MAS යුනිචෙලා සහ කොමර්ෂල් ක්‍රෙඩිට් තීරණාත්මක අවසන් සටනට!

556
MAS Unichela and Commercial Credit qualify for final showdown translation

පසුගිය ලිපි: MAS යුනිචෙලා, ඩිමෝ, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අවසන් පූර්ව වටයට

MAS යුනිචෙලා සහ ඩීමෝ අතර තරගය

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල වමත් පිතිකරු මහේල උඩවත්තගේ අනර්ඝ ශතකයත්, චාමර සිල්වාගේ සහ තිලකරත්න ඩිල්ශාන්ගේ විශ්වාසනීය පිති ප්‍රහාරයත් නිසා ලකුණු 195ක දැවැන්ත ජයක් ලබමින් අවසන් මහා තරගය සඳහා ඉඩකඩ වෙන් කරවා ගන්නට MAS යුනිචෙලා ක්‍රීඩකයින් ඊයේ (15) සමත් විය. 24 වැනි වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය වූ මෙය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඩීමෝ ක්‍රීඩකයින්ගෙන් ලැබුණු ආරාධනයට අනුව පිටියට පිවිසි යුනිචෙලා පිතිකරුවෝ ඔවුන්ට වෙන්වුණු පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6කට දැවැන්ත ලකුණු 349ක් රැස් කළහ. සුපිරි පිතිහරඹයක නිරත වුනු මහේල උඩවත්ත හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 127කදී ලකුණු 134ක් වාර්තා කිරීමට සමත් විය. තිලකරත්න ඩිල්ශාන් අර්ධ ශතකයකින් යුනිචෙලා ලකුණු පුවරුව ගොඩ නැංවීමට දායක වූ අතර චාමර සිල්වා ඉනිමේ අවසන් භාගයේදී ලකුණු 71ක් රැස් කරමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දමන ලදී.

ඩිමෝ ඉනිම පුරාවට කඩුලු එකිනෙක බිඳ වැටීම සිදුවූ අතර ඒ හේතුවෙන්ම ඉනිම නිමාවීමට තවත් පන්දුවාර 20කටත් වඩා ඉතිරිව තිබියදී ලකුණු 154කට පමණක් සීමා වන්නට ඔවුන්ට සිදුවිය. තිලකරත්න ඩිල්ශාන් සහ දිල්රුවන් පෙරේරා කඩුලු 3 බැගින් බිඳ හෙලමින් MAS යුනිචෙලා කණ්ඩායම අවසන් මහා තරගය දක්වා මෙහෙයවන ලදී.

MAS යුනිචෙලා කඩුලු 6ක් දැවී ලකුණු 349 (පන්දුවාර 50)

මහේල උඩවත්ත 134, ටී. එම්. ඩිල්ශාන් 59, චාමර සිල්වා 71.

ඩීමෝ සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 29.3)

එන්. ටී. ගමගේ 37, පී. තරංග 33, ටී. එම්. ඩිල්ශාන් 3/34, දිල්රුවන් පෙරේරා 3/20, මාලිංග බණ්ඩාර 2/23.


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ජෝන් කීල්ස් අතර තරගය

ඉහත තරගාවලියේම දෙවැනි අවසන් පූර්ව තරගය වූ මෙහිදී ජෝන් කීල්ස් කණ්ඩායම ලකුණු 30කින් පරාජය කළ කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයින් මෙවර වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා අවස්ථාව උදාකර ගත්තේය. තරගය කටුනාය‍ක FTZ පිටියේදී පැවැත්වුණි.

කාසියේ වාසිය ජය ගනිමින් ප්‍රථමයෙන්ම පන්දුවට පහරදුන් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 254ක් රැස් කල අතර අශාන් ප්‍රියන්ජන් (61) සහ උපුල් තරංග (52) අර්ධ ශතක වාර්තා කරමින් වටිනා දායකත්වයක් දැක්වූහ. පන්දු යැවීමේදී ඉශාන් ජයරත්න ලකුණු 60කට කඩුලු 4ක් දවාලන ලදී.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ජෝන් කීල්ස් කණ්ඩායම ජයග්‍රහණය සඳහා ප්‍රබල සටනක් ලබා දුන්නත් කොමර්ෂල් දඟ පන්දු යවන්නන් හමුවේ ඔවුන්ගේ සැලසුම් ව්‍යාර්ථ විය. භානුක රාජපක්ෂ ජෝන් කීල්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 71ක් රැස්කල අතර කොමර්ෂල් පිළ වෙනුවෙන් රන්දිව්, චතුරංග සහ ශෙහාන් කඩුලු 2 බැගින් බිඳ හෙලන ලදී.

කොමර්ෂල් ක්‍රෙඩිට් සියල්ලන්ම දැවී ලකුණු 254 (පන්දුවාර 48.3)

අශාන් ප්‍රියන්ජන් 61, උපුල් තරංග 52, දිල්හාන් කුරේ 33, ඉමේෂ් උදයංග 31, චතුරංග ද සිල්වා 27, ඉශාන් ජයරත්න 4/60, විකුම් බණ්ඩාර 2/38, මධූක ලියනපතිරණ 2/44.

ජෝන් කීල්ස් සියල්ලන්ම දැවී ලකුණු 224 (පන්දුවාර 45.4)

භානුක රාජපක්ෂ 71, මනෝජ් සරත්චන්ද්‍ර 42, සුරාජ් රන්දිව් 2/43, චතුරංග ද සිල්වා 2/40, ශෙහාන් ජයසූරිය 2/40.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට