යෝධ ලකුණු පුවරු දිස්වූ දවසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

255

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග හතරක් අද (21) දින දෙවන දිනයටත් ක්‍රියාත්මක විය.

ලහිරු උදාරගේ ලකුණු මැෂිම 1000 සීමාව අභියසට

කෙසේ නමුත් ගෙවී ගිය සති දෙකට සාපේක්ෂව මෙම සතිය තුළ පැවැත්වෙන මෙම තරගවල පළමු දින දෙක අවසන් වන විට සෑම කණ්ඩායමක්ම පාහේ දැවැන්ත ලකුණු සටහන් නිර්මාණය කරගැනීමට සමත්ව තිබෙනු දක්නට ලැබේ. 

එහිදී රාගම ක්‍රිකට් සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 501ක යෝධ ලකුණු පුවරුවක් සටහන් කරගත්තේ ශතකයක් සහ අර්ධ ශතක 4ක සවිය ලබාගෙනයි. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 107*ක් රැස්කර ගන්නා විට අද දිනය තුළදී බිනුර ප්‍රනාන්දු ද සිය අර්ධ ශතකය සපුරා ගත්තේය. එයට පිළිතුරු දෙමින් සිටින යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් රැස්කර ගත් ලකුණු 50 හැරෙන්නට වෙනත් කිසිඳු පිතිකරුවෙකු හට එතරම් සාර්ථක වීමට අවස්ථාව නොලැබුනි. ශසික දුල්ශාන් යුද හමුදා කඩුලු 3ක් තමන් සතුකර ගත්තේය. 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් 17 දෙනෙකු තරග වදින එන්. සී. සී. සහ සී. සී. සී. තරගයේ දී චතුරංග ද සිල්වා ලකුණු 159ක් රැස්කර ගනිමින් එන්. සී. සී. ලකුණු සටහන ලකුණු 467 දක්වා ඔසවා තැබීමට මනා දායකත්වයක් දැක්වීය. තවද සහන් ආරචිචිගේ අද දිනය තුළ ලකුණු 62ක් වාර්තා කරගනිමින් චතුරංග ද සිල්වා ගොඩනැංවූ ඉනිම සඳහා සහය විය. පන්දු යැවීමේ දී නැවතත් සිය කඩුලු පිපාසය ආරම්භ කරගෙන තිබෙන මලින්ද පුෂ්පකුමාර කඩුලු 6ක් දවා ගන්නා ලදි. දෙවන දිනය අවසන් වන විට සී. සී. සී. කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 73*ක් රැස්කර ගන්නා විට ලසිත් අබේරත්න නොදැවී ලකුණු 49*ක් වාර්තා කරගනිමින් කඩුල්ලේ රැඳී සිටියි. 

කටුනායක දී පැවැත්වෙන බී. ආර්. සී. සහ සැරසන්ස් තරගයේ අද දිනය ආරම්භ වන විට බී. ආර්. සී. කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 319ක් රැස්කර ගෙන සිටි අතර අද දිනයේ පළමු පැය කිහිපය තුළ ඔවුන්ගේ මුල් ඉනිම ලකුණු 392කට සීමා කිරීමට රනිත ලියනාරච්චි ඇතුළු සැරසන්ස් පන්දු යවන්නෝ සමත් වූහ. සිතර ගිම්හාන් සහ කනිෂ්ක අමරසිංහ ලකුණු 43 බැගින් රැස්කර ගත් නිසාවෙන් තරගයේ දෙවන දිනය අවසන් වන විට සැරසන්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 191ක් වාර්තා කරගෙන සිටියේ බී. ආර්. සී. පළමු ඉනිමට වඩා ලකුණු 201ක් පසුපසින් සිටිමිනි. 

කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් තරගයේ අද දිනය පුරාවටම පන්දුවට පහරදීමට හලාවත මේරියන්ස් පිතිකරුවන් සමත් වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රුමේෂ් බුද්ධික රැස්කර ගත් ලකුණු 145 සහ අනෙකුත් මේරියන්ස් පිතිකරුවන් දැක්වූ දස්කම් නිසා මෙම තරගයේ පළමු ඉනිම කිසිඳු අපහසුතාවයකින් තොරව ජය ගැනීමට ඔවුන්ට හැකි විය. බුද්ධිකට අමතරව කසුන් විදුර නැවතත් අර්ධ ශතකයකින් සිය පුද්ගලික ලකුණු සටහන වර්ණවත් කරගත්තේ මේරියන්ස් පළමු ඉනිම ලකුණු 399 සීමාව දක්වා රැගෙන යමිනි. 

හදිසියේම විශ්‍රාම ගියේ ඇයි? රයිනාගෙන් පිළිතුරක්

  • එන්. සී. සී. සහ සී. සී. සී. තරගය 

එන්. සී. සී. පළමු ඉනිම – 467 (89): චතුරංග ද සිල්වා 159, ලහිරු උදාර 111, මහේල උඩවත්ත 77, සහන් ආරච්චිගේ 62, මලින්ද පුෂ්පකුමාර 6/80. 

සී. සී. සී. පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 210/3 (48): කුසල් මෙන්ඩිස් 73*, ලසිත් අබේරත්න 49*. 

  • කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් තරගය 

කෝල්ට්ස් පළමු ඉනිම – 302 (72): සන්තුෂ් ගුණතිලක 74, දිල්රුවන් පෙරේරා 58, අකිල දනංජය 51*, අසිත ප්‍රනාන්දු 5/87. 

හලාවත මේරියන්ස් (දෙවන දිනය අවසානයේ) – 399/9 (101): රුමේෂ් බුද්ධික 145, කසුන් විදුර 68, ලසිත් කෘස්පුල්ලේ 52. 

  • බී. ආර්. සී. සහ සැරසන්ස් තරගය 

බී. ආර්. සී. පළමු ඉනිම – 392 (119.1): රමින්ද විජේසූරිය 109, ශනුක දුලාජ් 94, නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, රනිත ලියනාරච්චි 4/66. 

සැරසන්ස් පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 191/5 (64): සිතර ගිම්හාන් 43, කනිෂ්ක අමරසිංහ 43. 

  • රාගම සහ  යුද හමුදා තරගය

රාගම පළමු ඉනිම – 501/9d (144.3): ජනිත් ලියනගේ 107*, ශමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, බිනුර ප්‍රනාන්දු 62, නිශාන් මදුෂ්ක 56, යසෝද මෙන්ඩිස් 3/74. 

යුද හමුදා පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 93/6 (50): දිනේෂ් චන්දිමාල් 50, ශසික දුල්ශාන් 3/19. 

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <