විනිසුරු තීරණයට විවාද කළ ජේසන් රෝයිට දඬුවම්

9254

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එංගලන්ත – ඕස්ට්‍රේලියා දෙවන අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි පිටියේ විනිසුරු ලබා දුන් තීරණයකට අවනත නොවී හැසිරීම නිසා ඔහුට තරග ගාස්තුවෙන් 30%ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (12) තීරණය කර තිබේ.

වසර 27කට පසුව එංගලන්තය ලෝක කුසලානයට සමීප වෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය බර්මින්හැම්……

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙන ක්‍රීඩක හා සහායක රෙගුලාසි මාලාවේ 2.8 (ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී විනිසුරු ලබා දුන් තීරණයට පසුව ඔහු සමඟ වාද කිරීම) වගන්තිය කඩ කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර තිබීම නිසා ඔහුට ලබා දුන් දඩ මුදලට අමතරව අයහපත් ලකුණු දෙකක් ද පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

පැට් කමින්ස්  ජේසන් රෝයි වෙත එවූ 20 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව බවුන්සර් පන්දුවක් ලෙස පැමිණි අතර රෝයි එයට පුල් පහරක් එල්ල කිරීමට යාමේ දී එය ඔහුගේ අත්ආවරණ අසලින් කඩුලු රකින්නා වෙත ඇදී ගියේය. 

අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් එය දැවී යාමක් දැයි ඇසූ විට පිටියේ විනිසුරු ලෙස සිටි කුමාර් ධර්මසේන එය දැවී යාමක් ලෙස නම් කළත් රෝයි එය වයිඩ් පන්දුවක් බවත් පිත්තේ නොවැදුණු බවත් පවසමින් විනිසුරු සමඟ යම් වචන හුවමාරුවක් කරගත්තේය. 

කෙසේ නමුත් එම දැවී යාමේ පුනරූපන නැවත නරඹන විට එය පිත්තේ නොවදින බව දිස්වුවත් එංගලන්ත කණ්ඩායම ඔවුන්ට ලැබෙන විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාව රැගෙන තිබූ නිසා රෝයි හට එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේ හැකියාව නොතිබුණි.

උපන්බිමේ ලෝක කුසලාන සිහින බොඳ කළ ප්‍රහාරකයා

1992 ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වයෙන් පැවති බෙන්සන්……

තරගයට පසුව තරග විනිසුරුවරුන් ලෙස කටයුතු කළ මරායස් එරස්මස් හා කුමාර් ධර්මසේන හා තරග තීරකවරුන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත මේ පිළිබඳව දන්වා තිබුණි.

ඒ අනුව රෝයි විසින් තමා අතින් සිදු වූ වරද පිළිගැනීම නිසා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව තරග තීරක ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා පවසා සිටින ලදි. 

එංගලන්තයට අවසන් මහා තරගයට රැගෙන යන මෙම තරගයේ දී රෝයි 4 පහර 9ක් හා 6 පහර 5ක් සමඟින් ලකුණු 85ක් වාර්තා කරගත්තේ පන්දු 65ක් තුලයි. මෙම තරගය කඩුලු 8කින් ජය ගත් එංගලන්තය වසර 27කට පසුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට වරම් දිනාගත්තේය.

මේ සිදුවීමට අදාළව රෝයි හට තරග තහනමක් පනවා නොමැති නිසා මේ මස 14 වැනිදා ලෝර්ඩ්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන නවසීලන්ත – එංගලන්ත අවසන් මහා ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ හැකියාව ඔහුට ලැබී තිබේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<