මරාගෙන මැරෙන්නට පවා සූදානම් “අපේ කොල්ලො සෙට් එක”

1331
World cup 1
@playbuzz.com

“මං බලනවා පිටිය මැදට ගියහම ඒ ක්‍රීඩකයා තමන්ගෙ රට වෙනුවෙන් ජීවිතය හරි දෙන්න පුළුවන් පුද්ගලයෙක් ද කියලා. 1996 කණ්ඩායම ඒ දවස්වල හිටපු හොඳම ක්‍රීඩකයො ටික නෙමෙයි”. 1996 ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පසුගිය දා ඛනිජ තෙල් අමාත්‍යාංශය හමුවේ කළ කතාවක දී මෙසේ කීවේය. වත්මන් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ ක්‍රිකට් කතාවට සවන් දෙන විට, 1996 ලෝක කුසලාන තරගාවලියේ දී කුඩා දරුවෙකු ලෙස මා දුටු ඒ වීරයන් ගැන මතකය යළි අවදිවිය.

@imgci.com – අර්ජුන තරග අවසන් කරන්නෙකි

ඊට වඩා දක්ෂ ගොඩාක් ක්‍රීඩකයො හිටියා. හැබැයි ඒ ක්‍රීඩකයො ක්‍රීඩා කරේ තමන්ට. රටට නෙමෙයි.” එකා මෙන් රට ගැන සිතා ක්‍රීඩා කිරීමේ අගය අර්ජුන එසේ පහදද්දී එකල ක්‍රීඩකයන් පිටිය මැද සිදු කළ වීර ක්‍රියා රැසක් මතකයට නැගෙයි. දක්ෂයන්ට ඉහළින් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නන් යොදාගත් අර්ජුන ක්‍රිකට් පෙරළියක් සිදු කරමින් 1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.

වත්මනෙහි පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිවලට ප්‍රථම, අපි බොහෝ පෙර විපරම් වලට සවන් දෙන්නෙමු, නරඹන්නෙමු. එහෙත් 1995/96 වැනි කාලයක දී ක්‍රිකට් ගැන අපි එතරම් උනන්දුවක් නොදැක්වූයෙමු. එකල කුඩා දරුවන් වූ අපට ක්‍රිකට් උණ ගැනෙන්නට ප්‍රධානතම හේතුවක් වූයේ 1995 බෙන්සන් & හෙජස් තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව හමුවේ සැබෑ සටනක නිරත වූ තරුණ සටන්කාමීන් කිහිප දෙනෙකුගේ දස්කම් ය.

1996 ලෝක කුසලානය සඳහා අවශ්‍ය පන්නරය 1995 දී එම ක්‍රීඩකයන්ට ලැබුණි. 1996 තරගාවලියට සහභාගී වූ වීරයන් ගැන පෙරවිපරමක් කරන්නට නොහැකි කුඩා දරුවෙකු වූ මා ඔවුන් ගැන පසුවිපරමක් හෝ කළ යුතුය. මේ ඊට හොඳම අවස්ථාවයි. කවුද 1996 දී පිටිය මැද පෙරළි කළ මේ වීරයන්?

අර්ජුන රණතුංග (නායක)

වයස : 32 (1996)

අන්වර්ථ නාමය : Captain Cool

@imgci.com

1982න් ඇරඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ පළමු අර්ධ ශතකලාභියා වූ සේ ම, ඒ වසරේ දී ම වයස අවුරුදු 18ක යොවුන් ක්‍රීඩකයෙකු ලෙස තම පළමු එක්දින තරගයේ දී ද අර්ධ ශතකයක් වෙත යමින් සිටි අර්ජුනට එය මඟහැරුණේ ලකුණු 8කිනි. තරග අවසන් කරන්නෙකු ලෙස ප්‍රකට වූ අර්ජුන තම කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ඕනෑම වේලාවක ඉදිරියට එන්නට පසුබට නොවූයෙකි.

1996 වසර ඇරඹෙන විට එක්දින තරග 175ක අත්දැකීම් ඔහු සතු විය. අර්ජුන, පීඩනය මැද නොසෙල්වෙන්නෙකි. “කැප්ටන් කූල්” නාමය එබැවින් ඔහුට පටබැඳුණි. ඔහුගේ සැලසුම් නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ නායකයන් විසින් ආදර්ශයට ගෙන ඇත.  ඔහු කෙළින් නායකයෙකි. ඔහු ඉදිරියේ තරුණ ක්‍රීඩකයන්ට “ජොලි කිරීමට” නොහැකි විය. එක් හේතුවක් නම් අර්ජුනගේ සැර-වැර යි. අනෙක් හේතුව අර්ජුන තම කාර්යය පිටිය මැද දී හොඳින් ඉටුකිරීමයි.

පොඩ්ඩන්ට වැරදුණු විට ඔවුන්ගේ වගකීම කරට ගත හැකි පීතෘ ගුණය අර්ජුන සතු විය. 1996 දී ක්‍රිකට් පෙරළියක් සිදු කිරීමට අර්ජුනට හැකිවන්නේ එබැවිනි. 1996 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 6ටම නායකත්වය දුන් අර්ජුන, එම තරගාවලියේ ඉනිමක සාමාන්‍යය ලකුණු 120.50ක රඳවා ගත්තේය. එහෙත් තරගාවලිය තුළ දී ඔහු වාර්තා කළේ එක් අර්ධ ශතකයක් පමණි. එහි තේරුම නම් නොදැවී ජයග්‍රහණය තෙක් මව් රට කරතබාගෙන යමින් අවසන් කළ ඉනිම් කිහිපයක් ඊට ඇතුළත් වූ බවයි.

අරවින්ද ද සිල්වා (උප නායක)

වයස : 30 (1996)

අන්වර්ථ නාමය : අරා, Mad Max

@imgci.com

වයස අවුරුදු 18 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ මෙම දක්ෂ මැදපෙළ පිතිකරුවා ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම පිතිකරු යැයි අප බොහෝ දෙනාගේ පිළිගැනීමයි. 1992 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු ශක්තිමත් මනසක් ඇති ක්‍රීඩකයෙකි.

ක්‍රිකට් පොතේ ඕනෑම පහරක් එල්ල කිරීමේ හැකියාව සහිත වූ අරවින්ද, ක්‍රිකට් නරඹන්නන්ගේ නෙතට උළෙලකි. සරල වචනයෙන් කිවහොත් “යකෙකු මෙන්” පන්දුවට පහර දෙන මේ අඩි 5යි අඟල් 3ක් උසැති පිතිකරුවා 1996 වසර ඇරඹෙන විට එක්දින තරග 167කට ක්‍රීඩා කොට තිබුණි.

තරගයක් ජයගත යුතුම යැයි සිතුවිල්ලක් ඔහුට පහල වූයේ නම් ඒ සඳහා තම අවසන් ලේ බිඳුව දක්වා සටන් කිරීමේ ගුණය ඔහු සතු විය. එමෙන්ම ඔහු එක් අන්තයක පන්දුවට පහර දෙන විට අනෙක් අන්තයේ පිතිකරුගේ පීඩනය සම්පූර්ණයෙන්ම මඟ හැරෙන්නේ අරවින්දගේ විශ්වාසවන්ත පහරවල් දැකීමෙනි. ඊට අමතරව පිට දඟපන්දු යැවීමට ද, විශ්වාසයෙන් යුතුව පන්දු රැකීමට ද ඔහු සමතෙකු විය.

1996 ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් සාර්ථක වූ පිතිකරුවා අරවින්ද ය. ඔහු කෙන්යාවට එරෙහිව පන්දු 115කදී ලබාගත් ලකුණු 145, එවකට ශ්‍රී ලාංකිකයෙකු ලබාගත් වැඩිම එක්දින ලකුණු ප්‍රමාණය විය. ඔහු තරග 6ක් තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 448කි. ශතක 2කි, අර්ධ ශතක 2කි. ඉනිමක ලකුණු සාමාන්‍යය 89.60කි. අවසන් පූර්ව තරගය සහ අවසන් මහා තරගය යන දෙකෙහි දී ම අරවින්ද, අරවින්දයක් මෙන් පිටිය මත වර්ණවත් විය.

අසංක ගුරුසිංහ

වයස : 29 (1996)

අන්වර්ථ නාමය : ගුරා

@imgci.com

එක්දින අංක 3 ස්ථානය යනු ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ ස්ථානයකි. නැංගුරමක් සේ සිටිමින් ලකුණු ද රැස්කිරීම භාරවන එහි, එවකට නිසි හිමිකරුවා වූයේ අසංක ගුරුසිංහ ය. ඔහුගේ ඉදිරි පාදයේ ආරක්ෂණය දැඩි ලෙස ස්ථාවර වූ අතර ඉන් හතරේ පහරක් හෝ ලබා ගැනීමේ ශක්තිය ඔහු සතුවූයේ යැයි මම අසා ඇත්තෙමි.

1996 ලෝක කුසලානය තුළ අසංක ගුරුසිංහගේ වටිනාකම පැහැදිලි වූ ප්‍රධාන අවස්ථා දෙකක් මාගේ මතකයේ ඇත. පළමු වටයේ තරගයක දී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 228ක් හඹායමින් සිටි ශ්‍රී ලංකා මුල් කඩුලු 2ම ලකුණු 23ක් තුළ දැවී ගියේය. සිම්බාබ්වේ පන්දු යවන බලඇණිය අදට වඩා බොහෝසෙයින් වෙනස් එකක් බව මෙහි දී සිහිකරමි.

හීත් ස්ට්‍රික්, හෙන්රි ඔලොන්ගා, පෝල් ස්ට්‍රෑන්ග් වැන්නන්ගේ පන්දු හමුවේ නොසැලුණු “ගුරා” ලකුණු 87ක් ලබා ගත්තේය. අරවින්ද හා එක්ව ශක්තිමත් අඩිතාලමක් දැමූ ඔහු පන්දුවාර 37ක දී තරගය අවසන් කළ හැකි මාවත ශ්‍රී ලංකාවට පෙන්වූයේය. තරගාවලියේ ඉනිමක ඔහුගේ ලකුණු සාමාන්‍යය 51.16කි.

හෂාන් තිලකරත්න

වයස : 28 (1996)

අන්වර්ථ නාමය : ඇක්ෂන් බට්ටා

@sportsworldcards.com

කඩුලු රකින්නෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ප්‍රකට වූ හෂාන් පසුව සම්පූර්ණයෙන්ම පිතිකරුවෙකු වශයෙන් ක්‍රීඩා කිරීම ඇරඹුවේය. ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට ඔහුව සිහිවන්නේ “ඇක්ෂන් බට්ටා” ලෙසයි. පිතිකරණයට සූදානම් වන විට ඔහු ප්‍රදර්ශනය කරන නානාප්‍රකාර ඉරියව් සහ සිනහවන් ඊට හේතුවයි.

ඇක්ෂන්වලින් පමණක් නොනැවතුණු හෂාන්, අංක 7 පිතිකරු ලෙස පිත්තෙන් ද බොහෝ දෑ ප්‍රදර්ශනය කළේය. ඊට අමතරව දක්ෂ පන්දු රකින්නෙකු ද වූ හෂාන්, දෑතින්ම පන්දු යවන්නට ද සමතෙකු විය. 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව කෙන්යාවට එරෙහිව ලකුණු 398ක් ලබා ලෝක වාර්තාවක් තැබූ දා ඔහු දෙවැනි ඉනිමේ අවසන් පන්දුවාර යැව්වේ දකුණතින් පන්දු තුනක් හා වමතින් පන්දු තුනක් වශයෙනි.

එම තරගාවලියේ ඉන්දියාව හමු වූ පළමු තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 271ක් හඹා යමින් සිටියේය. ලකුණු 141ක් තුළ 4 වැනි ශ්‍රී ලංකා කඩුල්ල බිඳ වැටුණු අතර එතැන් සිට අර්ජුන හා එක්වූ හෂාන්, නොදැවී ලකුණු 70ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කරා ශ්‍රී ලංකාව රැගෙන ගියේය. තරගාවලිය තුළ ඔහුගේ ඉනිමක ලකුණු සාමාන්‍යය 64.00කි.

සනත් ජයසූරිය

වයස : 26 (1996)

අන්වර්ථ නාමය : Master-Blaster, සනා

@cricketcountry.com

1995/96 තරග වාරයේ දී ලෝක එක්දින ක්‍රිකට් ශෛලිය වෙනත්ම තලයකට රැගෙන යන්නට ඔහු හා රොමේෂ් කලුවිතාරණ සමත් විය. ප්‍රතිවාදීන්ට සිත්පිත් නැතිව පහර දෙන ශෛලිය නම් එයයි.

තරගාවලිය තුළ දී ලකුණු 221ක් රැස්කළ සනත්ගේ ප්‍රහාරාත්මක වේගය (පන්දු 100කට ලකුණු) 131.54කි. එංගලන්තය හමුවේ ලකුණු 82ක් රැස්කළ සනත්, පිලිප් ඩි ෆ්‍රීටස් වැනි වේගපන්දු යවන්නන් දඟපන්දු යවන තත්වයට පත්කළේය.

අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 251ක ඉලක්කය හඹායමින් සිටි ඉන්දියාව 99-1ක් වශයෙන් ප්‍රබල තත්වයක පසුවිය. සනත් ක්‍රියාත්මක වූයේ ඉන් පසුවයි. පන්දුවාර 7ක් යවා ලකුණු 12ක් පමණක් ලබා දී කඩුලු 3ක් ලබාගත් සනත් තරගය ශ්‍රී ලංකාව දෙසට හැරවූයේය. තරගාවලිය තුළ ඔහු ලබාගත් උඩපන්දු කිහිපයක් ද අපගේ මතකයේ තැන්පත්ව ඇත.

රොමේෂ් කලුවිතාරණ

වයස : 26 (1996)

අන්වර්ථ නාමය : කලූ, Little Dynamo

@iol.co.za

සනත් – කලූ සබඳතාවය”. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ගේ හද පත්ලේම තැන්පත් වූවකි. පළමු පන්දුවාර 15 තුළ පන්දු යවන්නන් අසරණ කරන ප්‍රහාරයන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන් මේ දෙපලගෙන් එක් පුරුකක් වූ කලුවිතාරණ, හුරුබුහුටි පිතිකරුවෙකි.

ප්‍රකට විචාරක ටෝනි ග්‍රෙග්ට අනුව මොහු කුඩා ඩයිනමෝවකි. තම පළමු ටෙස්ට් තරගයේ දී ම ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් ලබාගත් මේ කඩුලු රකින පිතිකරුවාට සෑම ක්‍රීඩාලෝලියෙකුගේම ආදරය හිමි විය.

කඩුල්ල පිටුපස සිට ලබා දෙන ඉඟි අතින් ඔහු තරම් උනන්දු කඩුලු රකින්නෙකු ශ්‍රී ලංකාව මෙතෙක් දැක නැත. එමෙන්ම ප්‍රතිවාදී පිතිකරුවන් හා කතා කරමින් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ද කලූ සමතෙකි. ඒ බව කඩුල්ලේ මයික්‍රෆෝනයෙන් නොයෙක් විට අපේ සවන් වැකී ඇත.

ආරම්භක පිතිකරුවෙකු ලෙස දර්ශනීය හුක් සහ පුල් පහරවල් එල්ල කළ මේ හුරුබුහුටි පිතිකරු ’96 ලෝක කුසලානය තුළ පිත්තෙන් එතරම් සාර්ථක නොවූවත් ස්ටම්ප් කිරීම් සහ උඩපන්දුවලින් මෙන්ම උද්යෝගය දනවන වචනවලින් ද කලූ ලෝක කුසලානයට කරගැසුවේය. “අල්ලගන්න!” මෙය ඔබට හොඳින් මතක ඇති. එය නොවේ නම් “අල්ල, අල්ලා!” යනුවෙන් කලූ කෑගසනු අදටත් අපේ කන්බෙර තුළ රැව්දේ.

රොෂාන් මහානාම

වයස : 29 (1996)

අන්වර්ථ නාමය : ….

@drop.ndtv.com

ලොව ශ්‍රේෂ්ඨතම පන්දු රකින්නා ජොන්ටි රෝඩ්ස් නම්, ඔහුගේ දෙවැන්නා රොෂාන් මහානාම බැව් කිව හැකිය. මුල් පෙළ සහ මැද පෙළ යන ඕනෑම ස්ථානයක පන්දුවට පහර දිය හැකි මොහු, පන්දු රැකීමේ දී දක්වන කැපවීම ඕනෑම ක්‍රීඩකයෙකුට ආදර්ශයක් කරගත හැකිය.

තවමත් කෙළින් කතා කරන්නෙකු වශයෙන් ප්‍රසිද්ධ රොෂාන්, ’96 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට වැඩිම සේවය සැපයුවේ අවසන් පූර්ව තරගයේ දීයි. ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කඩුලු 3ක් ලකුණු 35ක් තුළ දැවී තිබිය දී අරවින්ද පිටියට පැමිණ වේගවත් ලකුණු 66ක් රැස්කළේය. එහෙත් ඔහුගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාව 85-4ක් ලෙස යළි අපහසු අඩියකට පත්විය. එහි දී අර්ජුන හා එක්වූ රොෂාන්, ලකුණු 58ක් ලබාගෙන තම සුපුරුදු පාදයේ ආබාධය උත්සන්න වන තුරුම කඩුල්ලේ රැඳී සිටියේය. අවසානයේ දී ලකුණු 251ක් කරා යෑමට එය ඉවහල් විය.

චමින්ද වාස්

වයස : 22 (1996)

අන්වර්ථ නාමය : වාසි, Doctor Death

@cricketcountry.com

එවකට ළාබාල වමත් වේගපන්දු යවන්නෙකු වූ වාස්, ප්‍රතිවාදී මුල් කඩුලු කිහිපයෙන් එකක් හෝ දවා ගැනීමේ හැකියාව සහිත වූවෙකි. අවශ්‍යම මොහොතේ දී පිත්තෙන් ද දැවැන්ත පහරවල් එල්ල කළ හැකි වීම ඔහුගේ අනෙක් විශේෂත්වයයි. පිටියේ ඈත කෙළවරේ සිට රොකට්ටුවක් මෙන් කඩුලු රකින්නාගේ අත් ආවරණ මත පතිත වන ඔහුගේ පන්දු පිරිනැමීම් ද ඔබට සිහිකරමි.

ශ්‍රී ලංකා පිතිකරුවන් ’96 ලෝක කුසලානයේ දී කෙතරම් බලවත් වීදයත් වාස්ට පිතිකරණයේ යෙදීමට ලැබුණේ එක් ඉනිමක් පමණි. ඒ අවසන් පූර්ව තරගයේ දීයි. එහි දී පන්දු 19කින් ලබාගත් ලකුණු 23 නොවන්නට එදා ශ්‍රී ලංකාව ලකුණු 251ක් කරා යෑම සිදු නොවන්නට තිබුණි. තරග 6දී පාකිස්තාන පැතලි තණතිලි මත කඩුලු 6ක් ලබාගත් වාස්, තම පන්දු වාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යය 3.93ක් පමණි.

කුමාර් ධර්මසේන

වයස : 24 (1996)

අන්වර්ථ නාමය : උනන්දුවා, KD, ධර්මේ

@2.bp.blogspot.com

පන්දු යැවීමෙන්, පන්දුවට පහර දීමෙන් හෝ පන්දු රැකීමෙන් යන ඕනෑම අංශයකින් කණ්ඩායමට දායකත්වය සැපයීමේ උණෙන් පසුවූ මේ තරුණයා ලෝක කුසලාන තරග බිමේ තවත් වැදගත් සාධකයකි. උනන්දුවා යන නම පටබැඳීමට හේතු වූයේ සාර්ථකත්වය කෙරෙහි ඔහුගේ උවමනාවයි.

පන්දු වාරයකට ලකුණු 4.44ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් ලෝක කුසලාන තරග මාලාව අවසන් කළ ඔහු මුත්තයියා මුරලිදරන්ට මනා සහයක් ලබා දුන්නේය.

