මංගල “යූරෝ විස්සයි විස්ස” තරගාවලිය අතහැර දැමේ

431

මේ වසරේ දී ආරම්භ වීමට නියමිතව තිබූ Euro T20 Slam විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙරම අතහැර දැමීමට එහි සංවිධායකයින් තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ නිල නිවේදනයක් බදාදා (14) නිකුත් කර තිබුණි. 

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු තේරීමේ සටනින් මහේල ඉවතට?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු භූමිකාව …..

අයර්ලන්ත, ස්කොට්ලන්ත, නෙදර්ලන්ත යන ක්‍රිකට් පාලක මණ්ඩල හා GS Holdings සමාගම එක්ව Euro T20 Slam තරගාවලිය සංවිධානය කළ අතර තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව තිබුණේ සති දෙකක කාලයක් පමණයි. 

ඒ අනුව මෙම තරගාවලිය වසරක් තුළ අතහැර දැමුණු තුන්වැනි විස්සයි විස්ස තරගාවලිය බවට පත්විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබූ T20X තරගාවලිය පසුගිය නොවැම්බරයේ දී අතහැර දැමුණු අතර Hong Kong Blitz තරගාවලියට ද අත්වූයේ ඒ ඉරණමමයි.   

තරගාවලියේ සංවිධායක මඩුල්ලේ සාමාජිකයෙක් මෙන්ම Woods Entertainment ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රශාන්ත් මිශ්‍රා මහතා මෙසේ පවසා සිටියා. 

“Euro T20 Slam අධ්‍යක්ෂක මණ්ඩලය, අනුග්‍රාහකයින් හා තරගාවලි අයිතිකරුවන් යන සියලු දෙනාම ඒකමතික තීරණයකට පැමිණ සිටිනවා මෙම සුපිරි තරගාවලිය මේ වසරේ දී පවත්වන්නට හැකියාවක් නොමැති බවට. ” 

“අපි ක්‍රිකට් පාලක මණ්ඩල තුනම, ප්‍රධාන අනුග්‍රාහකයින්, තරගාවලි හිමිකරුවන්, ක්‍රීඩකයින් හා සියලුම පාර්ශවවලට ස්තූතිවන්ත වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ හොඳ හිත හා පාරිශුද්ධ භාවය 2020 දක්වාම රැගෙන යන්නට.”

ස්කොට්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක Malcolm Cannon මහතා මෙසේ පවසා සිටියා. 

“මේ මොහොතේ මෙම තීරණය ගැනීමට ඉතා අපහසු වුනා. අපි විශ්වාස කරනවා මෙම තීරණය සාධාරණ තීරණයක් කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා  මීටත් වඩා විශාලව 2020 වසරේ දී Euro T20 Slam තරගාවලිය සංවිධානය කරන්නට.” 

මෙම තරගාවලිය අතහැර දැමීමට හේතු වී ඇත්තේ ක්‍රීඩකයින්ගේ වැටුප් පිළිබඳව ඇති වූ තත්වයක්. මෙම තරගාවලි සංවිධායකයින් වන GS Holdings සමාගම කැනඩාවේ ක්‍රියාත්මක වූ Global T20 තරගාවලිය ද සංවිධානය කළ අතර පසුගිය සතියේ දී Global T20 තරගාවලියේ තරගයක් පැය දෙකක් පමණ ප්‍රමාද වූයේ වැටුප් ගැටලුවක් මූලික කර ගනිමින්. 

Mercuri හා Bombay Sports Limited සමාගම් GS Holdings සමාගම යටතේ පාලනය වන සමාගම් වන අතර තරගාවලියේ අයිතිය පිළිබඳ ද ගැටලුවක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.    

මෙම යුරෝපා තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වීමට නියමිතව තිබුණා. ඒ ඩබ්ලින්, බෙල්ෆාස්ට්, ඈම්ස්ටර්ඩෑම්, රොටර්ඩෑම්, ග්ලාස්ගෝ හා එඩින්බර්ග් නියෝජනය කරමින්. එම කණ්ඩායම් හය සති තුනක් පුරා round robin ආකාරයට සියලුම කණ්ඩායම් එකිනෙකා හමුවන සේ වට දෙකක් හා අවසන් මහා තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. අගෝස්තු 31 වැනිදා ඈමස්ටර්ඩෑම් හිදී තරගාවලියේ පළමු වටය ආරම්භ වීමට නියමිතව තිබුණු අතර දෙවන වටය හා අවසන් මහා තරග එඩින්බර්ග් හා ඩබ්ලින් හිදීත් පැවැත්වීමට නියමිතව තිබුණා.   

තරගාවලිය සඳහා රෂිඩ් ඛාන්, ඔයින් මෝර්ගන්, ෂේන් වොට්සන්, ශහිඩ් අෆ්රිඩ් හා බ්‍රෙන්ඩන් මැකලම් වැනි සුපිරි ක්‍රීඩකයින් සහභාගී වන බව නිවේදනය කර තිබුණා. පසුගිය මස එංගලන්තයේ දී පැවැත්වුණු ක්‍රීඩකයින් වෙන්දේසියක දී ජාත්‍යන්තර ක්‍රිකට් තරු රාශියක්ම වෙන්දේසි වූ අතර කොලින් ඉන්ග්‍රම්, ටයිමාල් මිල්ස්, කුරේ ඇන්ඩර්සන්, සිකන්දර් රාසා හා ඩේල් ස්ටේන් වැනි ක්‍රීඩකයින් ද ඒ අතර වුනා.

තරගාවලියට පළමු මරු පහර එල්ල වූයේ සුපිරි ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් තරගාවලියෙන් ඉවත් වීමත් සමඟයි. ඔහු කැනඩාවේ පැවති ග්ලෝබල් විස්සයි විස්ස තරගාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ Glasgow Giants කණ්ඩායමෙන් ඉවත් වෙමින්. 

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ කැනඩාවේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සිය වැටුප් ප්‍රමාද වීම නිසා එතරම් සතුටින් නොසිටින බවයි. එම කරුණ තරග ප්‍රමාදයක් දක්වා ඇවිළුණු අතර ගැටලුව විසඳන තුරු Toronto Nationals හා Montreal Tigers අතර තරගය පැවැත්වීමට නොහැකි විය. 

පසුගිය සඳුදා Winnipeg Hawks කණ්ඩායම Vancouver Knights කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී පරාජය කරමින් කැනඩා ග්ලෝබල් විස්සයි විස්ස තරගාවලිය නිමා වූ අතර ඒ සමඟම යුරෝපා තරගාවලියට සම්බන්ධ වූ පාර්ශවයින් විශේෂ රැස්වීමක් කැඳවා තිබුණි.   

සුපිරි පන්දුවාරයේ තියුණු සටනින් විනිපෙග් ඊගල්ස්ට ශූරතාව

දෙවන වතාවටත් පැවැත්වෙන කැනඩා ග්ලෝබල් T20 ක්‍රිකට් …………

යුරෝපා තරගාවලිය කල් දැමූ හේතුව තවමත් හරි හැටි වාර්තා වී නැති නමුත් තරග සංවිධායකයින් ඩොලර් මිලියන 10ක පමණ පාඩුවක් පළමු කැනඩා GT20 තරගාවලියේ දී ලැබූ බව සඳහන්. යුරෝපා තරගාවලිය මුදල් අතින් මෙන්ම ප්‍රවාහන පහසුකම් අතින් ද තරග සංවිධායකයින්ට වාසි සහගත වූ අතර තරගාවලියේ පැවැත්වෙන දිනයටම තරග සංවිධානය මදක් අපහසු වී තිබුණේ ක්‍රිකට් පාලක මණ්ඩල තරගාවලියට අනුමැතිය ලබා දුන්නේ පසුගිය වසරේ අග භාගයේ දී බැවින්. 

ඒ අනුව මෙම තරගාවලිය නොපැවැත්වීම අයර්ලන්තය, ස්කොට්ලන්ත මෙන්ම නෙදර්ලන්ත ක්‍රිකට් කැලැන්ඩරයට ද හිස්තැනක් එකතු කරනවා. එළඹෙන ඔක්තෝබර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ඔවුන් මෙම යුරෝපා තරගාවලිය යොදා ගැනීමට සිටි බව නොරහසක්. කෙසේ වෙතත් නෙදර්ලන්තය හා අයර්ලන්තය, ඕමානය, නේපාලය හා හොංකොං සමඟ ඕමානයේ දී පස්කොන් විස්සයි විස්ස තරගාවලියකට එක්වන්නේ ඔක්තෝබර් මස මුලදීයි. 

අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක Warren Deutrom මහතා මෙසේ පවසා සිටියා. “අපිට බොහොම කනගාටුයි මේ සිදු වුණු දේ පිළිබඳව, තරගාවලිය අතහැර දමන්නට හේතු වුණු කාරණය පිළිබඳ අපි හොඳ අවබෝධයකින් සිටින්නේ. තරගාවලිය පිළිබඳ නිවේදනය කළ දිනයේ සිටම අයර්ලන්තය පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඉතා උද්‍යෝගයෙන් සිටියේ ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස තරගාවලියක් අයර්ලන්තයේ දී දැකගන්න.” 

“අවසන් මහා තරගයේ පටලැවිල්ල සැප්තැම්බරයේ ලිහනවා”- MCC

2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුපිරි……..

“අපි හිතනවා මෙම උද්‍යෝගය 2020 දක්වාම පවතීවි කියලා. 2020 දී තරගාවලිය පවත්වාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි තරගාවලි සංවිධායකයින් එක්ක බොහොම සමීපව කටයුතු කරනවා, අයර්ලන්ත ක්‍රිකට්වලට තරගාවලියෙන් ගොඩක් දේවල් ලැබෙන්නට තිබෙනවා. අපි සංවිධායකයින් එක්ක කටයුතු කරනවා මේ වසරේ ඇති වූ බාධා ලබන වසරේ දී ඇති නොවෙන්න.”

නෙදර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Betty Timmer මෙසේ අදහස් දක්වා තිබුණා. “තරගාවලිය නොපැවැත්වීම ගැන ඉතා කනගාටුයි. තරගාවලියේ පළමු තරගයට සති දෙකක් පමණයි තිබුණේ. බොහෝ නෙදර්ලන්ත ප්‍රේක්ෂකයින් බලා සිටියා ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීමක් විඳගන්න.”

“අපි කනගාටු වෙනවා තරගාවලිය සාර්ථක කරගන්න මහන්සි වුණු රටවල් තුනේම සෑම දෙනාම වෙනුවෙන්. අපි ලබන වසරේ මෙම තරගාවලිය පවත්වන්න අපේ උපරිම සහයෝගය දෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<