක් කොට ඇත.

“Professional (වෘත්තීමය) වෙන්න ඕන. පැරදුන්නැති කවුරුවත් ක්‍රීඩාවේ නෑ. ඒත් අපි ලෝක මට්ටමට යන්න නම් මෙහෙදී පැරදිලා බෑ. මං පිටරට දී පැරදිලා තියෙනවා ඒත් මම මෙතන කවදාවත් පැරදිලා නෑ.” ඇය ඇගේ දබරැඟිල්ල දිගු කළේ බොක්සිං වළල්ල වෙතයි. වසර 15ක කාලයක් පුරාවට (එතෙක් මෙතෙක්) ඇය ශ්‍රී ලංකා බොක්සිං වළල්ල තුළ අපරාජිත ය.

“අපි කරපු කැපකිරීම් වලින් කාලක්වත් කරන්න පුළුවන් ක්‍රීඩිකාවන් හිටිය නම් අද අපේ ක්‍රීඩාව මෙතැනින් ඉදිරියට යනවා.” ඇගේ කතාව පදනම් සහගත ය. වසර 15කට අධික කාලයක් පුරා ඇයව පරාජය කළ නොහැකිව ඇති බවම ඊට සාක්ෂි ය. නවක ක්‍රීඩිකාවන් ප්‍රවීණයන්ට අභියෝගයක් විය යුතුය. එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව යන්නේ කොයිබට ද? අප සදාකල් අරවින්ද ද සිල්වාලා, සනත් ජයසූරියලා, අර්ජුන රණතුංගලා, මුත්තයියා මුරලිදරන්ලා, සුසන්තිකා ජයසිංහලා, දමයන්ති දර්ශාලා, අනූෂා කොඩිතුවක්කුලා ගැනම කතා කරන්න ද?   

අනූෂා නිහතමානී චරිතයකි

කෙතරම් නම්බු නාම, සම්මාන ලැබුනත් තවමත් ඇය නිරහංකාර, නිහතමානී චරිතයකි. ඇගේ ඕනෑම මිතුරියක හෝ මිතුරෙකු මෙය තහවුරු කරාවි. තවමත් මෙරට තුළ අපරාජිත ඇය තම සරල දිවිපෙවෙත ගැන මෙසේ අදහස් පළකරයි.

“මට ඕන දෙයක් ඉක්මණින් අත්හරින්න පුළුවන්. දෙමාපියන් වුනත් අත්හරින්න වෙන බව මං තේරුම් අරන් ඉන්නේ. මං සංවේදී කෙනෙක්. ඒත් බුදුන් වහන්සේ කියා දුන් දේ මං තේරුම් ගනිමින් ඉන්නවා. මිනිස්සු මැරෙන්න බයයි, ඒත් මම හෙට වුනත් මැරෙන්න පුළුවන් කියන ධර්මතාවය මං තේරුම් අරන් ඉන්නේ.”

“මම මේ ගමන පටන්ගනිද්දී පයට සෙරෙප්පු දෙකක්වත් තිබුණේ නෑ. ඒත් දැන් මං හිතනවා මට අවුරුදු 50ක් විතර වෙද්දී මේ ලබාගත්ත දේවල් අත්හරින්න පුළුවන්. මං ගෙවල් හැදුවා, වාහන ගත්තා. ඒත් මේ එකක්වත් මට නෙමෙයි, අනිත් අයට.”

ආධ්‍යාත්මික චින්තනය සහ මානසික ඒකාග්‍රතාවය ජයග්‍රහණවලට කෙතරම් වැදගත් වන්නේ දැයි යන්න ඇය මෙසේ පැහැදිලි කළා ය.

“ආශීර්වාදය කියන දේ හරිම වැදගත්. හොඳ දේවල් කරන්න කරන්න ඒවා ආයෙත් ලැබෙනවා. ආශීර්වාදය කියන දේ නිකං ගන්න බෑ. දාහක් විතර හොඳ දේවල් කරන්න ඕන. ආගමික, අන්‍යාගමික, ගුරුවරු, ළමයි, ගමේ මිනිස්සු, ගහකොළ, ඇලදොළ කියන හැමදේම අපට ආශීර්වාද කරනවා. අදටත් මම ground එකට වැඳලයි practice කරන්නේ. මං පරිසරයට ආදරෙයි. නොතේරෙන කාලෙදි වැරදි කරන්න ඇති. නමුත් අද මට ගස් ගල් පවා ආශීර්වාදයක්.”

“48kg කියන බරපන්තිය පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ තිබුණේ නෑ. 51kg වලින් මට සහභාගී වෙන්න බැරි වුනා. ඒත් 48kg බරපන්තිය ඉතිහාසයේ පළමු වතාවට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඇවිල්ලා, මම නිතරගයෙන් තේරිලා, පදක්කමක් කරා යන්න ලැබුණේ ඒ ආශීර්වාදය නිසයි. ඒ පදක්කම හදන්න පටන්ගත්තේම මට කියලයි මම හිතන්නේ. මට ඩෙංගු හැදිලා ඇඟේ හයිය අඩු වෙලා තිබුණේ. ඒත් මාව සහ මගේ චරිතය ගැන කතාබහ වෙන්න අවශ්‍ය පරිසරය ගොඩ නැගුණා. ඒ අර ආශීර්වාදය නිසයි.”    

ඇයට පොදුරද මඩුලු ලෝකඩ පදක්කමක් හිමිවූයේ එසේයි

“හැඟීම කියන දේ අත්‍යාවශ්‍යයි. සිතුවිලි, ආකල්ප කියන දේවල් ටික වෙනස් වුනොත් මේ රට අපට හදන්න පුළුවන්. මම ඒ වෙනස කරගත්ත නිසයි අද මට මේ දේවල් ලැබුණේ.” අගේ අදහස් ඊතල මෙනි. ජාත්‍යන්තර පදක්කම් 14ක් ඇය මෙරටට ගෙන ආවේ ශරීරය පුහුණු කිරීමෙන්ම පමණක් නොවේ. එය ඔබට ද පෙළඹවීමක් වේවා!

 

අර්ජුන රණතුංග (දෙමාපියන්ගේ වගකීම)

images.assettype.com

1996 ලෝක ශූර ක්‍රිකට් නායකයාගේ ක්‍රීඩාමය පරිසරය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැතැයි සිතමි. අමාරුම කාලයේ දී මෙරට ක්‍රිකට් නායකත්වය හෙබවූයේ කවුරුන් දැයි යන්න පිළිබඳව යමෙකුට සැකයක් ඇතිනම් අර්ජුනගේ (අද – අමාත්‍ය අර්ජුන රණතුංග) ඉතිහාසය අධ්‍යයනය කරන්නට යැයි ආරාධනා කරමින් මම ඔහුගේ දෙමාපියන් ඔහුට ලබා දුන් අගනා පණිවුඩය කිහිපයක් වෙත යමි. ලෝක ශූර ක්‍රීඩකයෙකු ගොඩනැගීමට නම් දෙමාපියන්ගේ වගකීම ඉන් ඔබට පැහැදිලි වනු ඇත. (ස්තුතිය – ජාතික රූපවාහිනිය)

“ඕනම පවුලක මම දකින්නේ අම්මා තමයි පුරුක. මම ජාත්‍යන්තර ක්‍රීඩා කරන කොට වුනත් මම පවුලේ දෙවනියා විතරයි. අම්මා මට කවදාවත් පවුලෙ පළමුවැනියා වෙන්න දුන්නෙ නෑ. ගෙදර ලොකු එක්කෙනා අයියා. එහෙම තමයි අම්මා අපිව සැලකුවේ.” අර්ජුන සිය මවගෙන් ලද ශික්ෂණය ගැන සිහිකිරීම ඇරඹුවේ එසේයි.

“අම්මා හරි තැන්වල දී මට හරි උපදෙස් දීලා තියෙනවා. මම පළවෙනි ටෙස්ට් match එක ගහද්දි මට අවුරුදු 18යි. මාව හම්බ වෙන්න එන්න ඕන කිව්වා ප්‍රධාන තේ ආයතනයක මහත්මයෙක්. මං අම්මට කිව්වා මේ මට advertisement එකක් කරන්න එන්න කියනවා, මොකද කරන්නේ කියලා මට තේරෙන්නෑ කියලා. එතකොට කිව්වා එන්න කියන්න කියලා.” අර්ජුන පවසන්නට යන මේ කතාව ඔබ නෙත් දාහකින් කියවිය යුත්තකි.

“මම ඇවිල්ලා ඉඳගෙන හිටියා, ඒ මහත්තයත් ආවා. ඒ දවස්වල චිත්‍රපට වල ඉන්න ප්‍රධාන නළු නිළියන්ට වගේ දහ ගුණයක් විතර මුදලක් එක්ක මට ලොකු offer එකක් (දීමනාවක්) දුන්නා. මට ඒ දවස්වල එච්චර ඉංග්‍රීසි තේරෙන්නෙත් නෑ. ඒත් මට තාම මතකයි අම්මා කියනවා, ‘My son is not for sale!’ (මගේ පුතා විකිණීමට නැත) කියලා. පස්සෙ රෑ මං නිදියගෙන ඉන්නකොට මගෙ ළඟට ඇවිල්ලා කිව්වා ‘තමන්ගෙ ශරීරයයි, ලස්සනයි, දක්ෂතාවයයි කවදාවත් මුදලට විකුණන්න එපා’ කියලා. එදා ඉඳලා තමයි මම කිසිම වෙළඳ දැන්වීමකට නොයන්න තීරණය කරේ.” අද වනතෙක් අර්ජුන රණතුංග නම් අතිශය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා, ලෝක ශූර නායකයා සහභාගී වී ඇත්තේ එකම එක වෙළඳ දැන්වීමකට ය. ඒ මුදලට නොව, සමාජ සත්කාර්යයක් වෙනුවෙනි.

http://www.dailynews.lk – අර්ජුන, ක්‍රීඩා කරන සමයේ

“ඊට පස්සේ 1996ත් මට ආවා විශාල මුදලක්, ඩොලර් මිලියනයක (අද රු. 170,611,400/=) මුදලක්. ඒකෙ තිබුණේ පුතා එක්ක එකක්. පස්සේ ඒකටත් මං කිව්වා, ‘(දැන්වීම) කරන්න නම් අම්මව පොළඹවන්න වෙයි’ කියලා. ඉතින් ඒක කවදාවත් කාටවත් කරන්න බැරිවෙච්ච දෙයක්.” 1996 දී ඩොලර් මිලියනයක් අත්හැරි අර්ජුන එසේ කියද්දී අද රුපියල් ලක්ෂ කිහිපයකට පවා පිළිකාකාරක හෝ අහිතකර නිෂ්පාදිතයන් ප්‍රචාරණය කරන ඇතැමුන් අපි දකිමු. රටක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම යනු රටේ සමස්ත ජනතාව වෙනුවෙන් පෙනී සිටීමයි. ඒ වගකීම ක්‍රීඩකයන් විසින් අත්නොහළ යුත්තකි. අනෙක් අතින් රූපවාහිනියෙන් කුමකින් කුමක් ප්‍රචාරණය වුවද, ඔබගේ දරුවන් රැකගැනීම දෙමාපිය ඔබට භාර ය.

“මූල්‍ය පැත්තෙන් අවාසියක් වුනාට මගෙ ජීවිතේ පැත්තෙන් ඉස්සරහට ගිය ගමන්වලදී ඒ වගේ උපදෙස් මගෙ ඔලුවට හරියට වැටුණා වගේම අද මේ තැනට එන්න මට හරියට උදව් වුනා.” අර්ජුන අද ඒ ගැන සිහිකරන්නේ හිස කෙලින් තබාගෙන ය. ‘බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ?’ යන ගීත ඛණ්ඩය සිහිවේ. ඔව්, ඒ ස්වර්ග රාජ්‍යය ඔබ ඔබේ මනස තුළ ගොඩනගාගත යුතුය.