මුත්තයියා මුරලිදරන්

වයස : 23 (1996)

අන්වර්ථ නාමය : මුරලි, මුරේ, Smiling Assasin

@bbc.co.uk

පිට දඟපන්දු යවන්නන් නැවතත් කඩුලු ලබන්නන් හැටියට සපථ කළේ මුරලියි”. ලෝක ප්‍රකට විචාරක ජෙෆ් බොයිකොට් කියන ආකාරයට මුරලි එවැන්නෙකි. දැනට ටෙස්ට් සහ එක්දින යන රටා දෙකෙහිම වැඩිම කඩුලු ලාභියා වන මුරලි 1996 වර්ෂය ඇරඹෙන විට එක්දින තරග 33ක පමණක් අත්දැකීම් ඇති, කඩුලු 35ක් පමණක් ලැබූ තරුණ පන්දු යවන්නෙකි.

’96 ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත්තේ මුරලි ය. එය ගණනින් 7කි. මුරලි පිටිය හරහා වේගවත්ව දිවගිය පන්දු රකින්නෙකි. සුචල්‍ය ක්‍රීඩකයෙකි. උක්ත තරගාවලිය පුරාවට පන්දුවාර 57.1ක් යැවූ මුරලි ඒ එක් පන්දු වාරයක දී ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු සාමාන්‍යය 3.77කි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

වයස : 25 (1996)

අන්වර්ථ නාමය : විකී

@imgci.com

මඳ වේගපන්දු යවන්නෙකු වුවද හොඳ දෝලනයකින් යුතුව පන්දු යැවීමේ හැකියාව සහිත වූ ප්‍රමෝද්‍ය, චමින්ද වාස් නම් තරුණ වේගපන්දු යවන්නාට පසෙකින් සිට සහාය ලබා දුන් දකුණත් වේගපන්දු යවන්නා යි.

ඔහු ද 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිමානවත් සාමාජිකයෙකි. තරගාවලිය තුළ තරග 4කට ඔහු ක්‍රීඩා කළේය.

රවීන්ද්‍ර පුෂ්පකුමාර

වයස : 20 (1996)

අන්වර්ථ නාමය : පුෂ්පෙ, පුෂී

@imgci.com

වේගයෙන් පන්දු යැවිය හැකි නිසාම කණ්ඩායමට තෝරාගත් ඔහුට ක්‍රීඩා කිරීමට ලැබුණේ තරග 2ක් පමණි. ඔහුගේ ඉලක්කය සීසීකඩ විසිරීම නිසා අර්ජුන ඔහුව පසෙකින් තබා ප්‍රමෝද්‍යව කණ්ඩායමට යොදාගත්තේය.

අවසන් මහා තරගයේ දී ජලය එහා මෙහා ගෙනයන්නාගේ රාජකාරිය හිමිවූ ඔහු ඒ අතර කළ විනෝදාත්මක යමක් සිහිවේ. සනත් සහ කලූගේ දැවී යාමෙන් පසු ඉනිම ගොඩනගමින් සිටි අරවින්ද සහ ගුරුසිංහට පුහුණුකරු ඩේව් වට්මෝර්ගේ පණිවිඩ රැගෙන යාම ද පුෂ්පෙට භාර විය.

එහෙත් ඔහු සිදු කළේ අනෙකකි. අරවින්ද සහ ගුරුසිංහ ක්‍රීඩා කරන අයුරු දුටු පුෂ්පෙ නිර්ණය කළේ ඔවුන් දෙදෙනා හොඳින් ක්‍රීඩා කරන බවයි. පිතිකරුවන්ගේ මානසිකත්වය නොවෙනස්ව පැවතීම හොඳ යැයි සිතූ 20 හැවිරිදි පුෂ්පකුමාර පිටිය මැදට ගොස් කීවේ “අයියෙ හොඳට යනවා. ඔහොමම ගහන්න” කියා ය. අවසානයේ දී ඉන් සිදුවූ වරදක් නැත. අරවින්ද නොදැවී ශතකයකුත්, ගුරුසිංහ ලකුණු 65කුත් වාර්තා කළේය.

උපුල් චන්දන

වයස : 23 (1996)

අන්වර්ථ නාමය : චික්කි, උනන්දුවා

@cricketcb.com

තරගාවලියට සහභාගී වී එක් තරගයක් හෝ නිත්‍ය ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා නොකළ ද ඔහු ගැන සටහන් කිරීම අත්‍යාවශ්‍ය ය. පිතිකරණයේ යෙදී ආබාධයකට ලක්වූ හෝ වෙහෙසට පත්වූ ඕනෑම අයෙකු වෙනුවෙන් පිටියේ පන්දු රැකීමට අර්ජුන යොදා ගත්තේ චන්දනවයි.

කණ්ඩායමට විශේෂ කඩුල්ලක් අවශ්‍ය වූ විටෙක දුවද්දී දැවී යාමක් හෝ විශිෂ්ට උඩපන්දුවක් මඟින් එය ලබාදීම ඔහුට අයත් රාජකාරියකි. ඉන්දියානු ප්‍රේක්ෂකයන් කුපිත වූ අවසන් පූර්ව තරගයේ දී ඔහු සිදු කළ යමක් මෙහි දී සිහිකරමි.

හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අනතුරුදායක ආකාරයෙන් ඉන්දියානු ප්‍රේක්ෂකයන් බෝතල් සහ අතට අසුවන සියල්ලක්ම විසිකරමින් සිටියේය. ඒ මොහොතේ දී අරවින්ද (ශ්‍රී ලංකාවට වැදගත්ම පිතිකරුවා) හතරේ සීමාව ආසන්නයේ සිටිනු දුටු චන්දන, අර්ජුන වෙතට දිවගොස් පවසා සිටියේ තමන් එතැනට යන්නට කැමති බවයි.

ඒ මන්දැයි අර්ජුන විමසන විට චන්දන කියා සිටියේ අරවින්ද කණ්ඩායමට අතිශය වැදගත් බවත් ඔහුට යම් අනතුරක් සිදුවුවහොත් එය මහත් පාඩුවක් විය හැකි බවත් ය. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් අවශ්‍ය මෙවන් ක්‍රීඩකයන් නොවේද?

මාවන් අතපත්තු

වයස : 25 (1996)

අන්වර්ථ නාමය : මාවි

@cricket-freaks.com

ඔහු ද එම තරගාවලි සංචිතයේ සාමාජිකයෙකි. එහෙත් ඔහුට එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට නොලැබුණේ කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් ඉතා හොඳින් තම තමන්ගේ රාජකාරි ඉටු කළ බැවිනි.

ඔවුන්ට වයස අවුරුදු 42ක පුහුණුකරුවෙකු වූ ශ්‍රී ලංකාවේ උපන් ඕස්ට්‍රේලියානු ජාතික ඩේව් වට්මෝර්ගේ උපදෙස් ද හොඳින් ලැබුණි. ඇලෙක්ස් කුන්ටෝරි නම් භෞත චිකිත්සකවරයා ඔවුන්ව හොඳින් රැකබලා ගත්තේය. කළමනාකරු දුලිප් මෙන්ඩිස් සහ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ආනා පුංචිහේවා ඇතුළු නිලධාරි මණ්ඩලයේ ද සහාය ක්‍රීඩකයන්ට ලැබුණි.

පසුවදනSri Lanka 1996 World cup winning

ක්‍රිකට් ලොවේ සුහුඹුලෙකු සේ හැඳින්වුණු ශ්‍රී ලංකාව 1996 දී ලෝක එක්දින ක්‍රිකට් පිටියේ දැවැන්ත සලකුණක් වූයේ ඒ අයුරිනි. ඉන් වසර 21කට පසු අර්ජුන හෙළිකරන්නේ මොවුන්ට වඩා දක්ෂයන් මෙරට සිටි බවයි. එහෙත් තමන් රට වෙනුවෙන් ජීවිතය හෝ පුදකළ හැකි ක්‍රීඩකයන් කෙරෙහි පමණක් විශ්වාසය තැබූ බවයි. මෙරටට 1996දී ලෝක ශූරතාවයක් රැගෙන ආවේ ඒ හදවතින් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් මිස මෙරට දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නොවේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<