එමෙන්ම අර්ජුන තම පියාගෙන් ලද හයිය ගැන සිහිකරන්නේ මෙසේයි.

“අම්මා හැමවෙලේම උපදෙස් දෙනවා. ඒත් තාත්තා එහෙම නෑ. දෙයක් කියන්නෙ හරි කලාතුරකින්. හැබැයි එහෙම දෙයක් කිව්වහම ඒක ඔලුවටම ඇණේ ගැහුවා වගේ වදින්න කියන්නේ. මට මතකයි මං පළවෙනියට පාර්ලිමේන්තුවට තේරුණු වෙලේ අපි දෙන්නම එකටයි ගියේ. මට කිව්වා, ‘මේවා සාංඝික දේපල’ කිව්වා. ‘සතයක්වත් හොරකම් කරන්න හිතන්න එපා’ කිව්වා. ‘අනිසි විදියට වියදම් කරන්න එපා’ කිව්වා.” ඔහුගේ දේශපාලනය ගැන මට කිසිදු අදහසක් නැත. එනමුත් මගේ අරමුණ, මුදල් පාලනය සම්බන්ධව පියෙකු විසින් දරුවන්ට ලබා දිය යුත්තේ කුමන ගුරුහරුකම් ද යන්න අර්ජුන රණතුංග නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ ජීවිතය ඇසුරින් පැහැදිලි කිරීම පමණි.

අර්ජුනගේ මුරණ්ඩුව චන්දිමාල්ගේ මුරණ්ඩුව

දෙදෙනාම ආනන්දීයන් ය. දෙදෙනාම මඳක් දැඩි ය. දෙදෙනාම පිටිය මැද උප්පරවැට්ටි දැමීම අතින් ඉදිරියෙන් ය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග සහ වත්මන්…

“එක දවසක් තාත්තා මගේ එහා පැත්තෙන් ඉඳගත්තා. එයා තමා එතකොට ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රී. මට එක විදිහකට ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මං කකුල එහාට දානවා, මෙහාට දානවා, කකුල පටලනවා (සිනාසෙමින්). තාත්තා ඉන්නෙ ඉඳගත්තහම ඒ විදිහටම (ඉඳගත් අයුරින්ම) තමයි. මං කකුල උස්සද්දී එයා හැරිලා බලනවා. කියන්නෑ. එතකොට මගෙ කකුල් දෙකත් ආයෙත් එතෙන්ටම යනවා. මේ ප්‍රතිපත්ති, අපි හැදිච්ච විදිය, අපේ සංස්කෘතිය අපි නැවතත් රටේ ඇතුළට ගෙනියන්න ඕන කාලේ ඇවිල්ල තියෙනවා කියලා මට හිතෙනවා.” ඔහුට පමණක් නොව, රට වෙනුවෙන් ක්‍රීඩා ජයග්‍රහණ පතන සෑම කෙනෙකුම පතන්නේ එවන් ජීවිත විනයක් සහ මූල්‍ය විනයක් පමණක් නොව පිටියේ විනයක් පවා ඇති ක්‍රීඩකයන්ගේ බිහිවීම ය. පිටිය මැද දී අවශ්‍ය දේ කෙලින් කතා කිරීම සහ වාචාලයන් සේ දෙඩවීම දෙකකි. ඊට ද හොඳම උදාහරණය අර්ජුන ය.

රොෂාන් මහානාම (පුහුණුකරුවන්ගේ වගකීම)

http://www.dailynews.lk

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම පන්දු රකින්නා රොෂාන් මහානාම ය. එමෙන්ම වැඩිම ටෙස්ට් ලකුණු සම්බන්ධතාවයන් අතර දෙවැනි ස්ථානයේ පවතින්නේ ඔහුගේ සහ සනත් ජයසූරියගේ ලකුණු 576ක වාර්තාවයි. මෙරටින් සිදු වූ නොයෙක් අසාධාරණකම් නිසා ක්‍රීඩාවෙන් ඉවත් වී ලෝක ක්‍රිකට් තරග තීරකවරයෙක් ලෙස සේවය කළ රොෂාන්, කෙලින් කතාවට අර්ජුන මෙන්ම දක්ෂ ය. ඔහුගේ පැහැදිලි කිරීම  පුහුණුකරුවන්ට ය.

“අපි ජීවත්වෙන්නේ සාරධර්ම නැති කාලෙක. ඔබයි තීරණය කළ යුත්තේ ඔබ හරි දේ කළ යුතු ද නැද්ද කියා. ක්‍රීඩාව සහ රට වෙනුවෙන්. පපුවට ත ගහලා බලන්න අපි අද මොනවද කරන්නේ කියලා.” ඔබ අවංකව සිතන්නෙකු නම් ඔබට සියුම් ලැජ්ජාවක් දැනෙන්නට ඇති. අප සියලු දෙනාම මේ වැරදි ක්‍රමයේ කොටස්කරුවන් ය. ආදර්ශමත් වීම තුළින් යහපත් අනාගතයක් කරා යාම අපට භාර ය.

තමන් මොනවා කළත් වැඩක් නෑ හොඳ ගතිගුණ නැත්නම්, අවංක පුද්ගලයෙක් නෙවෙයි නම්. හොඳ පුහුණුකරුවෝ ඉස්සෙල්ලම කතා කරන්නේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා.” මෑත කාලීනව ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ පහත් හැසිරීම් ගැන කොතෙකුත් අසන්නට ලැබේ. ඔවුන්ගේ දස්කම් ගැන සැකයක් නැත. එහෙත් ඔවුන් සමාජයක් ඉදිරියේ පෙන්වන ආදර්ශය කුමක්ද? ඔවුන් මුදල් පාලනයේ දුර්වලයන් බව නම් එයයි. එහි මූලික වගකීමක් පුහුණුකරුවන්ට ද හිමිවේ.

මම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් ඉද්දි මට මතකයි මගෙ පුහුණුකරු (ලයනල් මෙන්ඩිස්) මාව තල්ලු කළා නීතිගරුකව ක්‍රීඩා කිරීමට. ඔහු මට දුන්නු රෝස පාට ක්‍රිකට් නීති පොතක් මගෙ bag එකේ තවම තියෙනවා.”

i.ebayimg.com – රොෂාන්, ක්‍රීඩා කරන සමයේ

දැන් අපට සමහර කතා අහන්නට ලැබෙනවා. මං හිතන්නෙ නෑ අපි (ශ්‍රී ලංකාව) අවංකව සහ රට ගැන හිතලා ක්‍රීඩා කරලා තියෙනවා කියලා. අපි ’96 ලෝක කුසලානය ගහද්දි අපට කවුරුවත් chance එකක් දුන්නෙ නෑ. ඩේව් වට්මෝර් ඇවිල්ලා මාස 06කින් අපට ක්‍රිකට් ගහන්න කියලා දුන්නෙ නෑ. හැබැයි ඔහු ඇවිත් මාස 06කින්, මාස 08කින් ලෝක කුසලාන ජයග්‍රහණයක් කරා අපව ගෙන ගියා. ඒ කොහොමද? මුළු ලෝකයම බෑකිව්වත් එයා අපට කණ්ඩායමක් හැටියට ඒ ආත්ම විශ්වාසය ලබා දුන්නා.” කිසිදු පහසුකමක් නැති යුගයක ශ්‍රී ලංකාව ලෝක කුසලානයක් ලබාගත් කතාව ගැන ඔබ කොතෙකුත් කතන්දර අසා ඇති. එහෙත් ජය ලබන්නට නම් මුදල් වලට එහා ශක්තියක් ක්‍රීඩකයන්ට අවශ්‍ය බැව් මින් ද පැහැදිලි වේ.

මට බය නැතුව කියන්න පුළුවන් මම බස් එකේ ගියේ. මේ ගමන ගියේ සල්ලි ගැන හිතලා නෙමෙයි, ආදායම් මාර්ගයක් ගැන හිතලා නෙමෙයි. 2003 මට මතකයි මම තමයි ‘A’ කණ්ඩායමේ පුහුණුකරු. මමයි එතකොට ක්‍රිකට් ආයතනයෙන් වැඩියෙන්ම පඩි ගත්ත පුහුණුකරු. ඒත් මාස 06න් මං දාලා ගියා. ඒකට චෝදනා කිව්වා, ‘අපට වැඩ කරන්න බෑ, වගකීමක් භාර දෙන්න බෑකියලා. මම ඔප්පු කළා (එය වැරදි බව) අවුරුදු 12ක් ICC (අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය) එකේ වැඩ කරලා. ICC එකෙන් අයින් වුනෙත් ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරන්න ඕන නිසයි.”

රටක ක්‍රීඩාවේ නැගීමට නම් මුදල් පමණක්ම නොතකන ක්‍රීඩකයන්, දෙමාපියන් සහ පුහුණුකරුවන් අත්‍යාවශ්‍ය ය. පරිපාලකයන් ගැන කතා කිරීම කාලය කා දැමීමක් වන නිසා ඊට කාලය නාස්ති නොකරමු.

සල්ලි මුල් කරගෙන නම් වැඩ කරන්න එපා!” රොෂාන් මහානාම කොටින්ම ශ්‍රී ලංකා ජාතිය ඇමතුවේ එසේයි.

මරාගෙන මැරෙන්නට පවා සූදානම් “අපේ කොල්ලො සෙට් එක”

“මං බලනවා පිටිය මැදට ගියහම ඒ ක්‍රීඩකයා තමන්ගෙ රට වෙනුවෙන් ජීවිතය හරි දෙන්න පුළුවන් පුද්ගලයෙක් ද කියලා. 1996 කණ්ඩායම ඒ දවස්වල හිටපු හොඳම ක්‍රීඩකයො ටික නෙමෙයි”.

මුදලට යටව පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හෝ ඔවුන්ට අවවාදයක් ලබා දිය නොහැකි දෙමාපියන් සහ පුහුණුකරුවන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව රැක ගැනීමට ඉදිරියට ආ යුතු කාලය උදාවී ඇත. මුදල් යනු ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු සර්පයන් වර්ගයකි. ඊට යටත් වුණු කිසිවෙක් ගොඩ ආවේ නැත. සල්ලි දෙයියන්ගෙ මල්ලිවූවාට, මුදලට යටවූවන්ගේ නම් වලට දෙවියන් වඳින්නේ නැත. මුදල පරයා රට ඉදිරියට ගෙනෙන ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් කෙමෙන් සිහිනයක් බවට පත්වෙමින් පවතියි.

එය යතාර්ථයක් වන කාලයක දී නැවත අපට රාත්‍රි සමාජ ශාලාවල පැටලෙන වාර ගණනට වඩා ජාත්‍යන්තර ලකුණු රැස්කළ හැකි ක්‍රීඩකයන්, ඇසුරු කරන කාන්තාවන් ගණනට වඩා තරගයක ලකුණු රැස්කරන ක්‍රීඩකයන්, බොන මත්පැන් බෝතල් ප්‍රමාණයට වඩා කඩුලු ලබා ගන්නා ක්‍රීඩකයන්, උපයන මුදල් වලට වඩා රට ගැන සිතන ක්‍රීඩකයන් බිහිවනු ඇත. එවිට ප්‍රේක්ෂකයන්ට ඇඟිලි දිගු කිරීමේ වරය ඔවුනට ලැබෙනු ඇත. රට වෙනුවෙන් වගකීම් ඉටුකරන්නෙකුගෙන් බැනුමක් දෙකක් ඇසීම ද ගෞරවයක් වන බැවිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<